කඳුළු පූජාසනයේ තබා අකාලයේ නික්ම ගිය චන්න ජයනාත් | Page 2 | සිළුමිණ

කඳුළු පූජාසනයේ තබා අකාලයේ නික්ම ගිය චන්න ජයනාත්

මාධ්‍ය පස්සේ නොගිය, කිසි විටෙක ජනප්‍රියත්වය පසු පස හඹා නොගිය ඔහු තමන්ට කළ හැකි දේ උපරිමයෙන් කර බොහෝ නිහඬව පසෙකට ව සිටියේය. ඒ ඔහුගේ හැටිය. කැසට්පට යුගයේ ගී ලිවීම ආරම්භ කළ ඔහු ඩිජිටල් තාක්ෂණය සමඟ කටයුුතු කිරීම දක්වා දිගු දුරක් පැමිණියේය. තවත් කළ යුතු බොහෝ වැඩ තිබියදී ඔහුට දිවි ගමනින් සමුගන්නට සිදු වුයේ අකාලයේය. ඒ කොවිඩ් මාරයාට බිලිවීමෙනි. මේ සටහන ජනප්‍රිය ගී පද රචක චන්න ජයනාත් වෙනුවෙනි.

ගෙවුණ කාල සීමාවම හිතට ගෙන ආවේ කනගාටුවකි. ඒ මාධ්‍ය ක්ෙෂ්ත්‍රයේ සිටි ප්‍රවීණයන් කිහිප දෙනෙකුගේම මරණයන් සිදුවීමය. මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා දැන ගන්නට ලැබුණේ තවත් සඟයකුගේ හදිසි මරණයකි. ඒ ගී පද රචකයකු වූ චන්න ජයනාත්ගේ අකල් වියෝවයි.

අපට චන්න මුලින්ම හමු වන්නේ 1999 වසරේ දිනෙකය. ඒ ඔහුගේ වැඩිමල් සොයුරා වූ ලලිත් වසන්ත හමුවන්නට ගිය දිනෙක නිලම්මහර පිහිටි ඔවුන්ගේ මහගෙදර දී ය.

නිල්වලා නිවෙසින් එකල බිහි වූ ගායක ගායිකාවෝ බොහෝය. අද ජනප්‍රිය තලයේ සිටින බොහෝ ගායක ගායිකාවන්ගේ මුල්ම කැසට් පටය එළිදුටුවේ නිල්වලා ආයතනයෙනි. නිල්වලා කැසට්පට ආයතනයේ හිමිකරු වන්නේ උපුල් ජයසිංහයන්ය. ඒ කැසට්පටවලට හොඳ ඉල්ලුමක් තිබූ කාලයකි. බොහෝ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ මෙන්ම ආධුනික ශිල්පීන්ගේ ද කැසට් පට නිකුත් වූ ඒ කාලයේ ලලිත් වසන්ත මෙන්ම චන්න ජයනාත් ද ඒ කැසට් පටවලට විවිධ ගීත ලීවේය.

ලක්ෂ්මන් හේවාවිතාරණ, කිංස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, ආදි වූ බොහෝ ගායන ශිල්පීන් හඳුනා ගන්නට අවස්ථාව ලැබුණේ ඒ නිවෙසේදීය.

ප්‍රවීණයන්ට මෙන්න ආධුනිකයන්ට ද ගීත රචනා කළ චන්න ජයනාත් බොහෝ ගීත ලිව්වේ නිල්වලා නිවෙසින් එළිය දුටු කැසට්පට සඳහාය. නිල්වලා කැසට් පට සඳහා ගී ගැයු ගායක ගායිකාවන් සඳහාය. මෙය එක්තරා යුගයකි. එය එක්තරා යුගයක් වන්නේ අද වන විට කැසට්පට නිෂ්පාදය නව තාක්ෂණයත් සමඟ ඇණහිට ඇති බැවිනි.

“අපේ පවුලේ මා ඇතුළුව පිරිමි තුන්දෙනයි. මම පවුලේ වැඩිමලා . චන්න මල්ලි දෙවැනියා. චන්න මල්ලි උපන්නේ 1969 මැයි 13 වෙනිදා. ඊට පස්සේ මනෝරි අනුරුද්ධිකා නංගි. බාලයා නීල් රුක්මන් මල්ලි. අපේ තාත්තා බී. ඒ. ධර්මදාස. අම්මා අයිරාංගනී යහම්පත්. තාත්තා සේවය කළේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ. චන්න මල්ලි ඉගෙන ගත්තේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ. උසස් පෙළ ගණිතය විෂයයන් කළේ. මල්ලි ගොඩිගමුව ධර්මාශෝක දහම් පාසලේ කලක් ඉගැන්නුවා. මල්ලි නිල්වලා සමුහ ආයතනයේ සේවයට බැඳුණට පස්සේ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළා. ඉස්කෝලේ යන කාලේ ඉදලම මල්ලිට ලිවීමේ සහජ හැකියාවක් තිබුණා. චන්න මල්ලි ගීත 300 කට වඩා ලියා තිබෙනවා. ඒ වගේම ඒ ගී බොහෝමයක් ඉතාම ජනප්‍රියයි. චන්න මල්ලි විවාහ වුණේ චිත්‍රානි සුගන්ධිකා සමඟ. මල්ලි ට දුවලා දෙන්නෙක් ඉන්නවා . දූලා දෙන්නා තවමත් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.“

ලලිත් වසන්ත සිය සොයුරා ගැන පවසන්නට වූයේ බොහෝ කනගාටුවෙනි.

අජීත් මුතුකුමාරණ ගයන සුදු අරලියා මල, නාමල් උඩුගම ගයන නේත්‍රාව රත්තරන්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත සඳහා කළ කැසට් පටයන්හි ගීත සියල්ලම ලියන ලද්දේ චන්නය.) නිරෝෂා විරාජීනි ගයන ඉගිළෙන්න තහනම් නම් දුරක්, චන්දන ලියනආරච්චිගේ කවි සී පද ඇහෙන රෑට, සුමුදු වලාවක අඳුර වෙලා, මෙවලම් මොකටද මෙතරම්, සමාවෙන්න රත්තරනේ, සඳ යාත්‍රා කළා වගේ මතකයි, සමාවෙන්න බෝ පතකට, අතුල අධිකාරිගේ ඉමිටේෂන් මාල පොටේ, සුභානි හර්ෂනීගේ එකම එක වරක්, සපත්තු මල, චාමිකගේ සංසාර සිහිනයේ, මගේ දුප්පත් ඇස් දෙක, සඳ රැජිනියේ, හිතන්නෙපා ආදරේට පාට නෑ කියා, ජයසිරි අමරසේකරගේ සේපාලිකා මලයි, අසංක ප්‍රියමන්ත පීරිස් ගේ කඳුළු හුරතල් වැඩිද මන්දා , නාමල් උඩුගමගේ සිතුල් පව්ව වෙහෙර ළඟට, නුවර වැවට හාදු දිදී, කිංස්ලි පීරිස් ගේ දෙළුම් මලක් වී, බෙල්ලන්විල වෙහෙරට, කඳුළු පූජාසනයේ ආදී වූ ජනප්‍රිය ගණයේ ගී බොහෝමයක් චන්න අතින් ලියැවී තිබේ.

දෙදහස් දහය වර්ෂය පමණ වන විට කැසට්පටවලට තිබූ වෙළෙඳපොළ ක්‍රමයෙන් අඩුවිය. මේ කාලය වන විට නිල්වලා ආයතනය මෙන්ම සෙසු කැසට්පට ව්‍යාපාරිකයෝද වෙනත් වෙනත් දේට යොමු විය. චන්නලාද අලුත් මාවතක් සොයන්නට විය. ඔවුහු ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසෙන්නේ මේ සමයේය.

“අපි මේ කාලයේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය ආරම්භ කළා. මේ ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ චන්න මල්ලි. අපි ටෙලි නාට්‍ය ගණනාවක් කළා. නීල පබළු, තෝඩු, දේදුනු, දිපශිකා, ආදි ටෙලි නාට්‍ය අපේ ආයතනයෙන් බිහි වූ නාට්‍ය. මේ ටෙලි නාට්‍යවල තේමා ගීත ලිව්වෙත් චන්න මල්ලි.

මල්ලිට වුණේ මොකක් කියලා අපට තාමත් හිතා ගන්න බැහැ. එයා බොහෝම හොඳ කෙනෙක් ගෙදර අයට වගේම අසල්වැසියන්ට, යාළුමිත්‍රයන්ට හරිම ආදරෙයි. 24 වෙනිදා චන්න මල්ලිට අසනීප ‍වෙලා පුද්ගලික රෝහලකට ඇතුළත් කළා. 27 වෙනිදා රෑ ඔහුට හෘදයාබාධයක් ආව බව වෛද්‍යවරයා අප සමඟ කිව්වා. චන්න මල්ලිගෙ තත්ත්වය එතරම් හොඳ නෑ කියලත්. අපි එවලෙම රෝහලට ගියා. නමුත් අවාසනාව කියන්නේ මල්ලිගේ ජීවතය බේර ගන්න බැරි වුණා. චන්න මල්ලි කියන්නේ අපේ පවුලේ හොඳම කෙනා. ඔහු කවදාවත් කාටවත් වරදක් කරපු කෙනෙක් නෙමෙයි.“

ලලිත් වසන්ත සිය සොයුරා ගැන පවසන්නට වූයේ බොහෝ සොවිනි.

 ඉනෝකා සමරවික්‍රම

Comments