කෙටි චිත්‍රපටයකට ස්ක්‍රීන් එකක් කරන්න ලැබෙනවා කියන්නේ විරල අවස්ථාවක් | Page 3 | සිළුමිණ

කෙටි චිත්‍රපටයකට ස්ක්‍රීන් එකක් කරන්න ලැබෙනවා කියන්නේ විරල අවස්ථාවක්

CinemaWorld හි පළමුවරට ප්‍රිමියර් වන මහේල හෙට්ටිආරච්චි

ලාංකේය සිනමා කර්මාන්තයට දවසින් දවස තරුණ නිර්මාණකරුවන් එකතු වෙනවා. ඒ නිර්මාණකරුවන් තුළින් විවිධ වූ ප්‍ර භේදයන්ට අයත් නිර්මාණ බිහිවෙනවා. අද දවසෙත් අපි ඔබට සමීප කරන්නේ එවන් වූ තරුණ නිර්මාණකරුවෙක්.

ඔබට මතක ඇති ස්නේහ කෙටි චිත්‍රපටය. එය අධ්‍යක්ෂණය කළේ මහේල හෙට්ටිආරච්චි නම් තරුණ අධ්‍යක්ෂවරයා. මහේලගේ පළමු කෙටි නිර්මාණය වන ස්නේහ CinemaWorld විකාශය වූ පළමු කෙටි චිත්‍රපටය වූ අතර ලාංකේය නිර්මාණයක් CinemaWorld හි පළමු වරට ප්‍රිමියර් වන අවස්ථාව හිමිව තිබෙන්නේ මහේලට. ඒ ඔහුගේ දෙවන කෙටි නිර්මාණය Three way Junction එහෙමත් නැත්නම් තුංමං හන්දිය නිර්මාණයට. ඒ ගැනයි මේ කතා බහ.

මොකක් ද මේ අලුත්ම ආරංචිය

මගේ දෙවන නිර්මාණය Three way Junction එහෙමත් නැත්නම් තුංමං හන්දිය CinemaWorld හි ප්‍රිමියර් කරන්න තෝරා ගෙන තියෙනවා. කලින් සැරේ අපි කළේ ලංකාවේ යූ-ටියුබ් නාළිකාවකට දාලා එයාලා බලලා තමයි තෝරා ගත්තේ. එතකොට අපි රිලීස් කරලා මාස ගණනකට පස්සේ තමයි CinemaWorld නාළිකාවේ විකාශය වුණේ. ස්නේහ තුළින් අපි අතරේ සම්බන්ධතාවක් හැඳුණා ඒ නිර්මාණයට යන්න පුළුවන් වුණු දුර නිසා සහ ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාර නිසා. ඒ නිසා මේ සැරේ අපේ කෙටි චිත්‍රපටයට ප්‍රිමියර් කරනවා එයාලගේ නාළිකාවෙන්.

කවදද දැන් CinemaWorld හි

ප්‍රිමියර් වෙන්නේ

අප්‍රේල් දහ වැනිදා ශ්‍රී ලංකා වෙලාවෙන් සවස 06.10 ට CinemaWorld හි ප්‍රිමියර් වෙන්නේ. ඔවුන් එය එදිනට විකාශය කරන්නේ ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්දට සමගාමීව.

ලංකාවේ නිර්මාණයකට හිමිවන පළමු අවස්ථාව ද?

ඔව්. මීට පෙර ප්‍රිමියර් කරපු අවස්ථා නැහැ. CinemaWorld චැනල් එකේ ගිය පළවෙනිම ෆිල්ම් එක තමා අපි කරපු ස්නේහ චිත්‍රපටය. ඊට පස්සේ CinemaWorld නාළිකාවෙන් ලංකාවේ චිත්‍රපට පෙන්වන ෂෝකෙස් එක්ක තිබුණා. ඊට ඇතුළත් වුණා කෙටි චිත්‍රපට තුනක් සහ සංජිව පුෂ්පකුමාර අයියගේ දැවෙන විහඟුන් වෘතාන්ත චිත්‍රපටය. මේ සැරේ තමා පළවෙනි වතාවට ලංකාවේ චිත්‍රපටයක් ප්‍රිමියර් කරන්නේ CinemaWorld නාළිකාවෙන්.

අපි කතා කරමු Three way Junction එහෙමත් නැත්නම් තුංමං හන්දිය නිර්මාණය ගැන

මගේ දෙවන නිර්මාණය. පළවෙනි වැඩේ ඉවර වුණාට පස්සේ හිතුවේ නැති ප්‍රතිචාරයක් ආවා. එතකොට මම හිතපු දේ තමයි අපි වටා යම් පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ අය වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනේ කියන එක. ඒ එක්කම මටත් ආසාවක් තිබ්බා ඉක්මනටම දෙයක් පටන් ගන්න ඕනේ කියලා. නමුත් මම වැඩක් කරන්න යද්දී වෙලාව ගන්නවා. මෙහි පිටපත පවා මාස ගාණක් තිස්සේ ලිව්වා. ඊට පස්සේ කාස්ටින් කරා. අශාන් අයියා සහ රෙබෙකා අක්කා ව ගන්න තීරණය කළා. ඊට පස්සේ කොවිඩ් ආවා. ඒ ඔක්කොමත් එක්ක තමා මේ නිර්මාණය කළේ. චිත්‍රපටය ගැන කියනව නම්, මේක තරමක් ප්‍රහේලිකාවක් වගේ. පෙර නිර්මාණය වන "ස්නේහ" වගේ සුමුදුව ගලා යන කතාවක් නෙමෙයි. මේ නිර්මාණය රළුයි. එහි පසුබිම රළුයි. ප්‍රේක්ෂකයන් එය දෙස වඩා සුපරික්ෂාකාරීව බලාවි යැයි මම විශ්වාස කරනවා.

අන්තර්ගතය ගැන ඉඟියක් දෙන්න පුළුවන් ද?

චිත්‍රපටය ගැන කියනව නම්, මේක තරමක් ප්‍රහේලිකාවක් වගේ. පෙර නිර්මාණය වන "ස්නේහ" වගේ සුමුදුව ගලා යන කතාවක් නෙමෙයි. මේ නිර්මාණය රළුයි. එහි පසුබිම රළුයි. ප්‍රේක්ෂකයන් එය දෙස වඩා සුපරික්ෂාකාරීව බලාවි යැයි මම විශ්වාස කරනවා.

අශාන් ඩයස් සහ රෙබෙකා දිල්රුක්ෂි තමා ඔබ යොදාගන්නේ

මම චිත්‍රපට ගොඩක් බලලා තියෙනවා. චිත්‍රපට කරලා නැහැ. කලින් මගේ පළමු නිර්මාණයට හිටියේ මගේ යාළුවො. ඒ අය ඉතා දක්ෂ විදියට නිර්මාණයට සාධාරණය කළා. නමුත් දෙවැනි වැඩේට එද්දී වෘත්තිමය නළු නිළියන් යොදා ගන්න හිතුවා. මොකද මෙහි යන්න තියෙන රංග පරාසය වැඩියි. අශාන් අයියා එක්ක එකම එක දවසක් අපේ ලංකාව තුළ සිද්ධ වෙන වැඩ ගැන කතා කරලා තිබ්බා. ඒ නිසා ඒ මතකයෙන් කතා කරලා මම ඇහුවා මේ නිර්මාණය ගැන.

රෙබෙකා අක්කා හමුවුණේ අපි කාස්ටින් කෝල් එකක් කළා. මේ චරිතයට ටිකක් පරිණත තරුණියක් ඕනේ වුණා. ඒ නිසා රෙබෙකා අක්කව යොදා ගත්තා.

කොහොමද ඒ අය එක්ක වැඩ කළ අත්දැකීම

මේ දෙන්නටම මට වඩා අත්දැකීම් තියෙනවා. නමුත් මට ඕනේ විදියට හරිම නම්‍යශීලි විදියට හරිම සුහදව අදහස් හුවමාරු කර ගෙන නිර්මාණය කළා. මම හරිම කැමතියි ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබීම ගැන. ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබීම මට ආඩම්බරයක්.

පෝස්ටර් කැම්පේන් එක අපි දකිනවා භාෂා කිහිපයකින්ම

ඔව්. අපි මුල ඉඳලම උත්සහ කළා මේක ප්‍රමෝට් කරන්න භාෂා හතරකින්. සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ මලයාලම් බසින්. අපේ අරමුණ තියෙන්නේ චිත්‍රපටයේ සියලුම ප්‍රමෝෂන් මේ භාෂා හතරෙන්ම කරන්න. මොකද මේ භාෂා සියල්ලෙන්ම සබ්ටයිටල් යොදා ගෙන තියෙනවා. අපේ සිනමාවට මේ භාෂාවන් සියල්ලගේම අය එකතු කර ගන්න එක තමයි අපේ බලාපොරොත්තුව. එය සාර්ථක වෙලා තියෙනවා කියලා දැනෙනවා. අපි මලයාලම් බසින් පෝස්ටර් එකක් සහ පූර්ව ප්‍රචාරක පටයක් නිකුත් කරාම මලයාලම් අයගෙන් අපිට ප්‍රතිචාර ලැබෙනවා. එයාලට සම්බන්ධ වෙන්න බැරිද අහනවා. ඒ නිසා අපි හිතුව විදියට අදාළ තැන්වලට ස්ථානගත වෙලා තියෙනවා.

CinemaWorld හි පළමු වරට ප්‍රිමියර් කරනවට අමතරව අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා CinemaWorld ආයතනයෙන්ම අනුග්‍රහය දක්වනවා ලංකාවේ ස්ක්‍රීන් එකක් කරන්න. එතකොට මාර්තු මාසයේ කොළඹ අගනුවර සිනමා ශාලාවක අපි එය කරන්න සැලසුමක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙටි චිත්‍රපටයක් කරලා ඒකට ස්ක්‍රීන් එකක් කරන්න ලැබෙනවා කියන්නේ විරල අවස්ථාවක්.

කලා නිර්මාණයක් කියන්නෙම සාමුහික කලාවක් නිසා මතක් කළ යුතු අය ඇති

අනිවාර්යෙන්ම. මම මතක් කළ යුතුයි මගේ නිෂ්පාදකවරු හතර දෙනා. මගේ අම්මා සහ තාත්තත් ඒ අතරේ ඉන්නවා. ඒ වගේම ජනිදු රාජකරුණා සහෝදරයා සහ විමුක්ති නානායක්කාර මගේ මිතුරා. ඒ වගේම අපේ කණ්ඩායම මේ වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා. සාමාන්‍යයෙන් කෙටි චිත්‍රපටයක් රූපගත කෙරෙන්නේ එක දවසක් වගේ. එහෙම නැත්නම් එක දර්ශන තලයක. මේ වැඩේ ඊට වඩා සංකීර්ණ වුණා. විවිධ පළාත් වල, දින කිහිපයක් අපි රූපගත කිරීම් කළා. ඒ හැම රූපගත කිරීමකටම මේ කණ්ඩායම සහභාගී වුණා. මහන්සි වුණා. ඔවුන්ගේ කාලය, ශ්‍රමය වැය කළා.

කැමරාව මෙහෙයවපු මගේ මිතුරා තිසර ඔහුගේ උපරිමය මේ වෙනුවෙන් ලබා දුන්නා. චිත්‍රපටය නරඹද්දී ඔහුගේ හැකියාව නරඹන්නන්ට දකින්න ලැබේවි. ඇඳුම් නිර්මාණය කිරීම්, සහය අධ්‍යක්ෂණය, Make-up, රංගනය, එතනින් එහාට ඇවිල්ලා පසු නිෂ්පාදන කටයුතු වල දී පසුබිම් සංගීතය නිර්මාණය කිරීම, ගීත ගායනයන්, වර්ණ ගැන්වීම්, පෝස්ටර් නිර්මාණය, උපසිරැසි නිර්මාණය සහ තවත් නන් අයුරින්, බොහෝ කටයුතු වලට දායකවූවන් අවංකවම ඔවුන්ගේ දායකත්වය මේ කටයුත්තට ලබා දුන්නා. ඒ වගේම මතක් කළ යුතුයි අපට උදව් කළ අය.

සහය දැක්වූ අය. අප වෙනුවෙන් වෙලාව වෙන් කළ අය. ඒ සියලු දෙනාටම මේ නිර්මාණයේ ගෞරවය යා යුතුමයි.

 අනුෂා රණසිංහ

 

Comments