රුව වඩන විටමින් E සත්කාරය කරන්නේ මෙහෙමයි | Page 2 | සිළුමිණ

රුව වඩන විටමින් E සත්කාරය කරන්නේ මෙහෙමයි

රූ රහස් තුළින් අද අපි ඔබව දැනුම්වත් කිරීමට සූදානම් වන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වන විටමින් ඊ පිළිබඳවයි. මේදයේ දියවන විටමින් වර්ගයක් ලෙස හැඳින්වෙන එය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස හා ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක් ලෙස ද හැඳින්විය හැකියි. වෙළෙඳපොළේ ඇති රුව වඩවන නිෂ්පාදන අතරින් වැඩි දෙනාගේ කැමැත්ත දිනා ගත් විටමින් ඊ රූපලාවණ්‍යය සත්කාර සඳහා බෙහෙවින් යොදා ගැනෙනවා.ඉතින් මේ විටමින් ඊ භාවිත කිරීමෙන් අපේ ලස්සන වැඩි කරගන්නෙ කොහොමද කියල සිංගප්පූරුව මාලදිවයින නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා හේරත් ගෙන් අපි දැනගනිමු. 

රූපය ගැන හිතන , ලස්සන ගැන කතා කරන , ලස්සනට ඉන්න කැමති ඕනෑම කෙනෙක්ට විටමින් ඊ ඉතාම හොඳ ප්‍රතිකර්මයක්. විටමින් ඊ කියන්නෙ ස්වභාවික රූ සපුව රැකදෙන ඉතා වටිනා ඖෂධයක්.රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය කිරීම සහ සමහර පිළිකා වලින් ආරක්ෂාව සැකසීමත් විටමින් ඊ වල කාර්යයක්. ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් ඊ ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ද ක්‍රියා කරනවා. ඒ වගේ ම විටමින් ඊ මඟින් මිනිස් සමට සහ හිසකෙස්වලට විශේෂ සත්කාරයක් ලබා දෙනවා. සමහර වෙළඳපෙළේ ඇති රුව වඩවන නිෂ්පාදන අතරින් විටමින් ඊ ප්‍රමුඛතාවක් ගනු ලබන්නේ ඒ නිසයි.

මුලින් ම අපි හිස කෙස් වලට විටමින් ඊ වලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විමසා බලමු. හිසකෙස් අග පැළීම, කෙස් කැඩී යාම හෝ ගැලවීයාම වර්තමානයේ බොහෝ කාන්තාවන්ට තිබෙන ගැටලුවක්.

මේවා පාලනය කිරීම සඳහා විටමින් ඊ භාවිත කරන්න පුළුවන්.ඒ සඳහා රත් කරගත් ඕලිව් තෙල් හෝ පොල්තෙල් මේස හැඳි දෙකකට විටමින් ඊ කරල් දෙකක් මිශ්‍ර කර හිස් කබලේ ආලේප කර ඇඟිලි තුඩු වලින් විනාඩි තිහක් පමණ සම්බාහනය කර සෝදා හරින්න. මෙය සතියකට කිහිප වරක් කිරීමෙන් නීරෝගී කෙස් කලඹක් ලබා ගත හැකියි. ශරීරයේ විශාල ම අවයවය වන සම සඳහා විටමින් ඊ යොදාගත හැක්කේ කොයි ආකාරයෙන් ද කියල අපි දැන් බලමු. විවිධ හේතු නිසා සමෙහි ඇති වන කැළැල් සහ තුවාල ආදියට විටමින් ඊ කියන්නෙ සාර්ථක ප්‍රතිකර්මයක්. විටමින් ඊ සමේ ආලේප කළ විට සමෙහි අලුත් සෛල නිපදවෙනවා. එමඟින් ලප හා කැළැල් ඉවත් වූ සුන්දර සමක් ලබාගන්න හැකියි.

ඇතැම් අය තරුණ වියේ සිටියත් සමේ රැලි ස්වභාවයක් දැකගන්න පුළුවන්.එමෙන් ම නළල, බෙල්ල, අත්වල ඇඟිලි සහ ඇස් වටා රැලි වැටීම බොහෝ දෙනෙක් පීඩාවට පත් කරනවා.

එම ස්ථානවල විටමින් ඊ ආලේප කිරීම මඟින් සම යථා තත්ත්වයට පත් කරගත හැකියි. අවුරුදු තිස් පහ පමණ ඉක්මවූ විට කාන්තාවන්ගේ ඇස් යටින් ඉදිමීමත් වෙහෙසකර ස්වභාවයත් වැඩි වශයෙන් පෙන්නුම් කෙරෙනවා.

විටමින් ඊ කරලක් මූණෙ ආලේප කරල සම්බාහනය කිරීමෙන් ඔබේ මුහුණේ සම නීරෝගී කරගන්න පුළුවන්. මෙම සත්කාරය කරන විට වෙඳගිල්ල භාවිතා කිරීමට මතක තබා ගන්න.

එමඟින් ඇස්වටා ඇති මෘදු සමට වන හානිය වළක්වා ගත හැකියි.

සම පිරිසිදු කිරීම සඳහා ක්ලෙන්සර් එකක් ලෙසත් විටමින් ඊ භාවිත කරන්න පුළුවන්. විටමින් ඊ කරලක් ආලේප කර පුළුන් කැබැල්ලක් ඔස්සේ මුහුණේ කුණු දූවිලි පහසුවෙන් ඉවත් කරගත හැකි බව ඔබ දැන සිටියාද.සමේ වියළි බව නිසා අපහසුතාවට පත් වූ ඔබට සමේ තෙතමනය රැකගන්නත් විටමින් ඊ ඉවහල් කරගන්න පුළුවන්.

පසු ගර්භණී අවදියේ ඇති කැළැල් ඉවත් කරගැනීම සඳහාත් එමඟින් හැකියාව තිබෙනවා. ඇඟ සේදීමට පැය කීපයකට පෙර හෝ නින්දට යාමට පෙර සුදු පොල්තෙල්වලට විටමින් ඊ කරලක් යොදා ආලේප කර විනාඩි විස්සක් පමණ සම්බාහනය කරන්න. සමස්තයක් ලෙස නීරෝගී සමක් ලබා ගැනීමට දිනපතා සම්පූර්ණ ශරීරය සඳහාම මේ තෙල් සත්කාරය කරන්න ඔබට පුළුවන්.

විටමින් ඊ අප ගන්නා ආහාරවලත් ඇතුළත් වෙනවා. කැරට්, බතල, නිවිති, කිරි, බිත්තර, අලිගැටපේර ආදිය තුළින් මෙය ශරීරයට පහසුවෙන් ලබා ගත හැකි නිසා රුව ගැන සිතන ඔබ එවැනි ආහාර ගැනීම සඳහා උනන්දු වීමත් වැදගත්.

Comments