මට ඕනේ ලාංකේය සිනමාවට හොඳ දායකත්වයක් ලබා දෙන්න | සිළුමිණ

මට ඕනේ ලාංකේය සිනමාවට හොඳ දායකත්වයක් ලබා දෙන්න

ආශාවරී චිත්‍රපටයේ ප්‍රධාන නිළි ඉෂංකා ජහන්වී කොස්තා

කන්ද උඩරට පැළවෙච්ච අපුරු ආදරයක් ගැන මේ දිනවල රිදී තිරයේ දැකගන්නට ලැබෙනවා. ඒ තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කරන ලද කුලුඳුල් සිනමාපටය වන ආශාවරී තුළින්. ආශාවරී හි ප්‍රධාන චරිත වන්නේ රනේෂ් සහ ආශාවරී. ඒ සඳහා පණ පොවන්නේ හේමාල් රණසිංහ සමඟින් සිනමාවට හඳුන්වා දෙන ඉෂංකා ජහන්වී. සිළුමිණ රසඳුන මේ කතාබහ ඉෂංකා ජහන්වී එහෙමත් නැත්නම් මේ දිනවල කාගෙත් ආදරය ආකර්ෂණය දිනාගත් ආශාවරී සමඟයි.

නම - ඉෂංකා ජහන්වී කොස්තා

පදිංචිය - පිළියන්දල.

පාසල - තාත්තාගේ රැකියාවේ ස්වභාවය නිසා පාසල් තුනක පමණ ඉගෙන ගත්තා. අනිතිමට ගියේ ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයට.

පවුලේ විස්තර - අම්මා තාත්තා සහ මල්ලි. මගේ තාත්තා පොලිසියේ සේවය කරන්නේ. අම්මා කලින් නම් ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව හිටියා දැන් නම් ගෘහණියක්.

පාසලේ දී මොනවගේ චරිතයක් ද?

ඉගෙනුමට වඩා බාහිර ක්‍රියාකාරකම් වලට තමා වැඩියෙන්ම නැඹුරු වෙලා හිටියේ. දඟකාර චරිතයක් කිව්වොත් තමා වඩාත් නිවැරදි.

ගෙදරදී කොහොමද?

ගෙදර කියලත් වෙනසක් නැහැ. හරිම දඟ ළමයෙක් තමයි. මායි මල්ලිගෙයි වැඩේම මොකක් හරි එකකට රණ්ඩු වෙන එක. අම්මා ඇවිත් ඉතින් රණ්ඩු බේරනවා.

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ මගේ තාත්තා. ඒත් තාත්තාගේ රැකියාවේ ස්වභාවය නිසා කලාවට සම්බන්ධ වෙන්න ලැබුණු අවස්ථාවන් මගහැරිලා. ඊට පස්සේ ඉතින් පුංචි කාලේ ඉඳන්ම මමයි මල්ලියි වෙ‍ෙළඳ දැන්වීමවලට සම්බන්ධ වුණා. පාසල් යන කාලේ ඉඳන්ම වෙ‍ෙළඳ දැන්වීමවල‍ට පෙනී ඉඳලා තියෙන නිසා මේ වෙද්දී වෙ‍ෙළඳ දැන්වීම් 30ක් විතර කරලා තියෙනවා.

ආශාවරී වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

මම ශිවන්ත ප්‍රනාන්දු අයියා ගායනා කළ "පුංචි කතාවක්" ගීතයේ රූප රචනාවට සම්බන්ධ වුණා. එය අධ්‍යක්ෂණය කළේ මිහිර බණ්ඩාර. ඒ රූප රචනාව දැකලා තමයි මට කතා කළේ. එතකොට මම උසස් පෙළ ලියන්න ලෑස්ති වෙලා හිටියේ. ඒ නිසා ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. මම ගියේත් පන්ති යන විදියට ටීෂර්ට් එකයි ඩෙනිම් එකයි ඇඳලා සපත්තු දාලා. හැබැයි මම ඒ ඇඳන් ගිය විදිය ඒ චරිතයට හරියටම ගැළපුණා. මොකද ආශාවරී කියන්නේ දඟකාර ආදරණිය චරිතයක්.

එදා තිර පරීක්ෂණයට හිටියේ කවුද?

මම තිර පරීක්ෂණය කළේ ප්‍රවීණ සිනමා කැමරාවේදී රුවන් කොස්තා සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා. ඒ අයව දැක්කෙත් ජීවිතේ පළමු වතාවට. තිර පරීක්ෂණයෙන් පස්සේ තේජා සර් මාවත් තාත්තවත් කැඳවලා කිව්වා දුවව ආශාවරී චරිතයට තෝරා ගත්තා කියලා.

මොකද හිතුණේ ඒ මොහොතේ

දැනුණු සතුට හිතේ තියාගෙන ගෙදර ඇවිත්, අම්මව බදාගෙන කෑගහල අඬල කිව්වා මාව චිත්‍රපටයට තේරුණා කියලා. මට වගේම අම්මටත් එදා ගොඩක් සතුටු දවසක්.

ආශාවරී හි අත්දැකීම කොහොමද?

මම ආශාවරී චරිතය කරද්දී වයස අවුරුදු 19යි. උසස් පෙළ විභාගය ලිව්වා විතරයි. උසස් පෙළ විභාගයට පසුදිනම මම ගියේ ආශාවරී චිත්‍රපටයේ රූප ගත කිරීම්වලට දියතලාවට. ඒකාලයේ තිබ්බ දැනුම සහ අත්දැකීම්වලට අනුව උපරිම සාධාරණයක් ඉටු කළා කියලා මම අද හිතනවා.

අභියෝගයක් වුණේ නැද්ද පළමු නිර්මාණය

ආශාවරී කියන්නේ ලංකාවේ ප්‍රවීණ දැවැන්ත චරිත එක්ක නිර්මාණය වූවක්. ඒ නිසාම මට දැනුණේ මා ඉදිරියේ විශාල අභියෝගයක් තියෙන බව. ප්‍රවීණ නළු නිළියන් ඉදිරියේ මම සාර්ථක වෙන්නේ කොහොමද සහ ඒ අය මට කොහොම ප්‍රතිචාර දක්වයි ද කොහොම මාව පිළිගනී ද කියලා මගේ හිතේ චකිතයක් තිබ්බා. නමුත් තේජා සර් මට ආශාවරී චරිතයට අවශ්‍ය දැනුම පෙර පුහුණුව සහ මානසික ශක්තිය නිරන්තරයෙන් ලබා දුන්නා. ඒ නිසා මට පුළුවන් වුණා තේජා සර් බලාපොරොත්තු වූ ආශාවරී ප්‍රතිනිර්මාණය කරන්න.

කොහොමද හේමාල්ගෙන් ලැබුණු සහයෝගය

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සහ හේමාල් රණසිංහ කියන්නේ මම පාසල් යන කාලේ ඉඳන්ම කැමතිම දෙදෙනෙක්. හේමාල් අයියා කියන්නේ හරිම නිහතමානී ආදරණීය චරිතයක්. මම ආශාවරී රූගත කරන්න ගියේ පාසල් නිමා වුණු ගමන් නිසා මම හිතන්නේ අයියට ටිකක් අමාරු වුණා මාත් එක්ක ගනුදෙනු කරන්න. මොකද මම ගස් ගල් කෑම ජාති අල්ලලා අයියගේ ටීෂර්ට් අල්ලනවා. අයියගේ සන්ග්ලාස් එකකුත් කැඩුණා. ඒ වගේම චරිතයට අවධානය දෙන්නේ නැතුව බැණුම් අහලත් තියෙනවා. ඒ වගේ සුන්දර මතක තියෙනවා. ඒ වගේම මට ආශාවරී චරිතය කරන්න ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අදටත් මම හේමාල් අයියාගේ ලොකු රසිකාවියක්.

එතකොට ජයලත් මනෝරත්න

ආචාර්ය ජයලත් මනෝරත්නයන් මම දකින්නේ රංග පාසලක් විදියට. මම පාසල් යන අවදියේ නාට්‍යය හා රංග කලාව හදාරලා තියෙනවා. ඒ කාලයේ පවා එතුමාගේ නාට්‍යය බලලා ඒවා ගැන හදාරලා තියෙනවා. මම මනෝරත්න සර් සමඟ රඟපාන්න හීන මවපු කෙනෙක්. ඉතින් මගේ පළමු සිනමා නිර්මාණයේ මගේ අප්පා විදියට එතුමා රඟපෑම මට ලැබුණු භාග්‍යයක්. මනෝරත්නයන් හරිම සුන්දර නිහතමානී ආදරණීය චරිතයක්. ඔහු හැම මොහොතකම විනෝදයෙන් සිටි කෙනෙක්. ඒ වගේම හැම මොහොතකම එතුමාගෙන් රංගනය ගැන ඉගෙන ගන්න දේවල් තිබ්බා. මනෝරත්න සර් කියන්නේ අපේ ලාංකේය සිනමාව කලාව තුළ සදා අමරණීය චරිතයක්.

ආශාවරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තවම තිරගත වෙන්න පටන් අරන් දින කිහිපයයි. ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මේ මගේ පළමු සිනමා අත්දැකීම නිසා මම සුදානම් ලැබෙන ඕනෙම ප්‍රතිචාරයක් නිහතමානිව බාර ගන්න.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවද?

තවත් අලුත් නිර්මාණ දෙකකට මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම මම මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන යන නිසා. ලැබෙන නිර්මාණ එක්ක අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යනවා.

අනුෂා රණසිංහ

Comments