90'S Super 10 බලන්න 05දා මහරගමට එන්න | සිළුමිණ

90'S Super 10 බලන්න 05දා මහරගමට එන්න

90 දශකය යනු ගී පැබඳුම්වල ස්වර්ණමය යුගයයි. ඒ වගේම සුභාවිත හා විරහ ගීත, සරල ගීත ලෙසින් ද වැලඳගත් යුගයයි. එදා තරුණ තරුණියන්ගේ පෙම් හසුන්වල ලියැවුණු ගී පදවැල් අතර මුල් පේළිය ඇත්නම් ඒවා සුරක්ෂිතව ඔවුන් ළඟ අදත් ඇති. නොමැකෙන නාමයන්ට බඳුන්වන්නේ 70 හා 80 දශකයෙන් පසු 90 දශකයේ ගායක ගායිකාවන්ගේ හඬවල් වලින් ඇසුණු ගීතයි. එදා ගී ගැයූ අය මෙදා කරන අපූර්ව වැඩක් ගැන කතා බහ කරන්නටයි අපේ සූදානම.

කුමාරසිරි පතිරණ

" මීට අවුරුදු දෙක හමාරකට විතර ඉස්සරයි මේ වැඩේ කරන්න අපි හිතාගෙන හිටියේ. නමුත් කොවිඩ් අපේ ජීවිතවලට වෙස්වළාගත් ආශිර්වාදයක් වුණා. ඒ නිසා පෙරළුණ පිට හොඳයි කියලා හිතුණා. ආදරය කවදා කොතනක කොයි මොහොතේ ඇති විය හැකි දැයි අපිට කියන්න අමාරුයි. 90 දශකයේදී අපි වඩාත් ප්‍රේමණීය වුණු නිසා අපි සියලුදෙනාම නැවතත් 90 ට ප්‍රාණය උපද්දන්න ඕන කියලා හිතුණා. 60, 70, 80 දශකයේදී ප්‍රාණ වායුව වුණු ගායක, ගායිකාවන්ගේ ගීත රස විඳලයි අපි 90 ගොඩනැඟුවේ. ඒ නිසා අපි සියලු දෙනා එකමුතු වුණා මේ වැඩේ කරන්න. මම මෙහි බර කරට අරගෙන වැඩේ පටන් ගත්තා. අතුල ශ්‍රී ඇතුළු සියලුම දෙනා මගේ පිටිපස්සේ ඉඳලා මට සහයෝගය දෙනවා. මේ වැඩේ අපි කරන්න හිතුවේ 25 ක් දෙනා එකතු වෙලා එළිමහන් ප්‍රසංගයක් ලෙසයි. නමුත් ඇති වුණු කොරෝනා වසංගතයක් එක්ක අපිට ඒක කර ගන්න බැරි වුණා. අපි කොහොම හරි අවුරුදු දෙක හමාරක් මේක හිර කරගෙන හිටියා කොහොම හරි කරනවා කියලා. ඒ උත්සාහයේ ජයග්‍රහණයක් ලෙස අපි මේ මාර්තු 05 වැනිදා මහරගම යොවුන් රඟහලේදී සවස 6 ට ගෘහස්ථ ප්‍රසංගයක් ලෙස එළි දක්වන්නට අදහස් කළා. මේකෙන් පස්සෙ අපි රට වටේම යන්න අදහස් කරගෙන ඉන්නවා. 90 අපේ මුල්ම ප්‍රසංගය මේක. එදාට අයිවෝ ප්‍රමුඛ සන්වේ සංගීත කණ්ඩායම සංගීතයෙන් ද, කථනය ඉන්ද්‍රජිත් සුරවීරගෙන් ද, නර්තන වින්‍යාසය නිරෝෂා තලගල ප්‍රමුඛ යූ ඩාන්ස් කණ්ඩායමෙන් ද එකතු වේ. මේක අලුත් ප්‍රසංගයක්. එනිසා මම සියලු දෙනාටම ආරාධනා කරනවා 05 දා ට මහරගමට එන්න කියලා.

නාමල් උඩුගම

90 දශකය ගැන මට මතක් වෙනකොට මම එතන තාමත් ජීවත් වෙනවා කියලා හිතෙනවා. එදා ඒ ආපු ගමන ආවේ නැත්නම්, අද නාමල් කියලා කෙනෙක් නැති වෙන්න තිබුණා. මට මේ වැඩේට කුමාරසිරි පතිරණ කතා කරනකොට මම උඩින් පැනලා කැමති වුණා. මොකද අපේ අතීතය මතක් කරන්න හොඳම අවස්ථාවත් මේක නිසයි. වර්තමාන පරපුර තාම දන්නෙ නෑ අපි කවුද කියන එක. ඒ නිසා ඔවුන්ට අපිව මතක් කර දෙන්න කොච්චර අවස්ථාවක් ද මේක. මගේ සින්දුවල මුල් පද පේළි තරුණ තරුණියන්ගේ පෙම් හසුන්වල ලියවුණේ නෑ කියලා කාටවත් කියන්න බැහැ. අපේ කාලේ ආදරේ වින්ද සියලු දෙනා එදාට එනවා කියන එක මම සීයට දෙසීයක් දන්නවා.

ග්‍රේෂන් ජයමහ

අපේ කාලේ තමයි, සුපිරිම තරු ටික බිහි වුණේ. ඒ නිසා අපිට පොඩි සතුටකුත් තියෙනවා. කවුරුත් වැලඳගත් ඒ යුගය සුපිරි ම සංගීත දශකයක්. වැඩි ම නිර්මාණ සංඛ්‍යාවක් බිහි වුණේ 90 දශකයේ. රෙකෝඩර් බාර්වලට වෙලාවක් වෙන් කරගන්නත් කට්ටියට බැරිව ගියා. ඒ තරමට අපේ දශකයට ඉල්ලුම තිබුණා. කොටින්ම කියනවා නම්, එදා අපි ප්‍රසංග වේදිකාව උඩු යටිකුරු කළා. සමහර තරුණ, තරුණියෝ වැඩ ඇරලා මියුසිකල් ෂෝ එක බලලා තමයි ගෙදර ගියේ. ඒ යුගය නැවත සිහි ගන්වනවා කියනකොටම මට අමුතුම සතුටක් දැනුණා.

අතුල ශ්‍රී ගමගේ

අපිට මේ වැඩේ කරන්න අදහසක් ආවේ 2019 වසරේදීයි. මමත් කුමාරසිරිත් එකතු වෙලා මේ ගැන කතා කළා. අපේ සියලු දෙනාම මේ ගැන දැනුම්වත් කළා. ඔවුන් හොඳ ප්‍රතිචාරයක් දැක්වූවා. ඒකාලේ සියලු දෙනාම එකට එකතු කරගන්න හොඳ අවස්ථාවක් වුණා. ඒ වගේම නව පරපුරට අපේ සින්දු ඇහෙන්න ඕන කියන අදහසත් අපේ සිතේ තිබුණා. ඉතින් මෙහෙම වැඩක් කරන්න ලැබෙන එක ගැන කොච්චර සතුටු වෙන්න ඕන ද අපි. මම හිතනවා එදාට අපි නැවත ඉපදෙයි කියලා.

විජේබණ්ඩාර වැලිතුඩුව

2020 මාර්තු 14 වැනිදා අපි මේක කරන්න අදහස් කළේ. ඊට සියලු කටයුතු අපි ලෑස්ති කළා.

ඒත්, ලෝකෙටම බලපාපු ප්‍රශ්නය අපිටත් බලපෑවා. හැබැයි අපි එකෙන් වැටුණේ නෑ. අපි මේකෙන් තවත් පන්නරය ලැබුවා. මොකද අපේ කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක්. අපි දින වකවානු ගැන හිතුවේ නෑ. අපි කොහොම හරි වැඩේ කරනවා කියන තැනට ආවා. ඒ ආපු ගමනේ ප්‍රතිඵලය තමයි අපි සියලු දෙනා මේ විදිහට එකතු වෙන්නේ. 90 දශකය නැවත උඩට ගන්න මට ඕන වුණා. මොකද අපි එකිනෙකා උඩින් පැනලා ඉස්සරහට යන්න දඟලන්නෙ නෑ. ඒක තමයි අපේ රහස. ජීවිතේ රස තියෙන්නෙ මෙතනයි.

චන්දන ලියනආරච්චි

රසික ආදරය දිනාගත් ශිල්පීන් බොහෝමයක් කලාවට දායාද කළ යුගයක් තමයි 90 කියන්නේ. ඒ යුගයේ ආපු ශිල්පියෙක් හැටියට මං ඇත්තටම සතුටු වෙනවා. ඒ නිසා අපිව සියලු දෙනාම වැලඳ ගත්තා. එදා වගේම අදටත් එහෙමයි. ඒ වගේමයි අපේ හොඳ නිර්මාණ රසිකයන්ට ඇහෙන්න ඕන නිසාත් සමහර නිර්මාණ නොඇසෙන නිසාත් මම හිතුවා ඔවුන්ට නැවත ඒවා ඉක්මනට රසවිඳින්නට මේක අවස්ථාවක් කර ගන්න.

අසංක ප්‍රියමන්ත

අපි මීට ඉස්සෙල්ල ගායක ගායිකා සංගමයත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න ප්ලෑන් එකක් දැම්මා. ඒත්, ඒ වැඩේ සාර්ථකත්වයක් වුණේ නෑ. ඊට පස්සේ අපි කීප දෙනෙක් එකතු වෙලා මේ වැඩේ කරමු කියලා පොඩි සාකච්ඡාවක් දැම්මා. කොහොම හරි වැඩේ පත්තු වුණා. ඒ කරපු පත්තු විල්ල දැන් දිගටම පත්තු කරනවා. කොහොමත් දැන් කවුරු පස්සට ඇද්දත් නවත්තන්න හම්බෙන්නෙ නෑ. අපි ගමන දිගටම යනවා යනවාමයි. මාර්තු 05 කරන්න යන විප්ලවයෙන් අපිට රසිකයෝ මග ඇරලා යන්න නම් හම්බෙන්නෙ නෑ. මොකද ඔවුන් එන්නේ අපිව බලන්නයි. අපේ සින්දු අහන්නයි. එදාට මම නම් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න බලාගෙනයි එන්නේ.

මධුමාධව අරවින්ද

අද මැදි වියේ ඉන්න අපි, එදා ගැයූ ගීත එක්ක පෙමින් බැඳිලා වෙළිලයි හිටියේ. අපි ගැයූ ඒ ගීත අනාගතයටත් ඇහෙන්න දෙන එක අපේ යුතුකමයි. අපේ සින්දු අහල එදා ආදරෙන් වෙළිලා බැඳිලා හිටපු සියලු දෙනාම සමහරවිට වෙන්වෙලත් ඇති. එකතුවෙලත් ඇති. එකතු වුණ අයටත් වෙන් වුණ අයටත් මේක හොඳ අවස්ථාවක්. එන්න අපිත් එක්ක එකතුවෙලා ඒ ආදරේ බෙදා ගන්න. මම හරියට පොඩි එකෙක් වගේ ඇඟිලි ගණිනවා ඒ දවස එනකම් .මේ වැඩේ හරි අපූරු වැඩක් වෙයි.

ලක්ෂ්මන් හිල්මි

අපේ යුගයේ දේවල් අරගෙන අපිට අනාගතයට යමක් දෙන්න ඕන කියලා හිතුණා. මොකද අනාගත පරම්පරාව ගීත රස විඳින කලාවක් මම දැකලා නෑ. ඔවුන් වැඩි හරියක් ජීවත් වෙන්නේ ඉන්ටනෙට් එක්කයි. අපි ඒ කාලේ පූර්ණ කැප කිරීම් කරලා තමයි මෙතැනට ඇවිල්ලා ඉන්නේ. ඒත් අද ජීවත්වන තරුණ පරම්පරාව ඒ ගැන දන්නේ නෑ. එහෙම කලාවක් තිබ්බද කියලාවත් දන්නෙ නෑ. ඒව මතක් කර දෙන්නත් මෙය හොඳ අවස්ථාවක්.

රොහාන් ද සිල්වා

මේ වැඩේට අත ගැහුවේ best top 90 ලෙසයි. සුන්දර 90 ලෙස ගායක, ගායිකා සංගමය හරහා මේක කරන්න උත්සාහ ගත්තා. හැබැයි, ඒක රටේ පැවතුණු කොරෝනා වසංගතයක් එක්ක අතපසු වුණා. ඉන් පස්සෙ කුමාරත්, අතුලත් මූලික වෙලා වැඩේ පටන් ගත්තා. අපේ පරම්පරාවෙන් පස්සේ මොනවා වෙයිද කියලා නම් කියන්න බැහැ. ඊට පෙර අපි අනාගත පරම්පරාවට යමක් දෙන්න ඕන. ඔවුන්ට අපෙන් යමක් දෙන්න පුළුවන් වෙන්නේ අපි ජවයෙන් ඉන්න කාලේ පමණයි. අපි වයසට ගියාම අපිට මේ දේවල් කරන්න බැරි වෙනවා. ඒ හින්දා අපි හිතුවා අපිට පුළුවන් කාලේ මේ දේවල් කරලා 90 ඇසුණු ගීතවලින් ආස්වාදයක් ලබා දෙන්න.

Comments