තෙල් නැව් එන්නේ නැති තරමට මම කැමතියි | සිළුමිණ

තෙල් නැව් එන්නේ නැති තරමට මම කැමතියි

‘ඉන්ධන අර්බුදයක් නිර්මාණය වීමෙන් ගමනාගමනය යම් පමණකට සීමා වීම අපූරු බව ඔහු කීවේ ය. ‘මිනිස්සු මට බණීවි. ඒත් ඒකට මම කැමතියි. තෙල් නැත්තටම නැති වුණත් මම කැමතියි.’ ඔහු කීවේ මන්දස්මිතියකිනි. මේ මිනිසා අදහස් කරන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකි වූ හෙයින් අපි ඔහුගේ අසුනට ප්‍රතිමුඛව අසුන් ගත්තේ මේ උභතෝකෝටික ප්‍රකාශය වඩා පැහැදිලි කරගනු පිණිස ය. මේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති ඩී.එල්. ක්‍රිෂාන්ත හා ක්‍රීඩා පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින් සැකසෙන ලිපියකි.

- කොන්දක් තියෙන - විනයක් තියෙන මිනිහෙක් වෙන්න පාපැදිය හුරුවෙන්න ඕනෑ
- අද ලංකාවේ පාපැදි පැදපු පිරිමි කීදෙනා ද ඉන්නෙ?
- මාර්ග අනතුරු වැඩි - ජීවිතවලට ගරු නොකරන්නේ පාපැදියට කකුලක්වත් නොතියපු මිනිස්සු

‘මම කියන්නේ තව තෙල් නැති වෙන්න ඕනෑ කියලා.’ ඔහු කිව්වා. මම ඔහු දිහා බැලුවේ විමතියෙන්. මගේ පසෙකින් හිටපු ක්‍රීඩා මාණ්ඩලික ඡායාරූප ශිල්පියා ජගත් ඉරෝෂණත් මගේ දිහා බැලුවා ඇස් කොනෙක් වගේ මම දැක්කා. මේ මනුස්සයාට පිස්සු ද? කියනවා වගේ තමයි ඔහුගේ බැල්මේ තිබුණේ කියලා මට අවිවාදයෙන් කියන්න පුළුවන්. 

‘මට මිනිස්සු බණීවි. ඒත් තෙල් නැති වෙන එකට මම ආසයි. කවදාහරි දවසක තෙල් නැති වෙන්න එපායැ. ඒක වෙන මොකක් හරි අර්බුදයක් නිසා දැම්ම නැති වෙන තරමට සමාජයට සැනසිල්ල උදාවෙනවා.’ ඔහු තමන්ගේ ප්‍රකාශය තවදුරටත් පැහැදිලි කරමින් කිව්වා.

‘තෙල් නැති වුණාම ඇතිවෙන සැනසිල්ල මොකක් ද?’ මම ඔහුගෙන් ඇසුවේ අප තුළ හටගත් විමතිය කේන්තියක් වශයෙන් පිටවෙන්න ඉඩක් නොතබායි.

‘දැන් ගෙවල් ඇතුළේ, අටුවේ එල්ලලා තිබුණු, ගබඩා කාමරවල දාලා තිබුණු, නැත්නං කෙහේ හරි අයිනක බිත්තියකට හේත්තු වෙලා තිබුණු පාපැදි දූවිලි කඩලා පාරට දාන්න පටන් අරගෙන. ඒක හරි අපූරුයි. පාපැදිය පාරේ දකින්න දකින්න මට හරිම සතුටුයි. අනේ තව ඉන්ධන නැතිවෙයං...............පෝලිං හැදියං...............පාපැදිම මගේ දෑසට පෙනී යං...............’ කියනවා වගේ ඔහු සතුටෙන් සිනා වුණා.

අපිට ඔහුගේ අරමුණ තේරුම් ගියා.

‘ඒකෙත් යම් ඇත්තක් තියෙනවා නේ ද?’ ඔහු ඇසුවා. මමත් හිස සැලුවා.

‘දැන් බලන්න, හැමදේටම තෙල්. හරියට සුමනවීරගේ ජයග්‍රහණය පිටිපස්සේ ‘තෙලේ බලේ’ කියලා කෑගහපු මිනිස්සු වගේ හැමෝම මැදපෙරදිගෙන් එන තෙල් ගැන හිතාගෙන ඉන්නවා. තෙල් නැත්නං ගෙවල්වල බත් ඉදෙන්නේ නෑ වගේ මිනිස්සු මැදපෙරදිගට වහල් වෙලා. මේ නිසා තමයි අද ඔක්කොම ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. අන-වශ්‍ය තරම් ඩොලර් පිටරට ඇදෙන්නේ, රටේ ඩොලර් සංචිත හිඳෙන්නේ ඒ නිසයි. තෙල් සීමා කරලා අනවශ්‍ය ගමන් අඩු කරලා, පාපැදිය භාවිතයෙන් ගොඩාක් ගමන් ගියා නම් අපි ආයෙත් හැත්තෑව දසකයට ඉස්සර හිටියා වගේ නැඟිටිනවා.’ ඩී.එල්.ක්‍රිෂාන්ත පවසනවා.

ඔහුගේ කාල වර්ණ මුහුණ බලා-පොරොත්තුවලින් පිරිලා හිනාවෙනවා වගේ අපිට පෙනුණා. තෙල් නැති-වුණාම වැඩියෙන් සතුටු වෙන මිනිසා සමහර විට ඔහු වෙන්න ඇති කියලා අපටත් සිතුණා.

‘දැන් බලන්න පාපැදි භාවිතය වැඩිදියුණු වුණාම සිද්ධ වෙන්නේ මොකක් ද කියලා? පාරේ වාහන තදබදයට විසඳුමක් ලැබෙනවා. ඒක අඩුවෙනවා විතරක් නොවෙයි ගොඩාක් දුරට නැති වෙනවා. පාපැදිය වැඩියෙන් භාවිත කරද්දී ලැබෙන වාසි කෙටි මාතෘකා කීපයක් යටතේ කියන්නම්කෝ.’

‘ඉස්සෙල්ලා කිව්වා වගේ වාහන තදබදය අඩුවෙනවා.’

‘රථ වාහන ධාවනයේ දී වායු ගෝලයට මුදාහැරෙන කාබන් මොනොක්සයිඩ්, ඊයම් වගේ බැර ලෝහ වර්ග සීමා වෙනවා.’

‘විෂ වායු විමෝචනය අඩුවුණා කියන්නේ මිනිස්සුන්ට වැලඳෙන පෙනහළු ආශ්‍රිත රෝගාබාධ ඇතුළු බොහොමයක් රෝග අඩුවෙලා යනවා.’ ‘සෙම්ප්‍රතිශ්‍යාවේ ඉඳලා වැලඳෙන රෝග අඩු වෙද්දී ඖෂධ වෙනුවෙන් වියදම් කරන්න වෙන මුදල් කන්දරාව අඩු වෙනවා. අපේ රටේ හදන්න බැරි ඖෂධ ගෙන්වන්න විදේශයන්ට ඩොලර් යවන එක සීමා වෙනවා. රටේ ශ්‍රම බළකාය, වගකීම් භාරගන්න ඉන්න නව යොවුන් පෙළපත නිරෝගීමත් වෙනවා. ඒකෙන් වෙන්නේ රටක මානව සම්පත ශක්තිමත් වෙන එකයි.’

‘රථ වාහන ධාවනය සීමා වුණාම ශබ්ද දූෂණය අවම වෙනවා. එහෙම වුණාම සමාජයේ මානසික නිරෝගී භාවය වැඩිදියුණු වෙනවා.’

‘පාපැදිය පදින සමාජයක් බිහිවන විට මානව සමාජය තුළ ව්‍යායාම් සිදු කිරීම නිරායාසී තත්ත්වයක් බවට පත්වෙනවා. මොකද පාපැදිය කියන්නේ ක්‍රීඩාවට පමණක් නො-වෙයි ගමනක් බිමනක් යන්නත් උපයෝගී කර ගන්න හැකි නිසා. එහෙම පාපැදිය පදින කොට සිරුරේ අනවශ්‍ය මේද දහනය වෙනවා, ස්ථුලතාව අඩු වෙනවා. හෘද පේශි ශක්තිමත් වෙනවා. කොලෙස්ටරෝල් වැනි තත්ත්ව අවම වද්දී හෘද රෝග වැලඳීමේ අවධානම පහළ යනවා. ඒ

වගේම බෝ නොවන රෝගවලට වෛද්‍යවරු සොයන පිළියම් පහසු-වෙන් සොයාගන්න හැකියාව ලැබෙ-නවා.’ 

‘මිනිස්සු බස් නැවතුම්වල, ත්‍රීවිල් පාර්ක්වල රස්තියාදු වෙමින් කාලය නාස්ති කරන එක නතර වෙනවා. කල් වේලා ඇතිව ගමනක් බිමනක් යන්න මිනිස්සු අතර යළිත් පුරුද්දක් ගොඩනැඟෙනවා.’

මෙන්න මේ වගේ කරුණු ගොඩාක් පාපැදියට හුරුවීමෙන් අපට රටක්, සමාජයක් වශයෙන් ලබාගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මම නම් තෙල් නැතිම වෙනවටත් ආසයි. කැමතියි.’ ක්‍රිෂාන්ත කිව්වා.

‘ඔබ ඔය විදිහට කිව්වට අද පාපැදියක් පාරට දාන්න පුළුවන් ද? පොඩ්ඩක් හිතලා බලන්න?’ මම අතුරු ප්‍රශ්නයක් නැගුවා.

‘වාහන නිසා බයයි කියලානෙ කියන්න හදන්නෙ නේ ද? ඒකට අපි නීති හදන්න ඕනෑ තමයි. පාපැදි මංතීරුව හොඳ විකල්පයක්. පාපැදි පමණක් යන පාරවල්, නගර, කලාප තවත් හොඳ යෝජනාවක්. ඒත් ඒවා ඇති කරන තුරු අපිට පාපැදි වැඩි වශයෙන් පාරට එනකොට, රථ වාහන අඩු වෙන්න පටන් ගන්නවානෙ. ඒ නිසා පාපැදි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා කියලා ඔබට සිතෙන්නේ නැද්ද?’ ඔහු ප්‍රතිතර්කයක් ගොඩනැංවූවා. ටිකක් වෙලා කල්පනා කරමින් සිටි ක්‍රිෂාන්ත මෙහෙම කිව්වා.

‘හරි පිරිමියෙක් වෙන්න නම් පාපැදියක් පැදලා තියෙන්න ඕනෑ. දැන් ඉන්න නව පරපුරේ දරුවෝ පාරේ පාපැදි පැදලා තියෙනවා ද? පාපැදියෙන් ඉස්කෝලේ ගිහින් තියෙනවා ද? අඩුම තරමේ යාළුවකුගේ, නැදෑ මිත්‍රයකුගේ ගෙදරට යනවා ද? අමතර පන්තියකට පාපැදියෙන් යනවා ද? පිළිතුර නෑ කියන එකයි. හැබැයි යතුරුපැදියෙන් ඔය ගමන් යනවා. යන්තම් කකුල් දෙක බිම තියන්න, යතුරු පැදිය බැලන්ස් කරගන්න, ඇක්සලේටරය කරකවන්න පුළුවන් වුණු ගමන් කොල්ලෝ කරන්නේ යතුරු පැදියෙන් ගමන පටන් ගන්න එකයි. ඒ දරුවෝ පාපැදියකට කකුලක්වත් තියලා නෑ. තිබ්බත් තියලා තියෙන්නේ රෝද තුනේ බයිසිකලේටයි, අම්මා, තාත්තා ආදරයට අරගෙන දීපු, වත්තේ පැදපු, නැත්නං බැංකු ගිණුමේ මුදල් පිරිලා ලැබුණු චොපර් බයිසිකලේටයි පමණයි. ඉතිං මේ නව පරපුර පාපැදියක් පැදගෙන පාරේ ගමනක් ගිහිං නෑ. එහෙම යන මිනිස්සු දැකලත් නැති තරම්. පොඩි ගමනකටවත් පයින් යන්නේ නෑ. එක්කෝ යතුරු පැදියේ, ත්‍රිරෝද රථයේ, කාර් එකේ, බස් එකේ වගේ මොකක් හරි එකක. දැන් ඉස්සර ගොවියෝ වැඩි වශයෙන් ඉන්න අනුරාධපුර, පොලොන්නරු ප්‍රදේශවල පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් වුණත් දැන් ඒකත් ලෑන්ඩ් මාස්ටරයට හරි යතුරුපැදියට හරි මාරු වෙලා තියෙනවා. ඒකනෙ මෙච්චර තෙල් පෝලිම් හැදිලා තියෙන්නෙ. මම කියන්නේ මේ සියල්ලටම විකල්පය තියෙන්නේ පාපැදිය තුළ කියලයි.’ ඔහු කියාගෙන යනවා.

‘ඉස්සර යාපනයේ පාපැදිය හරි ජනප්‍රියයි. දැනුත් මම හිතන්නේ යාපනයේ ඉන්න දරුවෝ පාපැදියෙන් ගමන් යනවා. පාසල් යනවා. ඔය කින්නියා, ත්‍රිකුණාමලය වැනි නැඟෙ-නහිර පළාත්වල ඉන්න දරුවොත් පාපැදි පදිනවා. එතැනදී දෙමළ, මුස්ලිම්, සිංහල කියලා බෙදුමක් නෑ. සංස්කෘතික අර්බුදත් නෑ.’ ඔහු කිව්වා.

ක්‍රිෂාන්ත පවසන්නේ පාපැදිය කිය-න්නේ සංස්කෘතික ගමනක් යන්න හොඳම මෙවලමක් කියලයි. ‘ඕනෑ ම ජාතියකට, ඕනෑ ම ආගමකට පාපැදිය ඔට්ටුයි. ලෝකයේ සංවර්ධිත රටවල් ඇතුළේ පාපැදිය සුලබ ප්‍රවාහන මාධ්‍යයක්. තුන් වැනි ලෝකයේ දියුණු වෙමින් තියෙන රටවල් තමයි මෝස්තරයට ඉන්ධන පුච්චාගෙන තව තවත් දුප්පත්කමේ පතුලටම ඇදගෙන වැටෙන්නෙ. ඒකනෙ මෙච්චර මැද-පෙරදිග තෙල් ළිංවලට නමස්කාර කරන්නෙ.’ ඔහු කියන්නේ තරමක අමනාපයෙන්.

පාපැදි ක්‍රීඩාව වැඩි දියුණු කිරීම

‘මම පාපැදි සභාපති. කොවිඩ් සමයේ දැනෙන දෙයක් කරන්න අවස්ථාව සීමාසහිත වුණා. අපිට උවමනායි රට ඇතුළේ පාපැදි ක්‍රීඩාව වැඩිදියුණු කරන්න. ඒක නිකම්ම කරන්න බෑ. ඒ වැඩේට ගොඩාක් අයගේ සහයෝගය අවශ්‍යයි.’ ඔහු කිව්වා.

මම ඇහුවේ මොන වගේ සහයෝග-යක් ද අපේක්ෂා කරන්නේ කියලා.

‘මම කියන්නේ පාපැදිය සුලබ කරන්න ඕනෑ. ඒකට රජයේ උදව් උපකාර ඕනෑ වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිපත්තිමය තීරණ සම්පාදනය ඉක්මන් කිරීම. පාපැදිකරුවාගේ ආරක්ෂාව තහවුරු කිරීම වැදගත්. ජනමාධ්‍ය පාපැදිකරුවන් ගැන, පාපැදියෙන් ජීවිතය දිනාගත්තු මිනිස්සු ගැන කතා කරන්න ඕනෑ. පාපැදි පැදීමේ වැදගත්කම් ගැන සමාජයට කියාදෙන්න උවමනායි. පාපැදි ක්‍රීඩා තරග වැඩි වශයෙන් සමාජය තුළට රැගෙන යායුතුයි. එතකොට නව පර-පුරක් පාපැදි ක්‍රීඩාවට, පාපැදි පදින්න එකතු වෙනවා. පාපැදිය වීරයෝ නියැළෙන ක්‍රීඩාවක් බව සමාජයට එත්තු ගැන්විය යුතුයි. ඩිලන්ත මාලගමුවලා, සනත් ජයසූරියලා, සුසන්තිකා ජයසිංහලා පාපැදි ක්‍රීඩාව තුළත් ඉන්නවා. ඒ කාලේ අපේ වීරයෝ වුණු ලංකා සවාරිය ජයගත්තු මොරිස් කුමාරවේල්ලා, බොනිපස් පෙරේරලා, ඇන්තනි සීමන්ස් ලා, ඒ.එම්. සුමනවීරලා, කමල් පාලිතලා ඒ වගේ වීරයෝ තමයි. ඒ අය ගැන කතා කරන්න ඕනෑ. සමාජයට කියන්න ඕනෑ. ඒක තමයි මාධ්‍ය වගකීම.’ ඔහු කියාගෙන යනවා. 

අපිට ආයෙ ඒ ගැන තර්ක කරන්න දෙයක් නෑ. ඔහුගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා. නමුත් කොහේ හෝ වරදක් සිදු වෙලා ඇති බව පැහැදිලියි. ඒ තමයි දැන් මේ සමාජයේ බොහෝ දේ වානිජකරණය වීම කියන කාරණය. ජනමාධ්‍ය මඟින් බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ජනතාව අතර වඩාත් ජනප්‍රිය දේවල් නැවත නැවත උත්කර්ෂයට නඟන එක. එහෙම නැතිව ඔවුන් ජනප්‍රියත්වය හේබාලා ගිහින් තියෙන ක්ෂේත්‍රයක් අල්ලාගෙන ඉදිරියට එන්න ගන්න උත්සාහය මේ වෙද්දී අඩු වෙමින් තිබෙනවා. මොකද ජනමාධ්‍ය පිරිවැය ඉහළ යාම හා ජනමාධ්‍ය පෞද්ගලීකරණයවීම මඟින් එයත් ව්‍යාපාරයක් වීම කියන කාරණය එක්ක. අපි එහෙම කියන්නේ ව්‍යාපාරිකයෙක් ජනමාධ්‍ය වෙනුවෙන් මුදල් ආයෝජනය කරලා තිබෙන්නේ ඔවුන්ට ජනතාව අතරට තමුන්ට අවශ්‍ය පණිවුඩ අරගෙන යන්න පහසු වෙන්න වගේම තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව නව ප්‍රවණතා ගොඩනංවනවා. මුදල් උපයාගැනීමේ තරගය නිසා ඔවුන් කිසිවකුටත් ජනප්‍රියත්වයෙන් ගිලි-හුණු සමහර ක්ෂේත්‍ර අමතක වෙලාම යනවා. අශ්ව බලයෙන් යන ගමන රට ඇතුළේ ලොකු පිළිගැනීමකට ලක්වුණාට පස්සේ මිනිස් ශක්තියෙන් ඔද තෙද පාන පාපැදිය අමතක වෙලා ගියේ ඒ නිසයි.

‘ඉස්සර අවුරුදු උත්සවයට පාපැදි පැදලා තෑගි බෝග දිනපු කොල්ලා එක්ක ගමේ අවුරුදු කුමාරිත් යාළු වුණා. දෙන්නා අන්තිමට විවාහ වුණා. මේ යුවළ හදන පවුලට එකතු වෙන අලුත් සාමාජිකයෝ රටක් දිනන්න තරම් හැකියාවක්, ජවයක් සහ සුන්දරත්වයකින් යුක්ත වුණේ ඒ විදිහටයි. ඒත් දැන් කෙල්ලෝ යාළු වෙන්නේ අජානේය ස්කූටර් තුරඟා උඩ වඩින, හිල් සාක්කු, ඉරුණු ඩෙනිම් ඇඳපු මනමාල කුරුල්ලන්ට. ගමේ වීරයෝ පැත්තක. ඒකයි පාපැදිය වගේම පාපැදි ක්‍රීඩාවත් දවසින් දවස වළපල්ලට ඇදුණේ. මේක වෙනස් කරන්න අවුරුද්දකින් දෙකකින් බෑ. කාලයක් ඕනෑ. අපි ගාව ඒකට වැඩපිළිවෙළක් තියෙනවා. යළිත් පාපැදි නිලවරණයට තරග කරන්නේ ඒ නිසයි.’ ක්‍රිෂාන්ත පැවසූවා.

ආධුනික තරග වෙනම ම

ක්‍රිෂාන්ත පවසන්නේ පාපැදි තරග වැඩි වශයෙන් සංවිධානය විය යුතු බවයි. එහෙම සංවිධානය වන පාපැදි තරග ආධුනික හා වෘත්තීය වශයෙන් බෙදා පැවැත්විය යුතු බවත් ඔහු පවසනවා. ‘වෘත්තීය තරගයකට ආධුනික ක්‍රීඩකයෝ දමා ගත්තොත් තරගය අමිහිරි වෙනවා. නරඹන්නෝ ඒ වගේ තරගයක ඇල්මැරුණු උද්යෝගය ගැන කනගාටු වෙනවා. එතකොට ක්‍රීඩාව වැඩිදියුණු කරන්න බෑ. කළ යුත්තේ ආධුනික හා වෘත්තීය තරග වෙන් කරලා පවත්වන එක. මම කියන්නේ ලේක්හවුසිය සංවිධානය කළ ලංකා සවාරිය ආපහු පටන් ගන්න ඕනෑ කියලයි. අපි ඒ ගැන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමත් එක්ක කතා කරන්න ලෑස්තියි. ඔබ සමාගම පාපැදියට අතහිත දෙන්නෑ කියලා තීරණය කිරීමෙන් සිද්ධ වුණේ අපේ ක්‍රීඩාව තවත් අවණතියට පත්වීමයි. ශක්තිමත් ගමනක් යන්න අපි ආයෙත් එකතු වෙමු.’ ඔහු කිව්වේ බලාපොරොත්තු සහිතවයි.

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments