වර්තමාන සමාජයේ පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන් අතර බහුල රෝගයක් තයිරොයිඩ් ය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා තත්ත්ව ද වැඩි අවධානයක් යොමු වන පිළිකා විශේෂයකි. ඒ පිළිබඳ අද ඔබව දැනුවත් කරන්නේ පිළිකා විශේෂඥ වෛද්‍ය ෂාම ගුණාතිලක වෛද්‍යතුමා විසිනි. ඔහු ආසිරි AOI පිළිකා මධ්‍යස්ථානයේ සේවය කරයි.
‘අන්තරාසර්ග පද්ධතියේ හෝමෝන නිපදවන වැදගත් ග්රන්ථයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථය වැදගත්. බෙල්ලෙ ඉදිරිපස උගුරු ඇටයට පහළින් ස්වරාලයට ඉදිරිපස බෙල්ලේ පහළ කොටසෙහි ඒ ග්‍රන්ථය පිහිටා ඇත. එහි ප්‍රධාන කෘත්‍ය තයිරොයිඩ් හෝමෝන නිපදවීමයි. එනම් මිනිසාට තම ජීවිත පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක් වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථයයි.
තයිරොයිඩ් ග්‍රන්ථය ආශ්රිත පිළිකා ගැන විමසීමේදී මුල සිට හැඳින ප්‍රතිකාර කිරීමෙන් වඩා සුබදායක ප්‍රතිඵල ලැබේ. පැපිලරි තයිරොයිඩ් කාසිලෝමා සුලබව දැකගත හැකි පිළිකා විශේෂයක්. ඇනප්ලාස්ටික් කාසිලෝමා තයිරොයිඩ් විශේෂය තයිරොයිඩ් පිළිකා අතුරින් දරුණුම සුව කළ නොහැකි පිළිකා විශේෂයකි. තයිරොයිඩ් රෝගියකුට පිළිකා ඇතිවීමේ අවදානම පවතින්නේ 5%ක පමණ රෝගීන් ප්‍රමාණයකට. ඒ නිසා තයිරොයිඩ් රෝගීන් අනිසි බියක් ඇතිකර ගතයුතු නැත. එහෙත් මුල සිට තයිරොයිඩ් රෝගය සඳහා ප්‍රතිකාර කළ යුතුය. රෝගයේ දරුණු තත්ත්ව පිළිබඳව අවබෝධයක් තිබීමත් වැදගත්.
තයිරොයිඩ් පිළිකා සෑදීමට බලපාන ප්‍රධාන හේතුවක් සඳහන් කිරීමට අපහසුය. එනම් තයිරොයිඩ් පිළිකා සෑදීමට වැඩි අවධානම් ඇති ප්‍රධාන සාධක කිහිපයක් සාකච්ඡා කළෙමු. වයස, ලිංගිකත්වය පිරිමි පාර්ශ්වයට සාපේක්ෂව කාන්තාවන්ට තයිරොයිඩ් පිළිකා අවධානම ඉහළයි. ඒ අතුරිනුත් තරුණ කාන්තාවන්ට, 40ට අඩු සුලබව දක්නට ලැබේ. ස්ථුලතාව, තයිරොයිඩ් ග්‍රන්ථයේ තිබෙන වෙනත් රෝග (ගලගණ්ඩය), ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන වෙනස්කම්, පිළිකා නොවන ගෙඩි වර්ග ( ඇඩිනීමාස් ), පළමු පෙළ ළඟම ඥාතීන්ට තිබිලා තියෙනවා නම්, පවුල් ඉතිහාසයේ පිළිකා සෑදී ඇති අය ඉන්නවා නම්, පරම්පරාගතව සම්ප්‍රේෂණය වන ජාන විකෘතිතා ජාන (මව පියාගෙන් විකෘති වී එන ජාන), කුඩා කල බේබි රූම්වල දමා නිතර විකිරණ පරීක්ෂණ සිදුකළ අයට, ඇතැම් පිළිකාවලට ප්‍රතිකාර කරන විට, හෝර්මෝන අධික ප්‍රමාණයෙන් නිපදවන රෝග, වෙනත් පිළිකා ඇති අය (පියවුරු පිළිකා) ඒ සාධක වේ. එහෙත් මේ සාධක තිබූ පමණින් තයිරොයිඩ් පිළිකාවක් ඇති නොවන බව ද වෛද්‍යතුමන් විශේෂයෙන් සඳහන් කළහ. ඉහත කී රෝගී ලක්ෂණ ඇත්නම් මුල් කාලයෙදීම ඒ රෝගවලට ප්‍රතිකාර කොට රෝග තත්ත්ව මඟ හරවා ගැනීමෙන් පිළිකා අවධානම තරමක් දුරට අඩු වේ. තයිරොයිඩ් පිළිකාවක් ඇති බව අඟවන ලක්ෂණ කිහිපයක් ද හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් බෙල්ලෙහි ඉදිරිපස කුඩා ගෙඩියක් මතු වෙයි. කෙළ ගිලින විට එම ගෙඩිය ඉහළට පහළට යෑම පෙනෙයි. කටහඬ ගොරෝසු වීම හා උගුරේ වේදනා ආදී ලක්ෂණ මතු වෙයි.
මෙම පිළිකා විශේෂයට ප්‍රතිකාර කිරීමේදී ප්‍රථමයෙන් රෝගියාගේ දෛනික ජීවිතයට බාධා කරන රෝගී ලක්ෂණ හඳුනාගෙන එය සමනය කරයි. එහිදී බෙල්ලෙ ගෙඩියට ප්‍රතිකාර ලෙස අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය සිදු කරයි.එමඟින් තයිරොයිඩ් ග්‍රන්ථයේ සැක සහිත මොඩියුල් ඇති බව තහවුරු වුවහොත් පරීක්ෂණ අතරම තවත් පරීක්ෂණවලට භාජනය කරයි.
පරීක්ෂණ අතරතුර ඒ ගෙඩිය ඇතුළතට පුංචි කොපුවක් යොදා ගෙඩිය පළුදු කර සෛල ටිකක් සිරින්ජයකට ගනී. ලබාගත් සෛල පරික්ෂා කර පිළිකාවක් ද යන්න තහවුරු කරයි. හඳුනා ගැනීමේ පරීක්ෂණයෙන් පසුව වෙනත් පැතිවලට පිළිකාව පැතිරී ඇත්දැයි බැලීමට තවත් පරික්ෂාවක් කරයි. තයිරොයිඩ් ග්‍රන්ථය අවට අවයවවල පැතිරී ඇත්නම් එ් අවට සුදුසු පරිදි අවයව ඉවත් කිරීම් ආදිය මූලික ප්‍රතිකාර වේ. එසේ ඉවත් කිරීමෙන් අනතුරුව පටක වාර්තාවක් ගනී. පිළිකාවේ උස, දිග, පළල,ප්‍රමාණය එහි සඳහන්. ඒ වාර්තාව ඔස්සේ පිළිකාව කුමන අවස්ථාවේ පවතිනවාද යන්න සොයා බලයි. ඉන් අනතුරුව නැවත ඇතිවීමේ අවධානම පරික්ෂා කරයි. එහිදී තයිරොයිඩ් පිළිකාව 1cmට වැඩි රෝගීන්ට නැවත ඇතිවීමේ අවධානමක් ඇත. ඔවුනට තවදුරටත් ප්‍රතිකාර කරයි. ඔවුන්ව අයඩින් ප්‍රතිකාර වෙත යොමු කරයි. එවැනි රෝගීන් විකිරණවලින් ආරක්ෂා කරලීම ආදී විශේෂ ප්‍රතිකාර ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතුය. නිතර වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස රෝහලේ ප්‍රතිකාර අවසන් කළ පිළිකා ව 1cmට වැඩි රෝගියකු ද, නිවසට ගිය විට සති 4ක පමණ කාලයක් අනෙත් පුද්ගලයන්ගෙන් වෙන්ව තනිවම කාමරයක සිටිය යුතුය. ඇතැම් විට විශාල අයඩින් ප්‍රමාණයක් දුන් රෝගීන් රෝහලේ සිටම එම ක්‍රියා අනුගමනය කිරීමට සිදු වේ.
අවධානම වැඩි රෝගීන් තමන් කන බොන කෑමබීම හා ඖෂධ වෛද්‍ය උපදෙස් පරිදි වෙනස් කළ යුතුය. ඒ දරුණු රෝගින්ට අධි මාත්‍රා විකිරණශීලී අයඩින් ලබා දේ. කලාතුරකින් රෝගියකුට අයඩින් නතර කර සිටීම අපහසුය. එවැනි රෝගීන්ට Recombinant TSH එන්නත ලබා දේ. මෙම අයඩින් ප්‍රතිකාර ක්‍රියාවලියෙන් අනතුරුව මාස 2කින් පසු මුළු ඇගේම ගැමා කැමරා සවිකර රුධිර පරීක්ෂයක් කරයි. එහිදී තයිරොක්සින් ප්‍රමාණය අවශ්‍ය මට්ටමට තිබෙනවා ද තහවුරු කරයි. මොළයේ තයිරොක්සින් උද්දීපන ප්‍රමාණය සාමාන්‍ය අගය අඩු විය යුතුය.විශේෂයෙන්ම පිළිකා නොවන ගෙඩි ඇති තයිරොයිඩ් ග්රන්ථ ආශ්රිත රෝගීන් වසරකට වරක් හෝ ඒ ගෙඩි පරීක්ෂා කර බැලීම වැදගත්.නැතිනම් ඔබ නොදැනුවත්වම ඔබ පිළිකා අවධානමට ගොදුරු විය හැකිය. මෙම කරුණු හැරුණු විට තයිරොයිඩ් පිළිකා අවධානම අඩුකර ගැනීමට ස්ථුලතාව පාලනය, අනවශ්‍ය ලෙස විකිරණ පරීක්ෂණවලට භාජනය නොවීම ආදී අපගේ දෛනික ජීවිතයේ ක්‍රියා පිළිවෙත් හසුරවා ගැනීම.තයිරොයිඩ් පිළිකා ඇතිවීමට බලපාන අනෙකුත් සාධක අපට වෙනස් කළ නොහැකිය. තයිරොයිඩ් රෝගීන් නිතරම තම වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කළ යුතුය.
උපදෙස් - පිළිකා විශේෂඥ වෛද්‍ය
ෂාම ගුණතිලක
සඳුනි අරුමප්පෙරුමාච්චි