දෙවියනි බලනු මැන පෙන්වමි මගේ තෙද | සිළුමිණ

දෙවියනි බලනු මැන පෙන්වමි මගේ තෙද

‘ඔහු ප්‍රකට වූ කාරණා කීපයක් විණි. ඒ අතරින් වඩාත් කැපී පෙනුණේ හර්බජාන් සිංගෙන් පහර කෑම හා තරග පාවා දුන් බවට චෝදනාවට ලක්වෙමින් අයි.සී.සී. තහනමකට ලක්වීමය. කෙසේ නමුත් යළි ශ්‍රීශාන්ත්ගේ නම ඉන්දීය ක්‍රිකට් ලෝකය තුළ ප්‍රකාශ වෙමින් ඇත. ඒ ඔහු යළි ක්‍රිකට් පිටියට පැමිණෙන බවට ප්‍රවෘත්ති පළවීමත් සමඟ ය. මේ ශාන්ත කුමාරන් ශ්‍රීශාන්ත්ගේ කතාව ය.’

ඉන්දීය ක්‍රිකට් පිලට එකල එක් වූ ප්‍රධාන වේග පන්දුයවන්නා බවට සැලකුණේ ඔහු ය. එතෙක් කාලයක් මඳවේග පන්දුයවන්නන් රජකළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට වේගය රැගෙන එක් වීමට ඔහුට හැකි වූ නිසාය 2005 වසරේ ජාතික පිලට එක් වූ ඔහු තමන්ගේ කුසලතා ඔස්සේ කණ්ඩායම තුළ ස්ථාවර වීමට සමත් වුවත් එකල ඔහු තර්ජනාත්මක පන්දු යවන්නකු ලෙසින් ප්‍රතිවාදී පිතිකරුවන් හඳුනාගෙන නොතිබිණි.

ඒ නිසාම ඊළඟ වසරේ අන්තර් ජාතික තරගවලදී ඔහුට බිලි වූ පිතිකරුවන් ගණන 61 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. දඟ පන්දු යවන්නන්ගේ ශක්තියෙන් ගොඩනැඟුණු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කදිම වේග පන්දු යවන්නෙකු විය. ටෙස්ට් තරග 27 ක දී කඩුලු 87 ක් එක්දින තරග 53 ක දී කඩුලු 75 ක් පන්දුවාර 20 තරග 13 ක දී කඩුලු 10 ක් ද දවා ගනිමින් ඉන්දීය පිලට නැතිවම බැරි වේග පන්දු යවන්නකු බවට පත්වෙමින් සිටිය දී තමන්ට තමන්ව පාලනය කර ගැනීමට අසමත් වීම ශ්‍රීශාන්ත්ගේ කඩා වැටීමට ප්‍රධාන වශ-යෙන් බලපෑවේ ය. 

ඔහු 2008 අප්‍රේල් 25 වැනි දා ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට අයත් වූ මුම්බායි ඉන්දියන් පිල හා කිංග්ස් පන්ජාබ් පිල අතර මොහාලි හි පැවැති තරගයේ දී හර්බජන් සිංගේ ප්‍රහාරයකට ලක් වූයේ ද තමන් කෙරෙහි වූ අධි තක්සේරුව නිසා ය.

එම තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පිල පරාජයට පත්ව තිබිණි. එය එක දිගට ඔවුන් ලද තෙවැනි පරාජය වීම නිසා නායක හර්බජාන් සිංග් පසු වූයේ කණස්සල්ලෙනි. ජය ග්‍රාහී මානසිකත්ව-යෙන් ඔද වැටී සිටි ශ්‍රීශාන්ත් හර්බජාන් වෙත ගොස් සමච්චලයට මෙන් ‘බෑඩ්ලක්’ යැයි පවසා තිබිණි. ඉන් කෝපයට පත් වූ හර්බජාන්ගේ ප්‍රහා-රයට ශ්‍රීශාන්ත් ගොදුරු විය.

කොහොම නමුත් ශ්‍රීශාන් ට අවසන් වරට ක්‍රීඩා කිරීමට ලැබුණේ 2013 වසරේ ඉරානි කුසලාන වෙනුවෙන් මුම්බායි ඉන්දියන්ස් පිල හා සෙසු ඉන්දීය පිල අතර පැවැති තරගයට ය.

එම වසරේ පැවති ඉන්දීය ප්‍රිමයර් ලීග් තරගාවලියේ දී මුදලට තරග පාවා දීමේ චෝදනාවට ගොදුරු වූ ඔහුට දඬුවම ලෙස ලැබුණේ ජීවිතාන්තය දක්වා වන තරග තහනමකි.

‘ඇත්තෙන්ම මගේ අතින් සිදු වුණේ බරපතළ වරදක්. ඒකෙන් මට වැරදුණා. මගේ ආර්ථික ශක්තිය බිංදුවට කඩා වැටුණා. ජීවිතය යළි ගොඩ නඟන්න ක්‍රමයක් නැතිව මම කාලයක් දුක් වින්දා.‘

පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු උපදේශ-යක් මත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී-ශාන්ත්ගේ තරග තහනම වසර 7 ක් දක්වා අඩු කළේ ය. ඒ අනුව පසුගිය 2020 වසරේ සැප්තැම්බර් 13 වැනි දා ඔහුගේ තරග තහනම අවසන් විණි.

ඉන් අනතුරුව නැවතත් ශ්‍රීශා-න්ත් ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූයේ ය. නමුත් ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 37 කි. එසේ තිබියදීත් ළඟ

දී ම ඇරඹෙන ඉන්දියාවේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය වූ රංජි කුසලාන තරගාවලියට සහභාගී වන කේරළ කණ්ඩායම වෙනුවෙන් ඔහුව තෝරා ගෙන ඇත.

‘මම වොවික්ෂයර් පිලට ක්‍රීඩා කරන කාලයේ ඇලන් ‍ෙඩානල්ඩ්ගෙන් ඉගෙන ගත්ත දේවල්වලින් අද මට ප්‍රයෝජන ගන්න පුළුවන් වේවි. අද මම උත්සාහ කරන්නේ පිතිකරුවන් බිය වද්දන්න නොවෙයි. ඒකට මගේ වයස බාධාවක්. ඒ නිසා මම පිතිකරුවන් දවාගන්න පන්දු යවන්න සූදානම්. නමුත් මම මෙහෙම කිව්වම හුඟ දෙනෙක් හිතන්නේ පිතිකරුවකු බිය වද්දන්න තරම් වේගයක් නැති නිසා කරන ප්‍රකාශයක් කියලයි. මම කවදාවත් වයස බාධාවක් කියලා හිතන්නේ නෑ. එහෙම හිතුවා නම් ඉම්රන් තහීර්, ජේම්ස් ඇන්ඩර්සන්, සොනහල් තන්වීර් වගේම බ්‍රැඩ් හොග් වුණත් විශ්‍රාම අරගෙන කොපමණ කාලයක් ගත වෙලාද?‘

වයසට ගොස් ඇතත් වේගය අඩාළ වී ඇතත් ශ්‍රීශාන්ත් නම් උත්සාහ කරන්නේ නැවතත් ජාතික පිලට එක්වීමටය. ඒක බොහෝ දෙනෙකුට විහිළුවක් ලෙස දැනෙන්නට බැරි නැත.

‘ටිකක් ඉවසගෙන ඉන්නකෝ මට තවත් පුළුවන් පිටදෝලන පන්දු වගේම ප්‍රතිදෝලන පන්දු යවන්න. ඉස්සර වගේ නොවෙයි, දැන් මම යම් පමණකට මගේ පිතිකරණයත් දියුණු කරගෙන තියෙනවා. බලන්න දැන් ඉන්දීය පිලේ පුහුණුකරු වෙනස් වෙලා. නායකයා වෙනස් වෙලා. ඕනෑ තරම් වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. මම ස්ථානයක් උදුරා ගන්නේ නෑ. මම කරන්නේ මට හිමි තැන වෙන් කර ගන්න එකයි. මම දෙව්ලොව ගිය දවසක ඔබට තිබූ දක්ෂතාවයෙන් ඔබ ඉටු කළ සේවය කුමක් ද කියලා දෙවියන් විමසුවහොත් නිරුත්තරව සිටීමට මම කැමැති නෑ. ඒකයි මම මේ විදිහට නැවත දක්ෂතා දක්වන්න සූදානමින් ඉන්නේ.‘ ශ්‍රීශාන්ත් තවදුරටත් පවසා තිබිණි.

සීවලි එදිරිවීර

Comments