දේශපාලන අත්දැකීම් ගොනු වූ නිර්මාණයක් ඉදිරියේදි බිහි වේවි - වත්සලා කරුණාරත්න | සිළුමිණ

දේශපාලන අත්දැකීම් ගොනු වූ නිර්මාණයක් ඉදිරියේදි බිහි වේවි - වත්සලා කරුණාරත්න

මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ වත්සලා කරුණාරත්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාධාරිනියක්. විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබූ වත්සලා ගණිත ගුරුවරියක් ලෙස වසර ගණනාවක් කටයුතු කර ඉන් ඉවත් වී මේ වනවිට කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරන්නී ය. ගුරු වෘත්තියෙන් අත්විඳි ශෝචනීය අත්දැකීම නිසා එයට සමුදුන් වත්සලා ලේඛිකාවක් වී ඇත්තේ අහම්බෙන්.වත්සලාගේ නවකතා වයස් භේදයකින් තොරව රස විඳින පාඨක පිරිසක් සිටින අතර ඇය විසින් පළ කරන ලද පොත් 16 ම පළ වී කෙටිකලකින්ම දෙවන තෙවන මුද්‍රණ නිකුත් කරන්නට හැකිවීම ඇය ලද ජයග්‍රහණයක්.

 

මගේ ඉදිරි සැලසුම්

මේ වෙනකොට මම 'සුපෙම් පාරමී' නවකතාව ලියමින් පවතිනවා.හැකි ඉක්මනින්ම එය සංඛ ප්‍රකාශනයක් විදියට නිකුත් කරන්න මම බලාපොරොත්තු වනවා. තවත් වස්තු බීජ දෙකක් යටතේ කතා දෙකක් හිතේ ගොනුවෙලා තියෙනවා. මගේ ආදරණීය පාඨකයන් වෙනුවෙන් වසරකට හොඳ නිර්මාණ තුනක් හෝ හතරක් ලබා දෙන්න මම උත්සාහ කරනවා. බොහෝවිට දේශපාලන අත්දැකීම් එක්ක ගොනු වූ නිර්මාණයක් මගේ අතින් ඉදිරියෙදි බිහි වේවි.

 

මගේ පළමු නවකතාව

මගේ අතින් මුලින්ම ලියැවුණේ 'පිනිබිඳුවට වසන්තයක්'. නමුත් මුලින්ම පළවුණේ රිද්මපූජා පොත. මවක් නිවුන් දරුවන් බිහි කර මවු පදවිය ලබනවා වගේ මම මේ පොත් දෙක නිසා මම ලේඛිකාවක් වුණා.

'පිනි බිඳුවට වසන්තයක්' හි කතා නායිකාව දෙව්මි හංසිකා හේනේගම. ඇය චරිතවත් වුණේ ආදරවන්තයකුගේ රැකීම නිසා. රිද්ම පූජා පොතේ ඊට විරුද්ධ චරිතයක් ගොඩනඟන්න හිතලා තමයි පළිගැනීමකට ලක්වී චරිතය හානිවුණ කෙනකුගේ සිතුම් පැතුම් එක්ක පූජනී සහන්සි අටළුගමගේ චරිතය ගොඩනැඟුවේ. මවකට ජීවිතේ වන ලොකුම අහිමිවීමක් වෙලා,කායිකව මානසිකව දැඩි පීඩනයකින් සිටි වෙලාවක හැමදේම අමතක කරන්නයි මම පෑන අතට ගත්තේ. හිතේ පීඩනයට ලැබුණු එකම සැනසීම ලෙස සැමියාගේ අසීමිත ආදරය එකතු වෙද්දී අප දෙදෙනාගේ අතීත මතක එක්ක මේ ආදර කතාවන් ලියැවුණා. ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මිය, ශාන්ත කුමාර විතාන වගේම සංඛ ප්‍රකාශකයෝ අධිපති ඇම්. පී. ජී. සෝමරත්න.මගේ පළවෙනි පොත නිකුත් කරන්න මට උදව් කළා.

 

 

එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

පිනිබිඳුවට වසන්තයක් පොතේ එක තැනක් තියනවා දෙව්මි ජීවිතේ නැති කරගන්න සීනි එක්ක කනේරු ඇට තළාලා කන. අවස්ථාවක් එහිදී ඇයගේ සිතුවිලි හරි සංවේදියි. අපේ ප්‍රවීණම ලේඛිකාවක් මට කිව්වා ඒ කොටස කියවන විට ඇයට නොදැනිම කඳුළු වැටුණා කියා. බොහෝවිට අපි නොදැනුවත්වම ගොනු කරන්නේ අපේ අත්දැකීම්. මම බොහෝවිට උත්සාහ කරන්නේ සෑම කතාවකින්ම යම්කිසි පණිවිඩයක් දෙන්න. අවසානයේ හිතට සතුටක් දෙන්න. බොහෝ දුක් පීඩා මැද ජීවත්වන අපි පොතක් කියවලාවත් දුක්විඳින්න ඕනේ නැහැ කියන බවයි මගේ අදහස.

 

 

මා නොලියූ මා කැමති  වෙනත් පොත්

මම පරිවර්තන පොත් කරලා නැහැ. අත්දැකීමෙන් මම දන්න දෙයක් වන්නේ පරිවර්තන පොත් කියවන බොහෝ අය එයින් බැහැර වන්නට අකමැති බව. ඒත් පරිවර්තන කියවනවා වගේම මගේ පොත් විතරක් කියවන අයත් මට හමුවෙලා තියනවා. ඇත්තටම මමත් ආසයි පරිවර්තන පොත් කියවන්න. ඒවා රස විඳින්න නම් නිදහසේ කියවන්න ඕනෑ. මම මුලින්ම කියෙව්වේ රුසියන් පරිවර්තන. ඉන් පසු ආසාවෙන් කියවන්නට පෙලඹුණේ වංග බසින් ලියවුණු ඉන්දියානු පරිවර්තන. ඒ පරිසර වර්ණනාවලට මම හුඟාක් කැමතියි.

 

මගේ වෙනත් නවකතා සහ පාඨක ප්‍රතිචාර

මේ වෙනකොට මම පොත් 16 ක් නිකුත් කරලා තියෙනවා. කාලය අරන් හොඳ නිර්මාණයක් කරන්නයි මම හැම වෙලාවෙම උත්සහ කරන්නේ පාසල් දරුවන්ගේ සිට වැඩිහිටි අය දක්වා සැම වයස් ඛාණ්ඩයකම සෑම සමාජ මට්ටමකම පාඨකයන් රැසක් මට සිටිනවා. හංස ගිගිරුම,වත්සලතාවී, රාධා, සෙනෙහස් අරණ, පියුමන්දි, සඳුමිදු, ස්වප්න වර්ෂා, සඳ තුහින, බකිනි මලට පිනිවැටිලා, රන්කෙන්දෙන්, එක රුව දෙහදක නතර වෙලා, පොත් අදත් පාඨකයන් අතර ජනප්‍රියයි. අදටත් මට පාඨකයන් කතා කරලා කියන්නේ මගෙ පළමු පොත වගේම සෑම පොතක්ම ඒ අය නැවත නැවත කියවලා රසවිඳිනවා කියලයි. මෑතකදී නිකුත් කළ බොරලුවලව්ව නව කතාව පාඨක ප්‍රතිචාර ඉතා අසීමිතව ලැබුණු පොතක්. ඉදිරියේදි මම ලියන පොත්වල සාර්ථකත්වයට පාඨක අදහස් මට ඉතා වැදගත්.' බකිනි මලට පිනි වැටිලා ටෙලිනාට්‍යයකට ගන්න මට මහත්මයෙක් කතා කළා. ඒක චිත්‍රපට නළුවෙක් සම්බන්ධව ලියැවුණු කතාවක්. මෙය ටෙලිනාට්‍යක් විදිහට හරි දකින්න ඇත්තටම මම කැමතියි. ඒ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

 

 බුද්ධිකා ඉඹුලාන

Comments