සිරස දැන් භද්‍ර යෞවනයේ නිසා ඕනේ බරක් දරාගන්න පුළුවන් | සිළුමිණ

සිරස දැන් භද්‍ර යෞවනයේ නිසා ඕනේ බරක් දරාගන්න පුළුවන්

සිරස 28 වන සංවත්සරය ගැන නාළිකා ප්‍රධානී සජිත් රත්නායක කතා කරයි

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 1994 වසරේ මාර්තු දෙවැනිදා සිරස නමින් ගුවන් විදුලි නාළිකාවක් ආරම්භ වුණා. ඒ, සිරස fm අද භද්‍ර යෞවනයේ තාරුණ්‍යයට ඇවිත් තියෙනවා. දැන් ඔවුන් සමරන්නේ 28වන වසර. සම්ප්‍රදාය වෙනසක් කරමින් පැමිණි සිරස fm හි 28 වන වසර සමරන ආකාරය ගැන කතා කළේ එහි නාළිකා ප්‍රධානී, සජිත් රත්නායකයි.

සිරසේ ආරම්භය මතක් කළොත්

1994 මාර්තු 2 වෙනිදා තමයි සිරස Fm ආරම්භ වෙන්නේ. එවකට රාජ්‍ය ගුවන් විදුලිය හැර එක් පුද්ගලික නාළිකාවක් පමණයි තිබ්බේ. ඒ සියල්ල අසන්නට දුරස්ථව තමයි වැඩසටහන් ඉදිරිපත් කළේ. එයට අලුත් අත්දැකීමක් එකතු කරමින් සිරසට පුළුවන් වුණා අසන්නන්ට සමීප වෙන්න. ඒ අනුව අසන්නාට ඉතා සමීපව ගුවන්විදුලි වැඩසටහන් මෙහෙයවීම ආරම්භ වුණේ 1994දී. අපි හැමෝම වෙහෙසකාරී ජිවිතයක් ගෙවන්නේ. ඒ වෙහෙස නිවාගන්න විනෝදාස්වාදය සැපයීමේ වැඩසටහන් තිබ්බේ සීමිතව. ඒ වෙද්දී ගුවන් විදුලියෙන් සමීප වුණේ බරසාර වැඩසටහන්. ඒ වෙනුවට අසන්නන්ගේ මනසට සැහැල්ලුවක් ලබාදෙන මොහොතකට තමන්ට තියෙන ප්‍රශ්න ටික අමතක වෙලා හිනාවෙලා දවස පටන් ගන්න පුළුවන් විදියේ වෙනස් ආකාරයේ වැඩසටහන් රැසක් හඳුන්වා දුන්නා. ඒ වගේම අසන්නන් ළඟට ගිහින් ඒ අයගේ ගැටලු විසඳමින් ඉදිරියට ආවා. අද වෙද්දී අපි දියත් කරන ගම්මැද්ද වගේම ඒ කාලේ සිරස ගම්සභාව තිබ්බා. මැදිරියෙන් පරිබාහිරව ගමට නගරයට ගිහින් සතුට විනෝදය ලබා දීම අපේ අරමුණ වුණේ. ඒ හරහා ගුවන් විදුලි කලාවේ වෙනසක් ඇති කළේ සිරස. අදටත් සියලු ගුවන්විදුලි නාළිකා ඒ වෙනස ඔස්සේ තමා ගමන් කරන්නේ. ඒ නිසා තමයි අදටත් සිරසයි පාර කියන්නේ කියලා කියන්නේ.

සිරස වටා ඉන්න ශ්‍රාවකයන් ගැනත් අපි කතා කරොත්

එදා සිරස පටන් ගන්නකොට ඉපදුණ කෙනෙක් සිටියා නම් අද වෙද්දී වයස 28ක්. ඒ වගේම එදා වැඩිපුරම ආකර්ෂණය දිනා ගත්තේ තරුණ පරම්පරාව. ඒ වෙද්දී වයස 20ක හිටි කෙනෙක් නම් අද 48ක්. ඒ අය තවමත් සිරස එක්ක බැඳිලා ඉන්නවා. ඊට අමතරව හැමදාම තාරුණ්‍යය අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් සිරස මාධ්‍ය ජාලය අලුත් දෙයක් වෙනස් දෙයක් එකතු කරනවා. ඒ නිසා අපිට ශක්තිමත් ශ්‍රාවකයන් පිරිසක් ඉන්නවා.

මේ 28 වන උපන්දිනය වෙනුවෙන් මොනවද කරන්නේ

අපි මාධ්‍යයක් විදියට කරන දැවැන්තම ව්‍යාපෘතිය තමයි සිරස නිවාස ව්‍යාපෘතිය. සිමාසහිත කැපිටල් මහරාජා සමුහය, එස්ලෝන් සමාගම සහ ශ්‍රී ලංකා යුද හමුදාව අපි එක්ක සම්බන්ධ වෙනවා. ඊට අමතරව මාර්තු 2 කියන්නේ, සිරස FM එකට 28 වසරක් සේම ගුවන් හමුදාවට වසර 71ක් සපිරෙනවා. ඒ නිසා මාර්තු 1වෙනිදා සවස කැලණිය විහාරස්ථානයේ විශේෂ පිච්ච මල් පූජාවක් පවත්වනවා. සිරස ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු 4,5,6 දවස් තුනේ සිදුවෙනවා. ඒ වගේම 2වෙනිදා උදේ ඉදන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංගීත කණ්ඩායම අපේ මැදිරි සංකීර්ණයේ විශේෂ සංගීත ප්‍රසංගයක් තියෙනවා. ඒ එක්කම මේ 28වන සංවත්සරය නිසා හැම 28වන විනාඩියෙම අසන්නා පුදුම කරන්නත් ජිවන බරට සහනයක් දෙන්නත් සුදානමින් ඉන්නවා. ඒ වගේම මාර්තු කියන්නේ සිරස fm සංවත්සරික මාසය. ඒ නිසා මාර්තු මාසය පුරා සිරස අසන්නට ටැංකිය පුරවා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමා බිල් කියන්නේ අපිට තියෙන ප්‍රශ්න අතර එකක්. ඒ නිසා ඔබේ බිල් සිරසෙන් දරන්නට සුදානමක් තියෙනවා. මේ සියල්ල හරියටම සවිස්තරව දැන ගන්න පුළුවන් මාර්තු 2 වෙනිදා සිරස ඇහුවොත්. මාර්තු 4වෙනිදා ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී flashback සංගීතයට ජනප්‍රිය තරු රැසක් ගී ගයන සංවත්සරික ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ වගේම අසන්නාගේ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න අපි වග බලා ගන්නවා. ලංකාවේ විශ්වසනියම ගුවන් විදුලි නාළිකාව බවට පත්වෙමින් අපගේ වස්තුව වන අසන්නා රැක ගනිමින් ඉදිරියට යන්න තමා බලාපොරොත්තුව. ලංකාවේ ලොකුම ක්‍රිකට් සැණකෙළිය ආපහු අපි ආරම්භ කරනවා. ඒ SPL -සිරස ප්‍රිමියර් ලීග් නමින්. සිරස fm තමා සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසක් ඇති කළේ. සිරස fm ක්‍රිකට් අභියෝගය අදියර තුනකින් අපි පැවැත්තුවා. ඒ කාලේ අපිට හමුවුණා මිගමු වෙරළේ සෙල්ලම් කරපු නුවන් ප්‍රදීප් රොෂාන්. ඔහුව ජාතික කණ්ඩායම දක්වා අපිට අරගෙන යන්න හැකි වුණා. මේ පාර SPL හරහා ජාතික කණ්ඩායමට අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්වත් දායාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගමයි පන්සලයි සිරස රේඩියෝවයි කියන සංකල්පයෙන් විහාරාරාම 150ක් අපි සංවර්ධනය කළා. දැන් අපි සුදානම් "ගමයි පන්සලයි දහම් පාසලයි" ඒ ඔස්සේ දහම් පාසල් ගොඩනැගිලි ලංකාව පුරා තියෙන විහාරස්ථාන වලට සිරස fm දායකත්වයෙන් ලබා දෙන්න.

අපි මතක් කළොත් සිරස කණ්ඩායම ගැන

අපේ දිවංගත සභාපතිතුමා රාජමහේන්ද්‍රන් මහතා තමා සිරස කියන සන්නාමයේ නිර්මාතෘ. ජනතාව අතරට ගිහින් ජනතාවට සේවය කරන එතුමාගේ දර්ශනය තමයි අපි ඉදිරියට ගෙන යන්නේ. එතුමාගේ පුත්‍රයා ශශි රාජමහේන්ද්‍රන් මහතා තමා දැන් කටයුතු කරන්නේ. මාධ්‍ය මෙහෙය වන්නේ සමුහ අධ්‍යක්ෂිකා නිඩ්‍රා වීරසිංහ මහත්මිය. ඇය යටතේ මම නාළිකා ප්‍රධානි වශයෙන් වැඩ කරනවා. සංගීත අධ්‍යක්ෂ නිහාල් වික්‍රමඑදිරිසූරිය. අපේ ප්‍රවර්ධන කටයුතු සියල්ලම බලන්නේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ. වැඩසටහන් සහකාර කළමනාකරු ප්‍රසාද් ලියනආරච්චි, සහකාර ප්‍රවර්ධන කළමනාකරු පුබුදු කලන්සුරිය. සහකාර සති අන්ත කලමනාකාරිනි ශාලිකා රණසිංහ. සහකාර නිෂ්පාදන කළමනාකාර පසන් කිර්තිනන්ද සමනල සිරස - සමන්ති, සූරිය සිරස- ටාසන්/ මේසන්/ පූජා, දහසක් මල් - බිනෝලි/ අංජනා, සිහිනයකි ආදරේ - හර්ෂනී, ටෙක්නික් හැන්දෑව - ටෙක්නික්/ ජීන්ස්, ආදර සිරස - චන්දන/ සවනි, Night Time Radio - පුබුදු /අයේෂා, Digital පැතුම්/ තරිදු, තව පාලිත, පණ්ඩුක, උදය, ඉරෝෂන්, උදම්, ප්‍රතිභා, පියුමි, ගීතිකා සිරස Fm කණ්ඩායම තමා මේ ගමන යන්නේ.

දැන් අපි ඉන්නේ භද්‍ර යෞවනයේ නිසා ඕනේ බරක් දරාගන්න පුළුවන්. ඒ බර තවත් වැඩි කර ගන්න අලුත් පරම්පරාවට අවස්ථාව ලබා දෙන්න සුදානමින් ඉන්නවා. සිරස fm next jenaration තුළින්. මාර්තු 2වෙනිදට සිරස අහන්න ඒ ගැනත් දැනගන්න පුළුවන් වෙයි.

 අනුෂා රණසිංහ

Comments