මම හැම නවකතාවක් ම රචනා කළේ සහේතුකවයි | සිළුමිණ

මම හැම නවකතාවක් ම රචනා කළේ සහේතුකවයි

ජනප්‍රිය නවකතා රචක එඩ්වඩ් මල්ලවආරච්චි

එඩ්වඩ් මල්ලවආරච්චි රසඳුනට අමුත්තකු නොවේ. රසඳුනට ඔහු ලියූ චංචලා, චපලී නවකතා පාඨකයන් අතර ඉතා ජනප්‍රිය වූයේය. ඔහු 1997 වසරේදී ලියූ චාතූර්යා නවකතාව පාඨකයන් අතර අතිශය ජනප්‍රිය වූ අතර එය වාර්තා තබමින් අලෙවි විය. එඩ්වඩ් මල්ලවආරච්චි මේ වන විට ලියූ නව කතා සංඛ්‍යාව 130 කි. එයින් බහුතරය යොවුන් හදවතට කතා කරන නව කතාය. ශ්‍රී ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඉටුකරන ලද සේවාව වෙනුවෙන් 2017 රාජ්‍ය සම්මාන උළෙලේදී එඩ්වඩ් මල්ලවආරච්චි කලාභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීය.

1.මගේ පළමු නවකතාව

‘ ප්‍රාර්ථනා ‘මගේ මුල්ම නවකතාව. මම වැඩිපුර ආදරය කළ නවකතාවත් ප්‍රාර්ථනායි. මගේ ප්‍රාර්ථනා අපේක්‍ෂා බිද වැටුණු යුගයකදී මේ නවකතාව මා අතින් ලියැවෙනවා. එය ආදරයෙන් පාඨකයා වැලඳගන්නේ ඔවුන්ගේත් ජීවිතවලට එය සමීප බව කියමින්. පාඨක ප්‍රතිචාර කෙතරම් ඉහළද කියනවා නම් මෙහි දෙවන කොටස සුභා ලෙසත් තෙවන කොටස සුභ ප්‍රාර්ථනා ලෙසත් ලියැවෙනවා. ප්‍රාර්ථනා, සුභා සහ සුභ ප්‍රාර්ථනා කතා ත්‍රිත්වය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ­්‍යයක්.

2. එහි සිත්ගත් හා සංවේදී අවස්ථා

මේ නවකතාවේ ප්‍රධාන චරිතය වන අශෝකට රැකියාවක් නෑ. ඒ නිසා තම පෙම්වතිය වන සුභාගේ ගෙදරින් විවාහයට අකමැති වනවා. මටත් වුණේ එයමයි. මගේ ආදර කතාවේත් මේ සංවේදී අත්දැකීම මටත් තිබුණා රැකියා විරහිත උපාධිධාරියකු ලෙස. ඒ වගේම මේ දෙදෙනාගේ ආදරය පසුකලකදී ජය ගන්නවා. මේ අවස්ථාව මගේ සිතේ ඇඳී පවතින්නේ මමත් එසේ ප්‍රේමය ජයගත් කෙනකු නිසා.

3. ලැබුණු පාඨක ප්‍රතිචාර

‘ප්‍රාර්ථනා ‘ ලියා ශතවර්ෂ භාගයක් ඉක්මවා ගිහින්. එදා 1970 රු. 4.50 එළිදැක්වූ ප්‍රාර්ථනා පොත අද රුපියල් 500 ක් වුණත් පාඨකයන් මිලදී ගන්නවා. මම හැම නවකතාවක් ම රචනා කළේ සහේතුකවයි. විවෘත ආර්ථිකයත් සමඟ ගැහැනිය අලෙවි වූ ආකාරය ලොකු දුව තුළින් මා කිව්වා. සුමිත්‍රා පීරිස්ගේ අධ්‍යක්‍ෂණයෙන් එය සිනමාපටයක් වී ජාත්‍යන්තර සම්මාන හිමි කරගත්තා. හිමි අහිමි, මැනලද පුතේ, චංචලා, ආරතී ආදී වශයෙන් මගේ පොත් 23ක් ටෙලි නාට්‍ය බවට පත්වුණා. චාතුර්යා මගේ පොත් අතර වඩාත් ජනප්‍රිය, පාඨක අවධානය දිනා ගත් නවකතාවක්. එය කොටස් 05 ක් වශයෙන් ලියැවුණා. පතිනි, පුංචිනෝනා, අපර්ණා, කවුදෝ ඇවිදින්, ඉපනැලි, සෙනුරී, රංකෙන්ද, භූපති, තවත් කෙනෙක්, කිරිසයුර, අදිකාරම් වලව්ව,චපලී ,පහන් වැටක් ,මල්යහන, ප්‍රශංසා මා ලියූ තවත් නවකතා. මේවාට ලැබුණු දෙස් විදෙස් පාඨක ප්‍රතිචාර ඉතා ඉහළයි. මට තෑගි එවන, මා හමුවන්නට එන, මාව අගය කරන ලේඛකයන් පිරිසක් මා වටා සිටිනවා.

4. මා නොලියූ, මා කැමති වෙනත් පොත්

වත්මනේ ලියැවුණු පොත් අතර ගාමිණී කන්දෙපොල මාධ්‍යවේදියා රචනා කළ “වැහිබිත්තර නවකතාවට මම ප්‍රිය කරනවා. ලේඛකයකුට දැක්මක් තිබිය යුතුය. එය ‍ඔහුට තිබෙනවා. වකුගඩු රෝගයෙන් පෙලෙන පිරිසක් පිළිබඳ ව ඉතා සියුම්ව සිය නිර්මාණ ඔස්සේ ඉදිරිපත් කිරීම ඔහු සමාජ යුතුකමක් ඉටු කිරීමක් ලෙස මා දකිනවා.

“පිපාසෙට අපි වක්කඩෙන් එන ජලය බීලා මහ පොළව එක්ක ඔට්ටු වුණු

මිනිස්සු“. ගාමිණීගේ නවකතාව මාව තවත් සංවේදී කරනවා..

5. මගේ ඉදිරි සැලසුම්

පල්ලවී, බැක්ටු ස්කූල්,සතුටින් ඉන්න,හදපත්ලෙන් කියන මගේ අලුත්ම පොත් හතර මම ලියා අවසන්. තරුණි පත්‍රයේ කොටස් වශයෙන් පළවූ ‘නෙතු සඟල‘ නවකතාව පොතක් ලෙස නුදුරේදීම එළි දක්වනවා. ඒ වගේම සමාජීය ගැටලුවක් පිළිබඳව නවකතා පොතක් මේ දිනවල ලියමින් සිටිනවා. පාඨකයාට අවශ්‍ය දේ මගේ අතින් තවත් වසර ගණනාවක් ලියන්නටයි මගේ අරමුණ.1970 වසරේ පටන් මේ දක්වා මගේ නිර්මාණ සමඟ අත්වැල් සුවහසක් පාඨක ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා. වසර 52 ක් පුරා මේ ගමන එන්නට මට උපකාර කළ සැම දෙනාටම ස්තූතියි. ඉදිරියටත් පාඨක ඔබේ ප්‍රතිචාර මා අපේක්ෂා කරනවා.

 බුද්ධිකා ඉඹුලාන

 

Comments