දෙස් විදෙස් සුපතළ සිරිලක නර්තන ශිල්පීන් 5ක් | සිළුමිණ

දෙස් විදෙස් සුපතළ සිරිලක නර්තන ශිල්පීන් 5ක්

ධම්මික සෙනෙවිරත්න

ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන් 3කි. උඩරට, පහතරට හා සබරගමු යනුවෙන් ඒවා නම් කර ඇත්තේ එම භූගෝලීය කලාප ඇසුරිනි. ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදාය ලොවට රැගෙන ගිය ප්‍රවීණ නර්තන ශිල්පීන් පස් දෙනකුගේ වතගොත මෙසේය.

 

නිත්තවෙල ගුණයා (1907 – 1986)

 

මෙරට බිහිවූ උඩරට නර්තන ශිල්පියෙක් වන නිත්තවෙල ගුණයා ගුරුන් සිය පියාගේ සොහොයුරා වූ සුරඹා ගුරුන්ගෙන් ශිල්පය හදාරා වෙස් බැන්දේ 18 හැවිරිදි වියේදීය. තරුණ වියේදීම විදෙස් ප්‍රංසගවලට සහභාගි වෙමින් විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. බටහිර ලෝකයේ වැඩිම ගෞරවයට පාත්‍ර වූ උඩරට නර්තන ශිල්පියා ඔහු විය හැකිය. ගුණයා ගුරුන්ගේ නර්තන දස්කම් මහනුවර ඇසළ පෙරහැරේදී ද මනාව දිස්විය. වන්නම් රඟ දැක්වීමේ ප්‍රවීණයෙකි. ආචාර්ය සරත් අමුණුගම පෙන්වා දෙන පරිදි නර්තන ශිල්පියෙක් ලෙස ගුණයා ගුරුන්ගේ පෞරුෂය ජාතික වශයෙන් ඉහළට මතුවීමට 1948 නිදහස ලබා ගැනීම වෙනුවෙන් පැවැති උත්සවයේදී තුරඟා වන්නම ඉදිරිපත් කිරීම හේතුවිය. ඒ ඔහු නර්තන ශිල්පියෙක් ලෙස ඉහළම දස්කම් දක්වමින් සිටි අවදියයි. රවීන්ද්‍රනාත් තාගෝර් පවා ඔහුගේ නර්තන විශිෂ්ටත්වය අගය කළේය. අන්තර්ජාතික වශයෙන් බලවත් ප්‍රතිචාර ලැබූ මේ ශිල්පියාට ජර්මනියේ ජීවත්වීමට තරම් අවස්ථාව උදා විය. එහෙත් එය ප්‍රතික්ෂේප කළ ඔහු ආපසු මවුබිමට පැමිණියේය.

ශ්‍රී ලංකාව නිකුත් කළ මුද්දරයේ ද රුපියල් 50/= මුදල් නෝට්ටුවේ ද පෙනී සිටින ප්‍රතාපවත් නර්තන ශිල්පියා නිත්තවෙල ගුණයා ගුරුන්ය. කෙසේවුවද, ඔහුගේ අවසන් කාලය ඛේදනීය විය. ඔහුගේ මරණය සිදුවූයේ ගින්නකට හසුවීමෙනි.

 

කුලසිරි බුදවත්ත (1950 – 2021)

මෙරටින් බිහිවූ ප්‍රමුඛ නර්තන ශිල්පියෙක් මෙන්ම නර්තන ආචාර්යවරයෙක් ද වේ. නර්තන ක්ෂේත්‍රයේ දශක 4කට වැඩි කලක් නියැළෙමින් සිය දස්කම් දැක්වීය. නර්තනය හැදෑරීමට යොමු වූයේ ළමාවියේ පටන්මය. 15 හැවිරිදි වියේදීම වෙස් පැලඳියේය. සම්ප්‍රදායික නර්තනාංග තමාගේම නිර්මාණාත්මක අංග හා මුසු කරමින් ඔහු ස්වකීය නර්තන සම්ප්‍රදායක් ද එළිදැක්විය. හේවුඩ් ලලිතකලා ආයතනයෙන් වැඩිදුර නර්තනය හදාරා රාජ්‍ය නැටුම් කණ්ඩායමට එක්විය. රටවල් විශාල ප්‍රමාණයක නර්තන ප්‍රසංගවලට සහභාගවී තිබේ. “සටන” නමින් මුද්‍රා නාට්‍යක් ද එළිදැක්විය. ජාතික තරුණ සභාවේ පළමු නර්තන කණ්ඩායම බිහි කරමින් එහි පළමු අධ්‍යක්ෂවරයා වූයේ ද බුදවත්තයන්ය. රාජ්‍ය නර්තන කණ්ඩායමේ අධ්‍යක්ෂ වශයෙන් ද පසුව කටයුතු කළේය. ටිකිරි සුවඳ, මහින්දාගමනය වැනි චිත්‍රපටවල කලා අධ්‍යක්ෂවරයා වූයේ ද බුදවත්තයන්ය.

 

චිත්‍රසේන (1921–2005)

අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස් හෙවත් චිත්‍රසේන ද සම්ප්‍රදායික ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදායන් ලොවට ගෙන ගිය විශිෂ්ටයෙකි. 1998 දී ශ්‍රී ලංකා රජය ඔහුගේ මෙහෙවර අගය කළේ “දේශමාන්‍ය” අභිදානය පිරිනමමිනි. මෙරට නර්තන ක්ෂේත්‍රය කෙරෙහි ඉන්දීය බලපෑම විශාල ලෙස දැනෙමින් තිබූ සමයක චිත්‍රසේන නව පර්යේෂණාත්මක ඉසව් සොයා ගියේය. “විදුර” මුද්‍රා නාට්‍ය (1945) ඔහුගේ මුල්කාලීන නිර්මාණයකි. “නල දමයන්ති” (1950) “කරදිය” (1961) මුද්‍රා නාට්‍ය ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව ඉහළම තලයට රැගෙන ආ අවස්ථාය. 1963දී වජිරා - චිත්‍රසේන ප්‍රමුඛ නර්තන කණ්ඩායම ඕස්ට්‍රේලියාවේදී ඉදිරිපත් කළ ප්‍රසංග මාලාව එරට රසිකයන්ගේ හා විචාරකයන්ගේ ඉහළම ප්‍රසාදයට ලක්විය. ඒ හැරුණුවිට අන්තර්ජාතික වශයෙන් ඔහු ලැබූ ප්‍රසිද්ධිය විශාලය. චිත්‍රසේන - වජිරා එක්ව මෙරට නර්තන කලා ක්ෂේත්‍රයට දායාද කළ මුද්‍රා නාට්‍ය ඇතුළු නර්තන නිර්මාණ ගණනාවකි. විශ්ව ප්‍රසාදිනී, කලාභූෂණ, කලාකීර්ති, කලාශූරී ආදි ගෞරව නාමයන්ගෙන් මෙන්ම 1991 දී කැලණිය විශ්වවිද්‍යාලය පිරිනැමූ ගෞරව ආචාර්ය උපාධියකින් ද චිත්‍රසේනයෝ සම්භාවනට පාත්‍රවූහ.

 

වජිරා චිත්‍රසේන

චිත්‍රසේනයන්ගේ කලායතනයේ දීප්තිමත්ම ශිෂ්‍යාවක වූ ඇය පසුව ඔහුගේ ජීවන සහකාරිය බවට පත්විය. නර්තන ශිල්පිනියක ලෙස දස්කම් දැක්වූයේ 15 හැවිරිදි වියේ පටන්ය. නර්තනය හැදෑරීමට ඇයට පවුලෙන්ම මඟ පෙන්වීම විශේෂය. ඇයගේ දෙමවුපියන් තුළ පැවැති ඉහළ කලා රසිකත්වය ඊට හේතුවිණ. මෙරට පළමු මුද්‍රා නාට්‍ය ශිල්පිනිය වජිරා ය. පණිභාරත, සෝමබන්දු විද්‍යාපති, ශේෂා පළිහක්කාර, ආනන්ද සමරකෝන්, අමරදේව ආදී විශිෂ්ටයන් නිර්මාණකරණයේදී දක්නට ලැබුණු චිත්‍රසේනයන් විසූ කොල්ලුපිටිය නිවහනේදී වජිරා ද නර්තනය ප්‍රගුණ කළාය. චිත්‍රසේනයන්ගේ නර්තන කණ්ඩායමේ ප්‍රමුඛ නර්තන ශිල්පිනිය ලෙස ඇය දෙස් විදෙස් හි පතළ වූවාය. ‘කුමුදුනී’ නම් ස්වකීය පළමු නර්තන නිර්මාණය එළිදැක්වූ ඇය ළමා මුද්‍රා නාට්‍ය ගණනාවක්ම ඉදිරිපත් කළාය. චිත්‍රසේනයන්ගෙන් ලැබූ ශිල්පය ගුරුහරුකම් හැරුණු විට නිර්මාණකරණයේදී තමා බොහෝදුරට ආභාසය ලැබුවේ ස්වභාවිකත්වයෙන් හා පොතපත කියවීමෙන් බව පසුකලෙක ඇය පැවසුවාය. පුරුෂ පාර්ශ්වය පමණක් යොමුවූ උඩරට නර්තනය ප්‍රගුණ කළ මෙරට පළමු නර්තන ශිල්පිනිය ද වජිරා ය. මෙරටදී බොහෝ සම්මානයන්ට පාත්‍රවූ ඇය වෙත ඉන්දීය රජය 2020 වසරේදී “පද්ම ශ්‍රී” සම්මානය පුදනු ලැබීය. 2002 වසරින් පසුව ශ්‍රී ලාංකිකයෙක් මේ සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වූ පළමු අවස්ථාව එයයි.

 

පණීභාරත (1920–2005)

ශ්‍රී ලාංකේය නර්තන සම්ප්‍රදා ලෝකයට රැගෙන ගිය පණිභාරතයන් 1954 දී සිදුවූ දෙවැනි එළිසබෙත් රැජිනගේ ශ්‍රී ලංකා සංචාරයේදී, ඇය ඉදිරිපිට ද සිය කලා දස්කම් දැක්වීය. ප්‍රවීණ නර්තන ශිල්පී බබන්චි ගුරුන්ගේ පුතෙක් වන සිත්රච්චාරිගේ පානිස් අල්ගම (පණීභාරත) දේශීය වෛද්‍යවරයෙක් කිරීම දෙමවුපිය අභිලාෂය වුවද ඔහු තෝරාගත්තේ පරම්පරා උරුමයෙන්ම ආ නර්තනයයි. නර්තන ශිල්පියෙක් ලෙස වෙස් පලඳින විට ඔහු විසි හැවිරිදි වියේ පසුවිය. කොළඹ නාලන්දා විද්‍යාලයේ නර්තන ආචාර්යවරයෙක් ලෙස වෘත්තියට පිවිසෙන විට 18 හැවිරිදිවියේ සිටියේය. භාරතයේ ශාන්ති නිකේතනයේ ශිෂ්‍යත්වයක් ලැබ ගොස් කතකලි, මනිපුරි ආදී භාරතීය නර්තන සම්ප්‍රදායන් ද හැදෑරීය. රාජකීය විද්‍යාලයේ නර්තන ආචාර්යවරයා ලෙස කටයුතු කර මීරිගම ගුරු විදුහලේ නර්තන උපදේශක වශයෙන් පත්විය. හේවුඩ් ලලිත කලායතනයේ විදුහල්පති වශයෙන් ද පත්වූ අතර එය කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය ආයතනය බවට පත්වන විට එහි පළමු ප්‍රධානියා ද විය. මෙරට සියලු නර්තන සම්ප්‍රදායන් මනාව ප්‍රගුණ කළ පණිභාරතයෝ ‘නාරිලතා’ නමින් නව නර්තනයක් ද හඳුන්වා දුන්නේය. මුද්‍රා නාට්‍ය ද නිර්මාණය කළේය. සිකුරු තරුව, කුරුළුබැද්ද වැනි චිත්‍රපට කිහිපයක කලා අධ්‍යක්ෂණය ද කළේය. ඔහුගේ මෙහෙවර “කලාශූරී” සම්මානය පුදමින් අගය කෙරුණු අතර කැලණිය විශ්වවිද්‍යාලය 1996 දී දර්ශනශූරී ගෞරව උපාධිය පිරිනැමීය.

Comments