සමහර අය නිර්මාණය කරන්නේ; සිනමාවට ආදරෙන් නොවෙයි | සිළුමිණ

සමහර අය නිර්මාණය කරන්නේ; සිනමාවට ආදරෙන් නොවෙයි

කෙටි චිත්‍රපට නිර්මාණ අධ්‍යක්ෂ ජෝ දිසානායක

ජෝදිසානායක කියන නම මේ වෙද්දී බොහෝ දෙනා අතරට ගිහින් තියෙන්නේ වෙනස්ම ආරක්ගත් කෙටි චිත්‍රපට නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් විදියට. තාරුණ්‍යයයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මේ ජෝ දිසානායක කියන්නේ කවුද? ඔහුගේ ඊළඟ නිර්මාණය මොකක් ද? ඒ වගේම ඔහුගේ ඉලක්කය මොකක් ද? මේ සියල්ල ගැන කතා කරන්න සිළුමිණ රසඳුන අපි ජෝ දිසානායකට කතා කළා.

නම - ජොඇශ් ඩිල්ෂාන් දිසානායක තිස්සආරච්චි. මගේ නම වැඩ වලට පහසු විදියට කෙටි කර ගන්නවා ජෝ දිසානායක කියලා.

උපන් ගම - කොළඹ 15 (මට්ටක්කුලිය)

පාසැල - ශාන්ත ජේම්ස් විද්‍යාලය කොළඹ 15 සහ නාවලපිටිය ශාන්ත මරියා විද්‍යාලය.

පවුලේ විස්තර - මගේ බිරිය නිශු හපුගොඩ. මට අවුරුදු එකහාමාරක දුවෙක් ඉන්නවා.

වෘත්තීය - අධ්‍යක්ෂවරයෙක්

කලාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

2002/2003/2004 වගේ කාලවලදී ලංකාවේ මියුසික් වීඩියෝස් එන්න ගත්තා. එතකොට ඒ දවස්වල සංගීතය පැත්තට නැඹුරු වුණා. මොකද මට ඕනේ වෙලා තිබ්බේ රැපර් කෙනෙක් වෙන්න. 2008 දී වගේ ඉසුරු කියලා යාළුවෙක් මට හම්බවුණා. එයත් එක්ක මම පොඩි හිපොප් බෑන්ඩ් එකක් හදා ගන්නවා. හැබැයි ඒක ඒ දවස්වලම එහෙම්මම නවතිනවා.

2013 දී මම උත්සාහ කරනවා මියුසික් වීඩියෝ වැඩක් කරන්න. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙලා ඒකත් අතරමඟ නවතිනවා. ඒක එළියට දැම්මේ නැහැ. අදටත් ඒක අල්මාරියේ පැත්තක තියෙනවා. ඔය අතරේදී චිත්‍රපට වලටත් නැඹුරුවක් තිබුණා. හොලිවුඩ්, කොලිවුඩ්, බොලිවුඩ් චිත්‍රපට ගැන එදා ඉඳන්ම නැඹුරුවක් තිබ්බා.

ඒවා එක්කම තමා ජිවත් වුණේ. නැවත 2016/2017 දී තමා මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කරන්න ලැබෙනවා. ගිහාන් ජීත්‍රී කියන මගේ සහෝදරයාගේ ප්‍රඩක්ෂන් එකට අහම්බෙන් මට සම්බන්ධ වෙන්න ලැබෙනවා. එහෙම පටන් ගත්ත වැඩ 2019/2020 වගේ කාලය දක්වා කරගෙන එනවා. 2018දී මට අදහසක් පහළවෙනවා ටීවී සීරියස් කරන්න ඕනේ වෙනවා. 2020 දී Ceyflix කියන ඇප් එකක වෙබ් සීරියස් එකක් කරන්න ලැබෙනවා. එතැනදී අසිත අයියාව මතක් කළ යුතුමයි. ඒකට මිනි සීරියස් කළා. ඒ අතර කරපු com කියන මිනිසීරියස් එක කතාබහට ලක් වුණා. ඔය විදියට තමා මම කලාවට එන්නේ.

මේ වෙද්දී ඔබේම ආරක් ගත් කෙටි චිත්‍රපට නිර්මාණය වෙනවා, එහි ආරම්භය මතක් කළොත්

වෙබ් සිරියස් කරන්න ඉන්නකොට 2021 ජූනි මාසයේ වගේ පොඩි ජාත්‍යන්තර පිළිගත් කෙනෙක්ට (මම නම කියන්නේ නැහැ) වුවමනාවක් එනවා යූ-ටියුබ් චැනල් එකක් කරලා කෙටි චිත්‍රපට කියන දේ එකේ ඇතුළෙන් වෘතාන්ත චිත්‍රපටයක් කරන්න අදහසක් එනවා; විකල්පයක් විදියට. ඒ අයට ඕනේ වුණේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් හදා ගන්න. ඒක තමා ප්‍රයිම් ඩිජි කියන්නේ. ඒ ආයතනය බලන්නේ ගොඩක් කොලිටි ඔර්ජිනල් නිර්මාණවලින් හොඳ ප්‍රේක්ෂක පිරිසක් හදා ගන්න. ඒකට මට ආරාධනයක් ලැබෙනවා. ඒ වැඩේ මට කතා කරලා දෙන්නේ ක්ලිෆට් කියන මගේ යාළුවෙක්. ඊට පස්සේ මම මුලින්ම කරනවා "මූමන්ට්" කියලා කෙටි චිත්‍රපටයක්. එකේ රඟපාන්නේ උමාලි තිලකරත්න සහ ධනුෂ්ක ඩයස්. ඒක ලියන්නේ හෙසඳ අසේල කියලා මල්ලි කෙනෙක්. පළවෙනි වැඩේම පත්තු වෙලා වයිරල් වෙන්න ගන්නවා. ඊට පස්සේ "එක්සිට් බෑග්" එකේ රංගනයෙන් දායක වුණා සමනලී ෆොන්සේකා සහ රන්දික ගුණතිලක. ඒ අයගේ අරමුණ මාසෙකට දෙකක් කෙටි චිත්‍රපට කරන්න. ඒ නිර්මාණ මේ වෙද්දී කරගෙන යනවා. අන්තිමට කළා "නයිට්" එහි සාරංග දිසාසේකර ඉන්නේ. ප්‍රයිම්ඩිජි හි අරමුණ කෙටි චිත්‍රපට වලින් පසුව වෘතාන්ත චිත්‍රපටයක් කිරීම සහ වෙබ් සීරියස් එකක් කිරීම. ඒ වගේම මේ සියල්ලෙන් ප්‍රේක්ෂක ඇසට රසවත් හරවත් දෙයක් ලබා දීමෙන් නව ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කිරීම.

සම්මාන උළෙලවල් සඳහා ඉදිරිපත් කරන්නේ නැද්ද?

මේ වෙද්දී "එක්සිට් බෑග්" කෙටි චිත්‍රපටය සම්මාන උළෙලකට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු ඉදිරියට.

ඔබේම වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න අදහසක් නැද්ද?

වෙබ් සීරියස් කරන කාලෙම වෘතාන්ත චිත්‍රපටයක් කරන්න ඕනේ කියන ආසාව ඇති වුණා. අවස්ථා කිහිපයක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. ඒ ගැන මම නුදුරේදී දැනුම් දෙන්නම්. ඒක සිනමාශාලාවට ගොස් හෝ ඇප් එකක් තුළින් නැරඹිය හැකි වෘතාන්ත සිනමාපටයක් වෙන්න පුළුවන්.

ඉඟියක් දෙන්න බැරිද මොනවගේ නිර්මාණයක් ද කියලා

ලංකාවට ගැළපෙන වෙනස් ආරක සිනමා නිර්මාණයක් වෙයි.

වත්මන් සිනමාව දකින්නේ කොහොමද?

අලුත් විකල්ප ටිකක් හොයාගත්තොත් මේ සිනමාව ගොඩදාන්න පුළුවන්. මේ වෙද්දී සිනමාවට ආදරෙන් නෙවෙයි සමහර අය නිර්මාණය කරන්නේ. ඒ නිසා තමා ලාංකිකයන් සිංහල චිත්‍රපටවලින් ඈත්වෙලා තියෙන්නේ. මේ රටේ සිනමාවක් කියලා දෙයක් තිබිලා තියෙනවා.

නමුත් අද වෙද්දී වාණිජ සහ කලාත්මක කියලා කොටස් දෙකකට බෙදිලා එහි අරුතවත් නොදැන නිර්මාණ කරන්න පෙලඹිලා. ඒ නිසා තමා ලාංකේය සිනමා රසිකත්වය මලයාලම්, හින්දි සහ ඉංග්‍රීසි සිනමාවට නැඹුරු වෙලා තියෙන්නේ. මම දකින්නේ සිනමාවට රාජ්‍ය මැදිහත් වීමක් තිබිය යුතුමයි.

Comments