යුක්රේනයට එල්ල වූ හදිසි හමුදා ප්‍රහාරය හේතුවෙන් එරට සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන් අඩාළ විය. විදේශ රටවලින් අතිරේක හමුදා පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වුවද කිසිදු විදේශ රටක් යුක්රේනයට හමුදා එවීමට කටයුතු කළේ නැත. එබැවින් තම රට රැක ගැනීමට කටයුතු කිරීමට එරට ජනතාවටම ඉදිරිපත් වීමට සිදුවිය. යුක්රේන පිරිමින්ට රට හැර යෑම තහනම් කෙරුණු නමුත් ලක්ෂ හයටක ආසන්න යුක්රේන වැසියන් අසල්වැසි පෝලන්තයට පලා ගිය බව වාර්තා විය.
එහෙත් මේ අතර සැබවින්ම තම රටට ආදරය කළ බොහෝ දෙනා තම රට වෙනුවෙන් සටන් කිරිමට තීරණය කළහ. ඔවුන් කිසි දිනක අවි පුහුණුවක් නොලද්දවුන් වීම විශේෂ කරුණක් විය. ඔවුන් සතු වූයේ ආත්ම විශ්වාසය සහ දේශාභිමානය පමණක්ම විය. ඔවුන් හැකි පමණ ආයුධ දරමින් තම අගනුවරට කඩා වදින රුසියානු හමුදාවලට එරෙහිව සටන් කරන්නට වූහ. මෙලෙස අවි අතට ගත් යුක්රේන වැසියන් අතර සුවිශේෂ චරිත රැසක් ද විය. ඒ අතර කිසිදා ගිනි අවියක් අතකිනුඳු නොඇල්ලූ සුරූපිනියක් ද වූවාය.
ඇය ඇනස්ටාසියා ලීනා ය. 2015 වසරේදී යුක්රේන රූ රැජින ලෙස කිරුළු පැලඳූ ඇනස්ටාසියා එම වසරේදීම ලෝක රූ රැජින ඇතුළු රූ රැජින තරගාවලි කිහිපයකටම යුක්රේනය නියෝජනය කළාය. එතැන් සිට නොයෙක් සමාජ සේවා කටයතුවල යෙදෙමින් සිටි ඇය යුක්රේනයට ජාතික වීරයන් අවශ්‍ය වූ මේ මොහොතේදී රට වෙනුවෙන් අවි අතට ගැනීමට කටයුතු කළාය.
ඇය නවීනතම ගිනි අවියක් සමඟ පෙනී සිටින ඡායාරූප කිහිපයක්ම තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට එක් කරමින් ඇය පවසා තිබුණේ ‘තම රටේ දේශසීමාවන් උල්ලංඝණය කරන සියලු දෙනා ආක්‍රමණිකයන්‘ බවයි. එමෙන්ම එසේ ඇතුළුවන සියලුදෙනා මරා දැමීමට යුක්රේන ජාතිකයන් කටයුතු කරන බවද ඇය තම ඉන්ස්ටර්ග්‍රැම් පිටුවේ සටහන් කර තිබිණි.
ඇයගේ ඡායාරූපයට මෙන්ම ඇයගේ ඉදිරිපත් වීමටද ලොව පුරා ජනතාවගෙන් බොහෝ ප්‍රතිචාර ලැබුණු බැවින් ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව තම රටේ ජනතාව දිරිමත් කිරීම සඳහා ද යොදා ගැනීමට කටයුතු කර තිබිණි.
පසුගිය සෙනසුරාදා දිනය ගෙවී යන විට ඇය යළිත් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහන් තබමින් ‘අපේ ජනතාව කොතරම් හොඳට සටන් කරනවාද කියනවා නම් ළඟදීම නේටෝ සංවිධානය යුක්රේනයට එකතු වීම සඳහා ඉල්ලුම් කරනු ඇතැයි තමා සිතන බව‘ පවසා සිටියාය.
මීට පෙර යුක්රේන ජනාධිපතිවරයා තම රට නේටෝ සංවිධානයට එක් කර ගන්නා ලෙස නේටෝ සංවිධානයෙන් ඉල්ලා සිටි නමුත් නේටෝව එයට යහපත් ප්‍රතිචාර දක්වා තිබුණේ නැත. කෙසේ වුවද යුද වදින තම ජනතාව දිරිමත් කරමින් ඇනස්ටාසියා පවසා සිටියේ නේටෝවේ ආධාර ශක්තිමත් යුක්රේන ජනතාවට අවශ්‍ය නොවන බවයි.
මීට අමතරව ඇය තම රටේ රාජ්‍ය නායකයා යුද වදින සෙබළ පිරිස් අතරට පැමිණෙමින් ඔවුන් ධෛර්යමත් කරන අන්දම දැක්වෙන වීඩියෝ පට තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එක් කරමින් සටහන් කර තිබුණේ තම රටේ රාජ්‍ය නායකයා ‘සත්‍යවාදී සහ ශක්තිමත් නායකයකු‘ බවයි.
ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ජනප්‍රියත්වයෙන් ඉහළයත්ම යුක්රේන සරසවි කිහිපයක්ම ඇයගේ ගිණුම සමඟ ඒකාබද්ධ වෙමින් යුක්රේනයට සහය ඉල්ලා ප්‍රකාශ පළ කරන්නට විය.
ඇනස්ටාසියා එක් හුදකලා කාන්තාවක් වුවද ඇය රූ රැජිනක් ලෙස තම ජනප්‍රියත්වය මේ මොහොතේදී තම රටට ඉතාමත් අවශ්‍ය අන්දමින් මෙහෙයවීමට සමත්ව ඇති බව කිව යුතුය. ඇය වැනි තවත් දසදහස් ගණන් නිර්භීත යුක්රේන වැසියන් හේතුවෙන්ම රුසියානු හමුදාවට මේ දක්වා එරට ප්‍රධාන නගර කිසිවක් අත් කර ගැනීමට නොහැකි වී තිබේ. හෙට දිනයේදී ඔවුන් නගර අත් කර ගත්තද සිවිල් වැසියන් ලෙස යුක්රේන ජනතාව අති ප්‍රභල රුසියානු හමුදාවන්ට ප්‍රබල තර්ජනයක් වූ බව මේ වන විටත් ඉතිහාසයේ ලියවී අවසන් බව පැවසිය යුතුය.
ටිරෝනි වෑවලගේ
ටිරෝනි වෑවලගේ