
මුඛයේ දුර්ගන්ධයට කටේ අපිරිසුදුකම වගේම තව බොහෝ දේවල් බලපාන්න පුළුවන්
සමහරු මානසික ප්‍රශ්නයක් නිසාත් තමන්ගෙ කට ගඳයි කියල හිතෙනවා
අපි අද දැනුම්වත් කරන්න යන්නේ පිරිමි ගැහැනු දෙපාර්ශ්වයටම වැදගත් වන දෙයක් ගැන. විශේෂයෙන්ම මේක වැදගත් වෙන්නේ තාරුණ්‍යයේ ඉන්න ගැහැනු ළමයින්ට. ඒ කියන්නේ අපි දැන් ලස්සනට ඇඳලා ලස්සනට කොණ්ඩේ හදාගෙන ලස්සනට හැඩවෙලා ලිප්ස්ටික් ගාගෙන යනවානේ. හැබැයි එහෙම ගිහින් කෙනෙක් එක්ක කතා බහ කරන කොට තමන්ගේ කටෙන් ගන්ධයක් එනවා නම් අර සියල්ලම කඩාගෙන වැටෙනවා. ඒ නිසා කටින් ගන්ධයක් එනවද කියන එක තමන්ට දැනෙන්න ඕනේ, ඒක හොයලා බලාගන්න ඕනේ. එහෙම නැත්නම් තව කෙනෙක් ඉස්සරහ තමන්ගේ ආත්ම ගරුත්වය කඩාගෙන වැටෙනවා.
මේකට කියනවා Halitosis එහෙමත් නැත්නම් මුඛයෙන් ඇතිවන දුර්ගන්ධය කියලා. එතකොට අපි මුලින්ම බලන්න ඕනේ මෙහෙම මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවෙන්න ප්‍රධාන හේතුව මොකක් ද කියලා. ඒකට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි මුඛය තුළම අපිරිසිදුකම හේතු කොටගෙන කට ඇතුළේ කෑම ජාති එකතුවෙලා ඇතිවන දුර්ගන්ධය. ඊළඟ කාරණාව තමයි ශරීරයේ අභ්‍යන්තර රෝග තත්ත්වයක් ඇතිව තිබීම. තව අවස්ථාවක් තමයි තමන්ට මානසිකව හිතෙනවා කටින් ගන්ධක් එනවා කියලා. එහෙම අය කෙනෙක් මුණගැසුණම කරන්නේ දුරින් ඉඳන් කතා කරන එක. අපිට එහෙම රෝගීන් ගොඩක් අය එනවා. කිසිම හේතුවක් නැහැ. බැලුවම මානසික ප්‍රශ්නයක්.
පළවෙනි කාරණාව ගැන අපි බැලුවොත්, ඒ කියන්නේ මුඛයේ අපිරිසිදුකම ඇතිවෙන්න හේතු වෙන්නේ තමන් ප්‍රමාණවත් විදියට දත් මදින්නේ නැතිවීම. විශේෂයෙන් රාත්‍රී කාලයේ කෑම කාලා දත් මදින්නේ නැත්නම් උදේ වෙද්දී කෑම කැබලි එකතු වෙලා, නරක් වෙලා දුර්ගන්ධයක් ඇතිවෙන්න පුළුවන්. එහෙම නැත්නම් දත් නරක් වෙලා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදුරුමස් රෝග තියෙන අයගේ ලේ ඇවිත් විදුරුමස් ඉදිමිලා රතුවෙලා, ඒ වයින් සැරව ඇවිත් ගන්ධයක් එන්න පුළුවන්. තව දෙයක් තමයි මුඛයේ ඇතිවන තුවාල නිසා වෙන්න පුළුවන්. සමහර අය එතරම් ගණන් ගන්නේ නැහැ. නමුත් එය පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ තුවාල විෂබිජවලින් ආසාදනය වෙලා අපිට ගන්ධයක් ඇතිවෙනවා වෙන්න පුළුවන්. ඔය වාගේ මුඛය තුළ තියෙන අපිරිසිදුකම නිසා ගන්ධයක් එනවා වෙන්න පුළුවන්.
මුඛය කියන්නේ අපේ සෞඛ්‍යයේ කැඩපතක්. ඒ නිසා තමා වෛද්‍යවරයෙක් කට ඇරලා බලන්නේ කොහොමද කටේ සෞඛ්‍යය තත්ත්වය කියලා. කටේ විෂබිජ තියෙනවා නම් tonsil ඒ කියන්නේ උගුරේ සෙම් ගෙඩි ඇතිවෙන්න පුළුවන්. සමහර අය කාලාන්තරයකින් දත් සුද්ද කරලා නැතුව ඇති. මාස හයකට සැරයක් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙලා දත් සුද්ද කර ගන්න ඕනේ.කෙනෙක්ගේ සිනහවෙන්ම කියන්න පුළුවන් සෞඛ්‍යය තත්ත්වය මොන මට්ටමේද තියෙන්න කියලා. දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා ඔහුගේ උපදෙස් අනුව අපිට පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න.
හැබැයි ශරීරයේ වෙනත් පද්ධති සම්බන්ධයෙන් අපි කිව්වොත් ආහාර ජීර්ණ පද්ධතියේ බඩවැල් ආශ්‍රිතව හෝ ආමාශයේ තුවාල තියෙන අයට සහ උගුරට එන අයටත් කටින් ගන්ධයක් පිටවෙන්න පුළුවන්. මේ හැම දෙයක් ම දන්ත වෛද්‍යවරයෙක් ට හඳුනා ගන්න පුළුවන්. මොකද කටේ කිසිම ගැටලුවක් නැත්නම් අපි ඊළඟට බලන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ගැන. ඒවාගේම පීනසය හැදෙන අයට සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති අයටත් කටින් ගන්ධයක් පිටවෙන්න පුළුවන්. ඒ එක්කම දියවැඩියා රෝගයේ ලක්ෂණයක් තමයි කටින් ගන්ධයක් ඇතිවීම. ඊට අමතරව අක්මාවේ රෝග, වකුගඩු රෝග තත්ත්ව සහ පිළිකා රෝගී තත්ත්වයන් අපිට හරියට හඳුනා ගන්න පුළුවන් දන්ත වෛද්‍යවරයෙක් හමුවීම තුළින්.
නමුත් ඔය ඉහත කී කිසිදු රෝගී තත්ත්වයක් නැතුවත් සමහර තාරුණ්‍යයේ ඉන්න අය අපි ළඟට එනවා කට ගඳයි කියලා. අපි පරීක්ෂණ කරලා බැලුවම කිසිදු හේතුකාරකයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා කියලා තියෙනවා එක අවස්ථාවකදී ඔයාගේ කට ගඳයි කියලා. ඊට පස්සේ එදා ඉඳන්ම ඒ ගැන හිතලා මානසිකව බලපෑ අවස්ථා තියෙනවා. එවැනි අයට අපි කියන්නේ වෛද්‍යවරයෙක් තහවුරු කරොත් තමන්ට රෝගී තත්වයක් නැහැ කියලා; ඒක පිළිගන්න. එහෙම නැත්නම් අපි ඒ අයව මානසික වෛද්‍යවරයෙක්ට යොමු කරනවා.
මේ එක්කම කියන්න ඕනේ ගොඩක් රෝගී තත්ත්ව හඳුනා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ Halitosis එහෙමත් නැත්නම් මුඛයෙන් ඇතිවන දුර්ගන්ධය කියන එක. ඒ නිසා මේ ලිපිය කියවලා අවසන් වෙන විට තමන්ට හිතෙනවා නම් තමන්ගේ මුඛයෙන් ගන්ධයක් එනවා කියලා හැකි ඉක්මණින් දන්ත වෛද්‍යවරයෙක් හමුවෙන්න.
අපි හිතන්නේ අපිව දකින්නේ මිනිස්සු රූපයෙන් ඇඳුමෙන් කොණ්ඩ විලාසිතාවෙන් සහ අපේ ගමනෙන් කියලා. නමුත් ඒ සියල්ලම නැතිවෙන්න පුළුවන් කටින් එන දුර්ගන්ධයක් නිසා. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොදලා ඒ වෙනුවෙන් පිළියමක් යොදා ගත යුතු වෙනවා.