අසිරිමලේ රූ සිරි විඳින්න ත්‍රිකුණාමලේ ඇවිත් යන්න | සිළුමිණ

අසිරිමලේ රූ සිරි විඳින්න ත්‍රිකුණාමලේ ඇවිත් යන්න

 

ගමන් මඟ

පළාත : නැඟෙනහිර

දිස්ත්‍රික්කය : ත්‍රිකුණාමලය

කොළඹ සිට දුර : 311. 2 km

ආසන්න නගරය : පුල්මුඩේ 3.3 km

ත්‍රිකුණාමලයේ සිට

පුල්මුඩේට දුර 52 km

තිරියාය හිරිගඬු සෑයේ සිට

12 km පමණ

 

 

 

සමහර ලස්සන ස්ථාන ගැන කියන්න වදන් නැහැ. වදන්වලින් එපිටට ගිය විඳීමක් හා සුන්දරත්වයක් ඒවායේ අන්තර්ගතයි. අසිරිමලේ මුහුදු තීරයත් එහි නම වගේම අසිරියෙන් පිරුණක්. අරිසිමලේ අසිරිය කියපාන්නට වචන වුව ගොළුවන හැටි පුදුමයි. විසල් දළ රළ පෙළ උස්ව නැඟි වෙරළතට එන්නේ කරදිය පිසගෙන. වෙරළ ඉම ඇති උස් ගල් පර මත වැදී නඟන හඬ දෙසවන් අඟුළුලයි. නිල්වන් සයුරත් මනරම් වෙරළත් කිසිදාක විඳ නැති අසිරියක් මවයි. මේ මොන අසිරියක් ද? වෙරළ හරියට පබළු හෝ පුංචි පුංචි මැණික් කැට අතුරලා වගේ සුන්දරත්වයෙන් යුතුයි. නෙක පැහැති නෙක හැඩැති මුතු බෙල්ලන් හැමතැනම. කිසිම දවසක අපේ රටේ කිසිදු වෙරළක දැක නැති මුහුදු වැල්ලකින් එය සමන්විතයි. වැලි කැට ලොකුයි; විවිධ පැහැයෙන් යුතුයි. එය නම් පබළු මිණි මුතු මිසක කිසිවක් නොවෙයි. වෙරළ පුරාවටම දැක ගත හැක්කේ ඒ පබළු ම ය; ඒ සුන්දර වැලිකැටය. ඒවා පුංචි මිණි කැට සදිසි ය.

 

 

සැළලිහිණි සන්දේශයේ එන කවියක් සිහිපත් වෙයි. අරිසිමලේ ආවොතින් ඒ කවිය සත්‍යයක් බව ඔබට වැටහෙනු නිසැක ය. තොටගමුවේ රාහුල හිමියන් එය දැක ඇද්දැයි මනස් සිත්තමේ ඇඳ ගත්ත ද යන්න කිව නොහැකි මුත් මේ අරිසිමලේ වෙරළ මත අතුරාගෙන ඇති මුතු පබළු කැට ඔබට ජිවමානව දැකගත හැකියි.

 

වළදින අදහසින් මෙන් සුර ගඟ අගන

නලබල සසල දළ රළ පෙළ නුඹ නැගෙන

වෙළැලැසි ගැවසි මුතු සක් පබළු බබළන

බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන

 

අහස නැමැති කාන්තාව වැලඳ ගන්න අදහසින් වගේ සුළං බලයෙන් අහසට නැඟගන්න හදන උස් දළ රළ පෙළ වෙරළට අරන් අවිත් අතුරපු මුතු සක් පබළු මේ වෙරළ පුරා විසිරිලා තියෙන හැටි බලන්න ලස්සනයි. පුදුමයි. ඔබත් ඇවිල්ලා යන්න එන්න. එය සැබෑවක් බව හැඟෙයි දවසක.

තපස්සු භල්ලුක වෙ‍ෙළඳ දෙබෑයන් මුලින්ම මෙහි ආ වග ඉතිහාසය සාක්ෂි දරයි. තවත් ජනප්‍රවාදයකට අනුව ඔවුන් ගමන්ගත් නැව සහලින් පිරි තිබූ බවත් මෙම මුහුදු ප්‍රදේශයේ ඇති ගල් පර වල වැදි එය ගිලී ගිය හෙයින් මෙම වෙරළ සහල් හැඩයකට පත්වූ බවත් සඳහන් වෙයි.

ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ මාර්ගයේ පුල්මුඩේ නගරයට ආසන්නව මෙම වෙරළ පිහිටා තිබේ. මෙම වෙරළෙහි ඇති වැලිවල ස්වභාවය වෙනස්ය. දමිළ බසින් අරිසි යනු "සහල්ය" මලෙයි යනු " කන්දය" ඒ අනුව මෙයට " සහල් කන්ද " නම පට බැඳි ඇත. වැලි කැට පමණින් විශාලය. සම්බා සහල් මෙනි. එය අපි නම් අත්වින්දෙමු.

අති සුන්දර නිලාවෙලි වෙරළත් කෝකිලායි වෙරළත් අතර මැද මෙම වෙරළ පිහිටා තිබේ. දෙස් විදෙස් සංචාරයකන්ට කිසිදාක අත් විඳීමට නොලැබෙන මහරෑ අත්දැකීමක් මෙම රමණිය වෙරළත්, වන අරණත් ඔබට ලබා දෙනු නිසැකය.

අරිසිමලේ වන සෙනසුන ගැන ද කිව යුතු ම ය. එය අරිසිමලේ රාජ මහා විහාරය නමින් හැඳින්වෙයි. එය ගත සිත නිවන පුද බිමකි. අතීත රජ දවස ගෝකණ්ණ නාවික තොටුපොළකි. ඒ වටා පැතිර ගිය බෞද්ධ නටබුන් රැසකි. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන්ගේ පැමිණීමේ පටන් දිගු ඉතිහාසයකට මෙය හිමිකම් කියයි. ත්‍රිකුණාමලයේ සංචාරය සඳහා පැමිණෙන ඔබට හිරිගඬු සෑ රඳුන් වැද පුදා ගෙන බලන්නට යා හැකි අපුරු දසුන් මවනා වෙරළකි. වන අරණකි; පුදබිමකි. භික්ෂූන් වහන්සේලා භාවනායෝගිව වැඩ වසන හෙයින් උන්වහන්සේලාට අවහිරයක් නොවන සේ හැසිරිය යුතුය. කැළයට අතුළුවීමට අවසර නැති බැවින් පෙත්මඟ දිගේ වෙරළට යා යුතුය.

මෙම වෙරළ තිරයෙහි ජලය පැහදුල්ය; පිරිසිදුය. වනාන්තරය තුළත් වෙරළෙහි සමහර තැන්වල සංචාරකයන් ගෙනා දමා ගිය කුණු කසළ හේතුවෙන් යම් පමණකට අපිරිසිදු වි ඇත. මත්පැන් බෝතල් බොහෝ දැක ගත හැකි විය. වෙරළ අද්දර ඇති විසල් ගල්කුළකට වාරු වී සැන්දෑ හිරැ බැස යන අයුරැ බලන්නට ලස්සනය. මේ ගල්කණු තියුණු හැඩයකින් යුතු බැවින් අප ප්‍රවේසම් විය යුතුය.

මේ අරිසිමලේ වන අරණේත් වෙරළේත් කඳවුරු බැඳීම සාද පැවැත්වීම සපුරා තහනම්ය. තවද මෙහි ඇති සුවිශේෂී වැලි කැට පිටතට රැගෙන යාම තහනම්ය. මුහුදු රළ තරමක් චණ්ඩ බැවින් දිය නෑම අනතුරුදායකය. මෙහි ඇති නාවික හමුදා මුරපොළ අසල ඔබට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සහ පිරිසිදු ජලය ලබාගැනීමට හැකි ස්ථානයක්ද ඇත.

අප මේ වෙරළ නරඹන්නට එහි අසිරිය විඳගත්තේ කොරොනා වසංගතය ලොව පුරා හමා යන්නට මාසයකට දෙකකට පමණ පෙරය. ඉදිරියේ එවන් වසංගතයක් එන බව කිසිවෙක් දැන නොසිටියෙමු. වසංගතය පැවති වසර කිහිපයක් තුළ කිසිවකු මේ වෙරළට යන්න එන්න නැතුවැති. තවත් වඩ වඩා සෞන්දර්යයෙන් හැඩ වැඩ වී ඇති බව සිතිය හැකිය. යළිත් ඔබට ලංකාව පුරා සංචාරය කිරිමේ ඉඩ කඩ කෙමෙන් විවර වෙමින් පවති.

එබැවින් ඔබේ ගත සිත නිවා සනසා ගැනුමට ද අපූරු පාරසරික සුන්දරත්වයක් විඳ ගැනුමටත් ඔබ සොයා යන ගමනාත්තයක් අතරට මේ අති රමණීය වෙරළ තිරය තෝරා ගන්න. අරිසිමලේ වෙරළත් වන අරණත් සෙනසුනත් අපුර්වත්වයෙන් අනූන වෙනස් වූ නෙක හැඩැති ළවැලි තල පුරා සිත් සේ ඇවිද යන්නටත් හැකිය. රළ පෙළ නැඟෙන අයුරැත් මුතු පබළු වෙරළ මත අතුරන අයුරුත් බලන්නට ඔබට හැකිය.

සැන්දෑ ඉර මුඳුන් වන වන විට හාත්පස පරිසරය අඳින සිතුවමක සාක්ෂි කරුවෙක් වන්නට ඔබට හැකිය. ඒ මේ සොබා සෞන්දර්ය එයට හිමි නිසි අයුරින් තිබෙන්නට ඉඩ හැරීමෙනි. පරිසරයට කිසිදු අඩුපාඩුවක් නොකර ඔබගේ පා සටහන් පමණක් වෙරළ මත තබා සේයාරුවක් පමණක් රැගෙන එන්න. මක්නිසාදයත් හෙට දවස තුළත් මෙවන් වෙරළක සිසිල විඳිනට ලෝකයම පෙර මං බලා ඉන්නා බැවිනි.

 

 

 

Comments