ආශාවරී චිත්‍රපටයේ අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ
හේ චිත්‍රකතා ශිල්පියෙකි. පසුව ඩුබායි අබුඩාබි, ඕමාන්, බහරේන්, සිංගප්පූරුව වැනි රටවලට වෙෙළඳ ප්‍රචාරක නිර්මාණශීලී අධ්‍යක්ෂවරයා වශයෙන්ද කටයුතු කළේය.1998 වර්ෂයේදී මවු රටට පැමිණීමෙන් පසු ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරක ආයතනයක් වන Batesහි ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂවරයා විය. මේ දිනවල තිරගතවන ආශාවරී චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ද තේජා ඉද්දමල්ගොඩයි. මේ ඔහු සමඟ සිළුමිණ රසඳුන කළ සාකච්ඡාවයි.
ආශාවරි චිත්‍රපටිය හැදෙන්නේ කොහොමද ?
ලෝකයේ ප්‍රධාන පෙළේ ප්‍රචාරක ආයතනවලින් ලැබූ අත්දැකීම සහ මම ආරම්භ කළ ප්‍රචාරක ආයතනයෙන් ලැබූ අත්දැකීමුත් එක්ක තමයි මම චිත්‍රපටයක් කරන්න ඕන කියලා ගොඩක් කල් ඉදන් හීන මැව්වේ. ඔය ඉන්න අතරතුරේ මගේ හොඳම සඟයෙක් වන ප්‍රවීණ සිනමා කැමරා අධ්‍යක්ෂකවරයකු වන රුවන් කොස්තා සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසින් තමයි ආශාවරි චිත්‍රපටය හැදෙන්නේ. ආශාවරි චිත්‍රපටය කතාව, දෙබස්, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය වගේම ගී තනු සංගීතයත් මගේයි. ආකර්ෂණීය සිනමාවක් කරා යන්න නම් අපි මෙවැනි නිර්මාණ කරන්න ඕනි කියලයි මම හිතන්නේ.
සිනමා අධ්‍යක්ෂණයට එන්න ප්‍රමාද වුණේ ඇයි ?
මම වෙළෙඳ ප්‍රචාරක මාධ්‍යකයි ගොඩක් කල් නිරත වෙලා හිටියේ. ඒ නිසා මට සිනමාව ගැන අධ්‍යයනයක් කරන්න කාලයක් ඕන වුණා. ඒ නිසා මම හොඳ අධ්‍යයනයක් කරලා තමයි හොඳ නිර්මාණයක් කරන්න අත ගැහුවේ. මම යම් දෙයකට අත ගහනවා නම්, කාල වකවානු තියෙනවා, එවා බලලා තමයි වැඩකට එන්නේ. ඒ නිසා මම ලද අත්දැකීම් සියල්ලම එකතු කරගෙන මෙම නිර්මාණය කරලා ඉවර කළා.
සිනමාපටයට රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී දැඩි පරිශ්‍රමයක් දැරුවා කියලා ආරංචියි?
මේ සිනමා පටය සඳහා ප්‍රධාන නිළිය තෝරා ගැනීමේදී හතළිස් හත් දෙනෙක් සම්මුඛ පරීක්ෂණ කළා. එයින් ඉන්දියාවෙන් හතර දෙනෙකුත් ආවා .47 වැනි ළමයා තමයි තේරුණේ. මම මේ සිනමා පටය සඳහා නවක නිළියන් දෙදෙනෙක් හඳුන්වා දෙනවා. ඔවුන් දෙදෙනා තමන්ට පැවරුණු කාර්යභාරය මැනවින් කළා. මම ඇත්තට ඒ ගැන සතුටු වෙනවා. අනෙක් සියලු දෙනාම තේරුණේ මගේ පැන්සල් තුඩින් ඇඳපු සිතුවම්වලින්. ප්‍රධාන නළුවාට රඟපාන හේමාල් තේරුණෙත් එහෙමයි. ඒක දන්නේ ටික දෙනයි. නිර්මාණයක් කරන විට නළු නිළි කැල තමයි, ප්‍රධාන වෙන්නේ. ඔවුන්ගේ රඟපෑම සාර්ථකයි නම්, ඒ නිර්මාණයත් සාර්ථකයි.
තව සිනමාපට පෝලිමේ තිබෙද්දී ඔබේ නිර්මාණය තිරගත වෙන්නේ කොහොමද?
මගේ සිනමාපටය තිරගත වෙන්න තිබුණේ කොවිඩ් වසංගත සමයේයි. මම ඊට ඉස්සර වෙලා මේ සිනමාපටය ප්‍රදර්ශකයන්ට පෙන්වලයි තිබුණේ. ඔවුන් සියලු දෙනාගේම ඉල්ලීම වුණෙත් හැකි ඉක්මනින් මෙහි ප්‍රදර්ශනය ආරම්භ කරීම ගැනයි. ඊ.ඒ.පී .මණ්ඩලයි, මෙහි ප්‍රදර්ශන කටයුතු බාරගත්තේ. ඔවුන්ගේ දැඩි ඉල්ලීම නිසා තමයි මේ ප්‍රදර්ශනය අපි ආරම්භ කළේ. අනෙක් අය තිරගත කරන්නෙ නැත්නම් මම හිතුවා මගේ සිනමාපටය තිරගත කරන්න ඕනෑ කියලා. ඒ අනුව ඊ.ඒ.පී මණ්ඩලයත්, මමත් අතර ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සිනමා පටය ප්‍රදර්ශනය මාර්තු 3 වැනිදා සිට දිවයින පුරාම ආරම්භ කළා. අනෙක් මණ්ඩලවලත් මෙය ප්‍රදර්ශනය වෙනවා.
තිර පිටපත අතරමඟදී වෙනස් කරපු බවක් දක්නට ලැබෙනවා ?
මගේ නිර්මාණය මම බිහි කළේ ගැලරිය පුරවන්නයි. විසිල් එක, සටන, ඕ.ඩී, සි, යන මේවට හරියන පවුලේ කතාවක්, බැල්කනියට ප්‍රේමණීය කතාවක් මේ සියල්ල මේ නිර්මාණය තුළ තියෙනවා. මම තිර පිටපත හැමවෙලේම හදනවා. හැබැයි ඒක ප්‍රේක්ෂකයාට ඕන විදිහට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. වෙනත් නිර්මාණකරුවන් කරපු දේවල්වලට වැඩිය වෙනස් දෙයක් මට කරන්න ඕන වුණා. ඒ නිසා මම වෙනස් විදිහකට කළා. ඒකේ වැරැද්දක් නෑ කියලා මම හිතනවා.
තිරය පිටුපස ලැබුණු සහයෝගය කොහොමද ?
ඒ ගැන නම් කතා කළ යුතුමයි. රුවන් කොස්තාගේ කැමරා කෝණ මේ සිනමාපටය පුරාම දකින්නට ලැබෙනවා. සිනමාපටයේ රසය උපරිම විඳින්නට ඔහු සලස්වලා තියනවා. ඔහු වැනි කැමරා අධ්‍යක්ෂකවරයෙක් ලැබීමත් පිනක් ලෙස සලකනවා. මොකද මම නවක අධ්‍යක්ෂකවරයෙක්. මට ඒ වගේ අත්දැකීම් බහුල කැමරා ශිල්පියෙක් ලැබෙනවා කියන්නේ වාසනාවක්. commercial එකට හරියන ආකාරයට රුවන්ගේ කාර්යය කරලා දුන්නා. සුරේෂ් මාලියද්දගේ සංගීතය හොඳ සංගීතයක් වෙයි කියලා මම හිතනවා. කලා අධ්‍යක්ෂකවරයත් ඔහුගේ හැකියාව උපරිමයෙන්ම මට දුන්නා. මේ අයුරින් සියලුම දෙනාගේ අත්දැකීම් එක්ක තමයි මේ සිනමාපටය කළේ. ඔවුන්ගේ කාර්යභාරය අගය කළ යුතුයි.
සැලසුම් කළ පරිදි සිනමාපටය නිමා කරගන්න බැරි වුණා නේද ?
ඒකට ප්‍රධානතම හේතුව වුණේ ජයලත් මනෝරත්නගේ අසනීපයයි. මම ගොඩක් දවස් බලාගෙන හිටියා ඔහු සුව වෙලා ආවම මේ සිනමාපටයේ රූගත කිරීම ආරම්භ කරන්න. ඒත්, දින 57 කට වැඩිය දින ගණනාවක් රූගත කිරීම් කළා. අධික පිරිවැයක් දරන්නත් සිදු වුණා. මමම නිෂ්පාදකවරයාත් වුණු හින්දා හොඳයි. වැරදිලාවත් වෙනත් නිෂ්පාදකවරයෙක් හිටියා නම් ඔහු සිනමාපටය දාලා යනවා.
දර්ශන තල තෝරා ගැනීමේදී අනුගමනය කළේ මොනවාද ?
මාසෙකට වැඩිය බලපු location තමයි මේ සිනමාපටය පුරාම දක්නට ලැබෙන්න තියෙන්නේ. දියතලාව, ඉදල්ගස්හින්න ඔහිය, පට්ටිපොල, අඹේවෙල, නුවරඑළිය, රන්මිණිතැන්න වැනි තැන්වල රූපගත කිරීම් කළා. මට ඕනකම තිබුණේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකෙටම පෙන්වන්නයි. සුන්දරත්වය නැතුව ෆැන්ටසියක් කරන්න බෑ. කොළඹ ඉඳන් ට්‍රේන් තුනක්, දවස් තුනක් ගෙනල්ලා තියෙනවා සිනමාපටය වෙනුවෙන්ම. ඒක අධික පිරිවැයක්.
සිනමාපටය ඉලක්ක කරන්නේ කා වෙනුවෙන්ද ?
මට ඕන වුණේ ආකර්ෂණීය සිනමාවක් නිර්මාණය කරන්නයි. අපේ සිනමාවේ තිබුණා commercial and art කියන සිනමාව. ඒක කෙටි කාලයක් තුළදී නැති වුණා. ඒ දේ ඇති කරන්න තමයි මං මේ සිනමාපටය කරන්නේ. මම හිතනවා මම ඒකෙන් ජයග්‍රහණය කරලා ඇති කියලා. පන්ති තුනම නියෝජනය කරන විදියට නිර්මාණයක් බිහි වෙනවා නම්, ඒක තමයි මගේ නිර්මාණය. ඒක මේ නිර්මාණය තුළ තියෙනවා.
ප්‍රේක්ෂකයා එක තැනකට ගෙනල්ලා ෆැන්ටසියක රඳවන්නේ ඇයි?
මට ඕන වුණා වෙනසක් කරන්න. මොකද ඉන්දියාවේ කරපු දමිළ චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී ධර්ම යුද්ධය ලෙස අධ්‍යක්ෂණය කරන්නෙත් කතාව එක තැනකට ගෙනල්ලා වෙනස්ම තැනක් ඔස්සේ ගමන් කරන්නේ. ඒක තමයි මෙතනත් තියෙන්නේ. මම නවක අධ්‍යක්ෂවරයෙක් නිසා පොඩි, පොඩි දේවල් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ කොහොමද කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.
නිශ්ශංක විජේරත්න