කලාවේ නිරත වෙද්දි හොඳ නරක කියලා අයින් කරන්න බෑ | සිළුමිණ

කලාවේ නිරත වෙද්දි හොඳ නරක කියලා අයින් කරන්න බෑ

ගුවන් විදුලි සහ රූපවාහිනී හඬ රංගන ශිල්පිනී චම්පා වීරපුර

කාටූන් චරිතවලට මං වඩාත් ප්‍රිය කරන්නේ ඒ ඔස්සේ  හඬ ශිල්පීන්ට ලොකු  පරාසයකින් දක්ෂතා  එළිදක්වන්න  පුළුවන්  නිසයි

චම්පා වීරපුර ගුවන් විදුලි සහ රූපවාහිනී හඬ රංගන ශිල්පිනියක් ලෙසත්, වේදිකාවට පෙම් බැඳි නාට්‍යවේදිනියක් සහ රංගන ශිල්පිනියක ලෙසත් කලාවෙහි නෙක රස මැවූ කාන්තාවක්. රසඳුන අප ඇය සමඟ කතා කළේ ඒ විවිධ රස මතු කරගන්නයි.

 

කවුද මේ චම්පා වීරපුර දෙලංකාවල?

මම හඬ ශිල්පිනියක්. පොත් කියවන්න , චිත්‍රපට බලන්න කැමති කලාවට ළැදි මිනිස්සුන්ට ආදරේ කරන කෙනෙක්.

 

කලාවට ළැදි වුණෙත් පාසල් කාලයේදිමද?

ඔව්. මම පාසලේ දෙක වසරෙ ඉගෙනගන්න කාලෙ සිට ම කලා කටයුතුවල නිරත වුණා. මාලා ඒකනායක ගුරුතුමියගෙ මඟ පෙන්වීමත් සමඟ නර්තයේ යෙදුණා. පාසලේ සාහිත්‍ය සංගමය සමඟ එක්වෙලා වේදිකා නාට්‍යය නිර්මාණ සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ අවදියේ දි සතිස්චන්ද්‍ර එදිරිසිංහ වැනි ශිල්පීන්ගෙන් ගුරුහරුකම් ලබන්න ඉඩ සැලසීම සතුටක්.නාට්‍යය විශයෙන් පාසලේ සමස්ත ලංකා මට්ටම දක්වා ම යන්න ලැබුණා. සෝවියට් මිත්‍රත්වය මණ්ඩලය මඟින් කෑගල්ල නාට්‍ය කණ්ඩායමේ සහභාගීත්වයෙන් කරපු නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනකොට මම 8 වසර ඉගෙන ගත්තේ. පුංචි කාලෙදිම මේ නාට්‍ය වැඩමුළුවට සම්බන්ධ වීම නිසා එතනින් මගේ දක්ෂතා හඳුනා ගන්නත් ඔපමට්ටම් කරගන්නත් පුළුවන් වුණා. මැල්කම් මචාඩෝ, ෂර්ලි පී දෙලංකාවල, අශෝක හඳගම, අනුර විජේසිංහ වැනි ප්‍රවීණයන් මේ සඳහා සම්බන්ධ වුණා.එම කෑගලු කණ්ඩායම සමඟ යෞවන සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කළ නිර්මාණවලට මමත් දායකත්වය ලබා දුන්නා. අශෝක හඳගමගෙ මාඝාත වේදිකා නාට්‍යයේ රඟපෑමට ලැබීම මගෙ කලා දිවියේ සුවිශේෂී සංධිස්ථානයක්. ඉන්පසුව අධ්‍යාපන කටයුතුවලට වැඩි ඉඩක් ලබා දුන් නිසා කලා කටයුතු මඳකට නතර කරන්න වුණා.

 

ඔබේ දෙවන කලාගමනය සිදුවන්නේ ජාතික රූපවාහිනිය හරහා නේද.?

ඔව්. විවාහයෙනුත් අවුරුදු පහකට විතර පස්සෙ රූපවාහිනියෙ අතුල රන්සිරිලාල් ඇතුළු පිරිස හඬ ශිල්පී පුහුණු පාඨමාලාවක් පටන් ගන්නව කියල මට දැනගන්න ලැබීමත් එක්ක ඒකට අයදුම් කළා. මාස හයක් තුළ හඬ පාවිච්චි කරල නිර්මාණ කරන්නෙ කොහොමද කියල අපිට එහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ලොකු අවබෝධයක් ලබා දුන්නා. වේදිකාවෙත් පෙර පුහුණුවක් තිබුණ නිසා මට ඒ හැදෑරීම වඩාත් පහසු වුණා කිව්වොත් නිවැරදියි.

 

ඔබ හඬ රංගනයෙන් දායකත්වය ලබා දුන් නිර්මාණ මොනවද කියල අපි මතක් කරමු.

මුලින්ම මම ජාතික රූපවාහිනියේ ඇනා කැරනිනා නාට්‍යය සඳහා සම්බන්ධ වුණා. ඉන් අනතුරුව කාටූන් සහ වාර්තා වැඩසටහන් ආදියට හඬ එක් කරන්න අවස්ථාව හම්බුණා. නාලනී රණසිංහව මතක් කළ යුතුයි. ඇය තමයි එක තැන කොටු නොවී විවිධ තැන්වල වැඩ කරන්න කියල මාව පෙලඹුවේ. ඉන්පසුව සිරස රූපවාහිනී නාළිකාවේ බේවොච්, හෝම් අලෝන් ඇතුළු නිර්මාණ ගණනාවකටම දායකත්වය ලබා දුන්නා. ඒ අතරට වෙ‍ෙළඳ දැන්වීම්, කාටූන් සහ ගුවන් විදුලි නාට්‍යත් ඇතුළත් වුණා. මං හඬ කැවූ චරිත අතරින් වඩාත් කැමති දෙරණ නාළිකාවෙ මුතු අහුර නාට්‍යයේ සේරාගෙ චරිතයටයි. කාටූන් චරිතවලට මං වඩාත් ප්‍රිය කරන්නේ එතුළින් හඬ ශිල්පීන්ට ලොකු පරාසයකින් දක්ෂතා එළිදක්වන්න පුළුවන් නිසයි.

 

හඬ රංගනයේ දි කෙනෙක් තුළ තිබිය යුතු ගුණාංග මොනවද ?

හඬ කැවීම, හඬ රඟපෑම හෝ ගුවන් විදුලි නාට්‍යය වැනි දෑ සඳහා හොඳ කැපවීමක් අවශ්‍යයි. රංගන ශිල්පීන්ට තමන්ගෙ චරිතය ගොඩ නඟන්න බාහිර දේවල් රැසක් මඟින් පරිසරය හැදුණත් හඬ නළුවන්ට ඒ සියලුම දේ කරන්න වෙන්නෙ හඬ පමණක් පාවිච්චි කරලා. හඬ කැවීම්වලදී වෙනත් සංස්කෘතික වටපිටාවක ජීවත් වන චරිතයක මානසිකත්වය සහ හැඟීම් සිංහල භාෂාවෙන් දනවන්න ඕන. ඒක ලොකු වගකීමක්.

 

හඬ කියනදේ හඬ ශිල්පීන්ට කොයිතරම් වැදගත්ද?

මං හිතන්නෙ හඬ ඕනෑම කෙනෙක්ට වැදගත්. ඒකෙන් අනන්‍යතාවක් ගොඩ නැඟෙනව වගේ ම තමන්ගෙ පෞරුෂය ගොඩනඟා ගන්නත් පුළුවන්. ඇතැම් අවස්ථාවල චරිතයෙ ප්‍රබලත්වය මත චිත්‍රපට, ටෙලි නාට්‍ය වල පවා වෙනත් පසුබිම් හඬක් යොදා ගන්නෙ ඒ නිසයි.

 

විදේශීය නිර්මාණ හඬ කවල විකාශය කිරීම ගැන සමාජයේ තියෙන විවිධ චෝදනා ගැන ඔබේ අදහස මොකක්ද.?

මං හිතන්නෙ නිවැරැදි වැටහීමක් නැතිවයි ඒ වගේ අදහස් දරන්නෙ කියලයි. කලාව තුළ හොඳ නරක කියල අයින් කරන්න බෑ. හැබැයි ගුණාත්මක දේ ඉදිරිපත් කරන එක නම් වැදගත්. විදේශීය භාෂාවලින් නිර්මාණ ඉදිරිපත් කරන එක ගොඩක් වටින දෙයක්. මොකද හැමෝටම හැම භාෂාවම බැහැ. වෙනත් රටවල නිර්මාණ විකාශය වීමට වඩා මේ තෝරා ගැනීම් ව්‍යාපාරික මානසිකත්වය එක්ක පමණක් සිදුවීමයි මං හිතන්නෙ ගැටලුව.

 

ඒ කියන්නෙ මාධ්‍ය නාළිකාවලට මේ සම්බන්ධයෙන් වගකීමක් ති‍ෙයනව කියල නේද?

ඔව් ඇත්තටම. මාධ්‍ය ආයතන අපිට ලබා දෙන චරිතය තමයි අපි කරන්නෙ. මේ වෙනකොට ලංකාවෙ වොයිස් ආර්ටිස්ට්ල විදියට බොහෝ දෙනෙක් වැඩ කරනවා. ඉතින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමත් අත්‍යවශ්‍ය නිසා නිර්මාණ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. මාත් ඇතැම් නිර්මාණ බාර නොගෙන හිටපු අවස්ථාත් තිබුණා. හැබැයි හඬ නළුවෙක්ට පුළුවන් පෞද්ගලිකව ප්‍රතික්ෂේප කිරීම විතරයි. මේ ක්‍රමවේදය වෙනස් කරන්න නම් හැමෝම පෙළගැහෙන්න අවශ්‍යයි.

 

ඔබේ සැමියා ෂර්ලි පී. දෙලංකාවල ප්‍රකට අධ්‍යක්ෂවරයෙක්?

ඔව්. අපි දෙන්න මුණ ගැහුණෙත් කලාව හරහා. ඔහු මගේ ගමනට ශක්තියක් වුණා වගේම මාත් ඔහුගේ කටයුතුවලට සහයෝගය ලබා දෙනවා. අපි දෙන්නයි පුතයි එකතු වෙලා මේ දවස්වල ප්‍රඩක්ෂන් හවුස් එකක් කරනවා.ඒ හරහා වාර්තා වැඩසටහන් සහ වෙනත් නිර්මාණ සිදු කරනවා. පහුගිය කාලෙ මම කෙටි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. හිරු සහ දෙරණ නාළිකාවල කාටූන් චරිත කිහිපයක් සඳහාත් හඬකැවීම්වලින් එක් වුණා. කොහොමත් මං එකවර වැඩ ගොඩක් කරන්න කැමති කෙනෙක් නෙවෙයි. අධිකව කාර්යබහුල නොවී පවුලෙ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්න තමයි කැමති.

Comments