මදු මලක් ලෙසම මෘදු ලෙස නික්ම ගිය මිල්ටන් | Page 2 | සිළුමිණ

මදු මලක් ලෙසම මෘදු ලෙස නික්ම ගිය මිල්ටන්

ඕනෑම කෙනකුට දෛවය තම ජීවන ගමන් මඟෙහි ප්‍රායෝගිකව අත්විඳීමට සිදු වෙයි. එලෙසින්ම යම් කෙනකුට වෙනස් කළ නොහැකි වීමත්, දෛවයට ආවේණික වූ ගති ස්වභාවකි. වරක සතුටක් ගෙන දෙන දෛවය වරක දුකක් ගෙන දෙයි. නොසිතූ නොපැතූ ලෙස කෙනකු මුණගස්වන දෛවය නොසිතූ නොපැතූ ලෙස වෙන් කිරීමට මූලිකත්වය වන්නේත් දෛවයයි. ආදරණීය බැඳීම් ඇතිකරන දෛවය යළිත් ඒ ආදරණීය බැඳීම් සිඳ බිඳ දමන්නේත් ආදරයෙන් වෙළී සිටි අයව ඈත් කරමිනි. දෛවය නිසා බිඳ වැටුණු ආදර සබඳතා වලින් නිරතුරුම හට ගන්නේ සිත්තැවුල්ම ය. ඉන් ඉක්බිතිව ගෙන එන වේදනා විරහ වේදනාවක් බවට පත් වුවහොත්, ප්‍රේමවන්තයන්ට නම් කිසිදු සැනසීමක් නැත. බිඳුණු ප්‍රේමය නිසා විරහ වේදනාවෙන් වෙළි සිටින පෙම්වතුන් පෙම්වතියන්ට තම සිත් වේදනා සමනය කර ගැනීමට ගීත ශ්‍රවණය කිරීම තරම් තවත් ඔසුවක් මිහි පිට තවත් නොමැති තරම් ය.

මීට වසර විසිහතරකට ඉහත දී වියෝ වූ මිල්ටන් මල්ලවාරච්චි වූ කලී එලෙස විරහ වේදනාවෙන් තැවූණු රිදුණු අව්‍යාජ වූ ප්‍රේමණීය හදවත් සුවපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියෙකි. විරහ වේදනාවෙන් තැවුණු පෙම්වතුන් පෙම්වතියන් වෙනුවෙන් වරෙක ගීතයෙන් පෙම් රජ දහනක් තනා දුන් ඔහු, එදා අද මෙන් මතුවටත් පෙම්වතුන් පෙම්වතියන්ගේ ආදරණීයම ගායකයා වුණු නොඅනුමාන ය. විරහ වේදනාවට අස්වැසිල්ලක් ගෙන දෙන ගීත බොහෝමයක් ගැයූ මිල්ටන් මල්ලවාරච්චි ගේ ළයාන්විත හඬට ඇතැම් විට ප්‍රේමය නිසා හටගත් වෛරය ද ව්‍යර්ථ වී යයි. තවත් විටක ප්‍රේමය නිසා බැට කෑ පෙම්වතුන් පෙම්වතියන්ට යළි යළිත් තම අර්ථවත් ජීවිතය යහමඟට ගැනීමට පිටිවහලක් වීමටද ඔහුගේ ඇතැම් ගීත ප්‍රයෝජනවත් වේ. “මාගේ පෙම් පහන් නිවා ගිය ඔබ, මං මුළා වී ඇති බව මම දනිමි. ඒත් මම ඔබ ගැන සිහිනෙකින්වත් අහිතක් නොසිතමි. අද ඔබගේ ජීවිතේ වාලුකා කතරක් වූවත්, දෛවයේ තාරුකා ලෙස දිලී යළි යළිත් හිනැහෙනු මැනවැයි” ලෙස “ගමනේ ගිම් නිවූ එදා ගීතය මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කරමින් විරහ වේදනාවෙන් සැලුණු පෙම්වතුන්ට සැනසුම් පවන් සැලුවා ය. එම අපූර්වත්වයෙන් යුතු ගීතය ඇතැර ගිය පෙම්වතිය නිසා විරහ වේදනාවෙන් තැවුණු පෙම්වතාගේ නිර්ව්‍යාජත්වය සනිටුහන් කළ මිල්ටන් මල්ලවාරච්චි ගීතයෙන් වෛරය නූපදින සිතුවිලි සිතු පමණක් ඉස්මතු කළේ ය.

එලෙසින්ම “පායා ආ සඳ අඳූරු වලාවෙන් මා ඉදිරියෙදිම වැසුනා” ගීතය ගායනා කරමින් මිල්ටන් මල්ලවාරච්චි පෙම්වතුන්ගේ තවත් මානව ගුණධර්මයක් එළියට ගත්තේ ය. ඒ කාරුණික බවයි. කාරුණික බව සමාව දීමෙන් කෙළෙවර කළ ඔහු අතැර ගිය සඳවතියකට අමතන හැටි කියා දුන්නේ “ඔබ පැමණී ඔබම ගියා නැවතුන තැන මම ඉන්නම්, මගේ සහයෝගය පතන වෙලාවේ කොයි සිට හෝ යළි එන්නම්” යැයි ලෙස ය. “නීල නුවන් ඇති දෑලවලින් ඔය තවත් ලොවක් ඔබ එළිය කිරීමට ඔබට හැකි නම්”, මම ඊට ඉඩ දී ඔබෙන් සමු ගමි යැයි “පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරුතලාවේ” ගීතයෙන් ප්‍රේමය නිසා පැරදුණු පෙම්වතකුගේ අපරාජිත පෞරුෂය හෙළි කිරීමට සමත් විය.

ප්‍රේමය නැවතී ලෝකය ඉදිරියේ තනිවන පෙම්වතුන් පෙම්වතියන් බොහෝ විට කරනුයේ එකිනෙකට දොස් නඟා ගැනීමයි. එසේ නොවී ප්‍රේමය නැවතීමේ වරද තමන් වෙත පවරා ගන්නා පෙම්වතුන් පෙම්වතියන් සිටින්නේ නම් ඒ ඉතාම අතළොස්සකි. බැලූ බැල්මට ඔවුන් ප්‍රේමය ඉදිරියේ පරාජිතයන් වූවත් එසේ නොවේ. ඔවුන් ප්‍රේමය ඉදිරියේ වීරයන් ය. ඒ සංකල්පයට තවත් අරුතක් එක්කළ ගීතයක් ද මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කළේ ය. ඒ “කෙසේ කියන්නද ඔබ මා අත හැර ඉවත ගියා කියලා. මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියාලා” ගීතයයි.

ගීත පබැඳුමෙහි ඇති “සෙනහස බිඳුණද මේ අවමානෙන් ගැලවිය යුතු හින්දා ... මවිසින් ඔබ අත් හලමියි පවසමි ලොවටම ඇසෙන නියා” ලෙස පැවසීමට තරම් පෙම්වතාගේ පරිත්‍යාගශීලී බව ප්‍රකට කරන ඒ ගීතය අසා යළි තම පෙම්වතුන් සොයා පැමිණි පෙම්වතියන් මේ සමාජයේ නොසිටියා යැයි උපකල්පනය කළ නොහැකිය. “සිනහව අතරින් කඳුළක් උපන්නත්, තම පෙම්වතිය හෝ පෙම්වතා වෙනුවෙන්, සිනහපෑමට සමතුන්ද සිටින තැනත් මනරම් ය. ඒ අදහස ගීතයෙන් ලොවට හෙළි කළ මිල්ටන් මල්ලවාරච්චිත් මනරම් ය. මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රේමණීය ගීත අදටත් නන් දෙසින් ඇසනෙ විට, විරහ වේදනාවෙන් තැවෙන බොහෝ පෙම්වතුන් සහ පෙම්වතියන් සෝ සුසුම් නිමා දමයි. ඇතැම් විට බිඳුණු ප්‍රේමය නිසා ඔවුන් උරුම කර ගනු ලැබූ අඳුරු අතීතය වළලා දැමීමට ද මිල්ටන් මල්ලවාරච්චිගේ ප්‍රේමණීය ගීත බොහෝ සේ ශක්තියක් ගෙන දෙනු ඇත.

දශක තුනකට අධික කාලයක් මිල්ටන් මල්ලවාරච්චි විසින් ගායනා කළ දහස් ගණනක ගීත බහුතරයක් ප්‍රේමය සහ විරහව නිමිති කරගෙන ලියැවුණු ගීත ය. ප්‍රේමය සහ විරහව වෙනුවෙන් ඔහු ගායනා කළ බොහෝ ගීත නිර්මාණ පිටුපස ඔහුට සෙවණැල්ලක්ව සිටි ප්‍රවීණ ගීත නිබන්ධකයන්ද සිටියි. ඒ අතුරින් කරුණාරත්න අබේසේකරයන්, ප්‍රේමකීර්ති අලවිස් මහතා, චිත්‍රානන්ද අබේසේකරයන්, කේ. ඩී. කේ. ධර්මවර්ධනයන්, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහයන්, ක්ලැරන්ස් විජේවර්ධනයන් වැනි ප්‍රවීණ ගීත රචකයන් ප්‍රමුඛ වේ. එලෙසින්ම දේශීය ගීත ක්ෂේත්‍රය තුළ ඔහුගේ නාමය පරම්පරා ගණනාවක සංගීත රසකාමීන්ගේ හදවත් තුළින් ඈත් නොවීමට හේතු වූයේත්, ප්‍රේමය සහ විරහව විෂයය කරගෙන ගීත ගායනා කිරීම හේතුවෙනි. මේ මැයි ගහ යට, සිහිනෙන් ඔබ මට, එදා රෑ ගුවන් තොටුපොළේ දී මා, තනි වී සිටින්නයි මා අදහස් කළේ පැරදීලා පලා ගියේ නෑ මෙන්ම මදු මල ලෙස මෘදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ආදී ගීත ඊට නිදර්ශන කිහිපයකි. කිසියම් නිර්මාණයක් රසික රසිකාවියන් ගේ හදවත් තුළ දීර්ඝ කාලයක් රඳවා තබමින් ඔවුන්ව නිරතුරුවම වින්දනයට පත්කරලීමට සමතෙක් නම්, ඔහු හෝ ඇය නිරායාසයෙන්ම කලාකරුවකු කලාකාරිනියක වනු ඇත. මිල්ටන් මල්ලවාරච්චි ද එවැනි දුර්ලභ ගණයේ කලාකරුවකු ලෙස හැඳින්වීමට පුළුවනි.

 අනුෂාද් වෙදගේ

Comments