රෝද පුටුවේ සිට ඔලිම්පික් රන් පදක්කමට වෙඩි තැබීම | සිළුමිණ

රෝද පුටුවේ සිට ඔලිම්පික් රන් පදක්කමට වෙඩි තැබීම

‘ඈ ජීවිතය ගැන සුසුම් හෙළුවේ නැත. දෙපා අවසඟ වුව ද ඇගේ සිත බිඳනොවැටුණු හෙයිනි ඒ. මට ඇවිදින්නට නොහැකි වුවත් දෑත් ඔසව්න්නට, දෑතින් රෝද පුටුවක් මෙහෙයවමින් නිවසේ ඔබ මොබ ඇවිදින්නට හැකියාව ඇතැයි ඈ සිතමින් තුටු පහටු වූවා ය. එයිනුදු නොනැවතුණු ඈ සාමාන්‍ය මිනිසුන් සේ සමාජමය ජයග්‍රහණ අත්පත් කරගන්නට ද පැතුවා ය. එය පැතුමක් බවට පමණක් පත් නොකර ගත් ඈ එය ඉටු කරගත්තේ ලෝකයේ ඉතා සීමිත දෙනෙකුට පමණක් උරුමවන ගෞරවයක් තම ගෙලමත පළදා ගනිමිනි.‘

ගෙවී ගිය 2021 වසරේ ඉන්දීය ධජය ළෙලවන්නට අවස්ථාව සලසා දෙමින් ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රදානය කිරීම පිණිස බී.බී. සී. මාධ්‍ය ජාලය සැලසුම් කර ඇති උත්සවයේ දී වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව තෝරා ගැනීමට ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගේ නාම ලේඛනයක් ප්‍රකාශයට පත්කර ඇත.

ජයග්‍රාහිකාව තෝරා ගනු ලබන්නේ මත විමසීමක උපකාරයෙනි. එහිදී බී.බී.සී. මාධ්‍ය ජාලය ඔස්සේ මනාප ලබාදීමට ඉඩ සලසා ඇති අතර ඒ සඳහා පෙබරවාරි 28 (හෙට) සිට මාර්තු 28 දක්වා කාලය නියම කර ඇත.

වැඩිම මනාපයෙන් තෝරා ගන්නා ක්‍රීඩිකාවට මාර්තු මාසයේ දිල්ලි නගරයේ දී පැවැත්වෙන උත්සවයේ දී සම්මානය පිරිනැමීමට නියමිත ය.

ප්‍රකාශයට පත් කර ඇති ක්‍රීඩිකාවන් අතරින් සෙසු ක්‍රීඩිකාවන්ට වඩා අවානි ලේඛරා විශේෂිත ය. ඇය නම් කර ඇති ක්‍රීඩිකාවන් අතර බාලයා ය. 20 හැවිරිදි වියේ පසුවන්නියකි. නීතිය හදාරමින් සිටින සිසුවියකි.

සෙසු ක්‍රීඩිකාවන් වන්නේ 23 හැවිරිදි ගොල්ෆ් ක්‍රීඩිකා අදිති අනේක්, 27 හැවිරිදි බර ඉසිලීමේ ක්‍රීඩිකා මිර්බායි චාන්ද්‍ර, 26 හැවිරිදි බැඩ්මින්ටන් ක්‍රීඩිකා පුසර්ලා වෙන්කට සිදු හා 24 හැවිරිදි බොක්සිං ක්‍රීඩිකා ලොව්ලනා බර්-ගහයින් ය.

මේ ක්‍රීඩිකාවන් හා සසඳන විට අවානි සතුව තිබූ අති විශේෂත්වය වනුයේ ඇය ආබාධිත ක්‍රීඩිකාවක වීම ය.

අවුරුදු 11 දී බරපතල රිය අනතුරකට මුහුණ දුන් ඇය ඉන් දිවි ගලවා ගත්ත ද එතැන් සිට ඇයට සිදුවූයේ ජීවිත කාලයම රෝද පුටුවකට භාර දීමට ය.

අනතුරින් සුෂුම්නාවට හානි සිදුව තිබුණි. එබැවින් ඇයගේ ඉඟටියෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම අප්‍රාණික ය.

වසර දෙකක් තිස්සේ කරන ලද ප්‍රතිකාරවලින් පසු කළ යුතු ප්‍රතිකාරය වූයේ ඇගේ කායිකත්වය ගොඩ නැඟීම ය. ඒ සඳහා ඇගේ පියා කළේ ඇය ක්‍රීඩාවට යොමු කිරීමට පියවර ගැනීම ය. ඒ අනුව ඔහු තම දියණිය දුණු ශිල්පයට හා වෙඩි තැබීමේ ක්‍රීඩාවට හුරු කරන්නට පියවර ගනු ලැබීය. ඒ වෙනුවෙන් ඔහු ගෙදර කුස්සියේ ඩිජිටල් වෙඩි පිටියක් ද නිර්මාණය කළේ ය.

කොහොම නමුත් අවානි ලේඛරාගේ වැඩි කැමැත්ත හිමි වූයේ වෙඩි තැබීමේ ක්‍රීඩාවට ය.

‘මම මේ ක්‍රීඩාවන් දෙකටම කැමතියි. ඒත් රයිෆලය අතට ගත් මුල් දිනයේ මගේ හිත බර වූයේ වෙඩි තැබීමේ ක්‍රීඩාවටයි. ඒ නිසා මම දුණු ශිල්පය අතහැර දැමුවා.‘

එලෙසින් පවසා ඇති අවානි ලේඛරා රයිෆලය සමග ඉදිරියට ගියා ය. ඒ අනුව ඇය 2015 වසරේ පළමු වරට පැරා ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී විනි.

අල් අයිරින් හී 2015 වසරේ පවත්වන ලද පැරා වෙඩික්කරුවන්ගේ තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිවීම පදක්කම් නොලැබුණ ද ඇයට දැනුණේ අත්දැකීම ලබන්න ලැබුණු කදිම අවස්ථාවක් ලෙසිනි.

ඇය නැවත පසුගිය වසරේ එක්සත් අරාබි එමීර්හි පවත්වන ලද පැරා වෙඩික්කරුවන්ගේ

ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රසාද ලකුණු 248.7ක් සමගින් රිදී පදක්කම දිනා ගත්තා ය. එහි දී ඇය ට රන් පදක්කම මඟ හැරුණි.

එහි ජයග්‍රාහිකා යුක්‍රේනයේ අයිරිනා ෂෙට්-නික්යා, ස්ලෝවැකියාවේ වෙරෝනිකා වඩොව්-කෝව් හා ඉරානයේ ගෙහානා යන ප්‍රබල ක්‍රීඩි-කාවන් යළිත් 2021 ටෝකියෝ පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ දී අවානිට මුණගැසුණි. නමුත් එවර අවානි ඉදිරියේ අයිරිනා පරාජය වූයේ මීටර් 10 වෙඩි තැබීමේ රන් පදක්කම දිනූ පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වීමට අවානි ලේකරාට අවස්ථාව සලසා දෙමිනි.

සීවලි එදිරිවීර

Comments