ජාත්‍යන්තර කාන්තා දිනයේ ක්‍රීඩා ලෝකයේ සිදුවීම් | සිළුමිණ

ජාත්‍යන්තර කාන්තා දිනයේ ක්‍රීඩා ලෝකයේ සිදුවීම්

‘ජාත්‍යන්තර කාන්තා දිනය, ලොව පුරාම කාන්තාවන් විසින් අභිමානයෙන් සමරනු ලබන සුවිශේෂී දිනයක්. සෑම වසරකම මාර්තු මස 8 වැනි දා ට ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබෙනවා. මේ සටහන, විවිධ වසරවල ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රීඩා ලෝකයෙහි සිදු වූ සිදුවීම් පෙළක් ගැනයි.‘

2020 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය

2020 වසරේ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවත්වුණේ ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුණු මාර්තු 8 වැනි දා යි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවත්වුණු මෙම තරගය සඳහා ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබා තිබුණි. මෙතෙක් පැවති සියලු වාර්තා බිඳ හෙළමින් ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මෙල්බර්න් ක්‍රීඩාංගණයේ ආසන ධාරිතාව වූ 100024 ම එදින ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද සමානාත්මතාවයෙ හි ලා සැලකීම පිණිස එදින පැවති ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජයග්‍රාහකයන් ට පිරිනැමෙන තරග මුදල 2018 වසරේ ලබා දුන් මුදලට වඩා 320% ගුණයකින් ඉහළ දැමීමට සංවිධායකවරු කටයුතු කළ හ. ජනප්‍රිය හොලිවුඩ් ගායිකා කැතී පෙරී ද මෙල්බර්න් ක්‍රීඩාංගණයට පැමිණ සිටි ඇය එහිදී ගීත කිහිපයක්ද ගායනා කළා ය.

Mater Chicks in Pink ධාවන තරගය

වාර්ෂිකව ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ඕස්ට්‍රේලියාවේ සංවිධානය කෙරෙන Mater Chicks in Pink ධාවන තරගය පියයුරු පිළිකාවෙන් පෙළෙන්නන් ගේ සුබසිද්ධිය උදෙසා සිදු කරන්නකි. එම තරගය තුළින් එක්රැස් වන අරමුදල් පියයුරු පිළිකා රෝගීන් වෙනුවෙන් බැර කරනු ලබයි.

පූනේ මැරතන් තරගාවලිය 2020

ඉන්දීය මැරතන් ක්‍රීඩාවේ නිජබිම ලෙස සැලෙකන පූනේ නගරය කේන්ද්‍ර කරගෙන පැවත්වෙන පූනේ මැරතන් තරගාවලිය ලෝ පුරාම අවධානය දිනා ගන්නා තරගාවලියකි. 2020 වසරේ මෙම තරගාවලිය සුවිශේෂී නවමු අංග එක් කරමින් පවත්වන්නට තරග සංවිධාකයෝ කටයුතු කළ හ. 1983 වසරේ සිට පැවැත්වුණු මෙම තරගාවලියේ 2020 වසර තරගාවලිය කාන්තා දිනයට සමගාමීව කාන්තා සෞඛ්‍ය නගා සිටුවීමටත්, තරගය සඳහා කාන්තා සහභාගිත්වය වර්ධනය කිරීම පිණිසත් ප්‍රවර්ධනය කිරීමට ඔවුහු කටයුතු කළ හ.

පසිඳු මිහිරාන් රැටියල

Comments