තරු පෑයූ වර්ණවත් රාත්‍රිය රයිගම් ටෙලීස් | Page 3 | සිළුමිණ

 තරු පෑයූ වර්ණවත් රාත්‍රිය රයිගම් ටෙලීස්

2020 රයිගම් ටෙලීස් සම්මාන සඳහා නිර්දේශ නාම ප්‍රකාශයට පත් කලාකරුවන් සහ මාධ්‍යවේදීන්

මෙරට දේශීය සන්නාමයක් වන රයිගම් සමූහ ව්‍යාපාරය විසින් පවත්වනු ලබන "රයිගම් ටෙලීස් 2020-2021" වර්ෂයයන් සඳහා වන සම්මාන සඳහා වූ නිර්දේශ නාම ප්‍රසිද්ධ කිරීම පසුගිය 25 වැනිදා සන්ධ්‍යාවේ දී බත්තරමුල්ල 'වොට්ස් එජ්' හිදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. රංගන ශිල්පීන්ගේ මදුර ගායනයන් රංගනයෙන් හා නර්තනාංගයන්ගෙන් එය හැඩ වී තිබිණ.

රයිගම් ටෙලීස් සම්මාන ප්‍රධානය 2005 වසරේ දී ආරම්භයේ සිට වසර 16ක් පුරා අඛණ්ඩව ඉතා සාර්ථකව මේ දක්වා පවත්වා ඇත. මේ සම්මාන උලෙළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂණීය සම්මාන උළෙල වන අතර එය මෙවර එය පැවැත්වෙන්නේ 17 වැනි වරට ය. තරු නොනිවෙන රාත්‍රියක් ලෙස ඉතා මනස්කාන්ත අයුරින් එය මාර්තු 26 වැනිදා සවස පහට කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.

මේ සම්මාන උලළේ විනිසුරු මඬුල්ල බුද්ධදාස ගලප්පත්ති (සභාපති), මහාචාර්ය අජන්තා හපුආරච්චි, ජයනාත් ගුණවර්ධන, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, රවීන්ද්‍ර ගුරුගේ, ජ්‍යේෂ්ඨ කථිකාචාරිනි හංසමාලා රිටිගහපොල, රංග දසනායක, අරුණ ගුණරත්න, ගුණසිරි සිල්වා සහ අබ්දුල් හමීඩ් යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සැදුම් ලද්දකි. ඔවුන් මහත් පරිශ්‍රමයෙන් මෙම ජයග්‍රාහී නිර්මාණ තෝරා ගෙන තිබේ.

නිර්දේශ නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවයේදී අවසන් සම්මාන සඳහා නිර්දේශිත නාම 212 ක් ප්‍රකාශයට පත් කෙරිණි. එසේ නිර්දේශිත සියලු දෙනා හට රුපියල් ලක්ෂ දහයක ජිවිත රක්ෂණයක් ලබාදීමට රයිගම් ආයතනය තීන්දු කර තිබීම ක්ෂේත්‍රයේ කාගේත් සතුටට කාරණයකි.

ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය කර්මාන්තයට, රූපවාහිනී වැඩසටහන්වලට සහ මාධ්‍ය අංශයට ඔවුන් විසින් කරන ලද විවිධ දායකත්වයන් අගයමින් මෙම සම්මාන පිරිනැමීම විශේෂය. මෙවරද තමන් සිත්ගත් ටෙලිනාට්‍යය, ටෙලිනාට්‍ය නළුවා, ටෙලිනාට්‍ය නිළිය ජයග්‍රහණය කරවීම සඳහා තම මතය ප්‍රකාශ කිරීමට ප්‍රේක්‍ෂක ජනතාවට අවස්ථාව ලබාදීම ද සුවිශේෂය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසර සඳහා වූ සම්මාන උළෙල 2021 දී නොපැවැත්විණ. එහෙයින් මෙවර රයිගම් ටෙලීස් 2020–2021 ඒකාබද්ධ උළෙලක් ලෙස පැවැත්වේ.

ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ප්‍රණාම සම්මාන, රූපවාහිනී නාළිකා අගැයීම යන ඛාණ්ඩ යටතේ මෙවරත් සම්මාන පිරිනැමෙන අතර උළෙලට අලුතෙන් හඳුන්වා දෙන ජනගත සම්මාන කුලකය යටතේ ජනප්‍රිය සම්මාන සඳහා ජයග්‍රාහකයන් ප්‍රේක්‍ෂක මනාපයෙන් තෝරාගන්නා අතර වසර තුළ විකාශය වූ වැඩසටහන් අතුරෙන් වඩාත්ම ජනකාන්ත ටෙලි නාට්‍ය, රූපවාහිනී මාධ්‍ය වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය සමීක්‍ෂණ දත්ත සහ නැරඹුම් වාර පදනම් කරගනිමින් පිළිගත් ක්‍රමවේදයකට අනුකූලව තීන්දු කෙරෙනු ඇත.

මෙම සම්මාන උලෙළේ සම්මානලාභීන්ගේ නිර්දේශිත නාම මහත් හරසරින් යුතුව මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ මාධ්‍ය ක්ෂේත්‍රය හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය යන ද්විත්වයේ විවිධ ඛාණ්ඩ යටතේය.

 රසික කොටුදුරගේ

Comments