
ටිරෝනි වෑවලගේ
සිනමා නළු නිළියන් කිව්වම හැමෝම කැමතියි. එයාලගේ කඩවසම් බවට, රූමත් බවට වගේම රංගන දක්ෂතාවලටත් බොහෝ දෙනා වසඟ වෙනවා. රිදී තිරයේදී දකින සිනමා නළු නිළියන්ගේ සැබෑ ජීවිතත් සිනමාවේදී වගේම කියලා බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ. ඒත් ඇත්ත නම් සැබෑ ජීවිතයේදි ඔවුන් සාමාන්‍ය මිනිසුන් වීමයි. ඒත් ඔවුන් ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ඉතාමත් ආයාසයෙන් නඩත්තු කරන ප්‍රතිරූපයක් තියෙනවා. ඒ ප්‍රතිරූපය නිසාම බොහෝ නළු නිළියන් ගෙවන්නේ අසීරු ජීවිත.
ඔවුන්ට ආසා දෙයක් හිතෙන වෙලාවක කන්න බැහැ. ඒ මුදල් නැතිකම නිසා නෙමෙයි. තමන්ගේ ශරීරයේ බාහිර පෙනුම රැකගත යුතු නිසා. කැමති තැනකට කැමති වෙලාවක යන්න බැහැ. ප්‍රේක්ෂක ජනතාවගේ දැවැන්ත ප්‍රතිචාර නිසාම ඔවුන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බොහෝ සීමාකම්වලට නතු වෙමින්. ඒ වගේම තමයි ඔවුන්ගේ රෝගී තත්ත්ව. අප රිදී තිරයේදී දකින සුන්තර නළු නිළියන් අතරින් වැඩි දෙනෙක් දරුණු රෝගාබාධවලින් පෙළෙනවා. බොහෝ දෙනා දීර්ඝකාලීනව ඖෂධ භාවිත කරනවා. ඒත් ඔවුන් තමන්ගේ රෝගාබාධ බොහෝ රහසිගතව තබාගන්නේ එමඟින් තමන්ගේ ප්‍රතිරූපයට හානිවෙන නිසයි. ඒ වගේම වෘත්තිය ජීවිතයටත් අවැඩක් වන්නට පුළුවන් නිසාම බොහෝ සිනමා තරු තමන්ගේ රෝගී තත්ත්වයන් සඟවා ගන්නවා.
ඒත් ස්ටාර්ට් වෙබ් අඩවිය පසුගියදා අතිශයින් ජනප්‍රිය හොලිවුඩ් සිනමා තරු දීර්ඝකාලීනව පීඩා විඳින රෝගී තත්ත්වයන් සම්බන්ධව ලිපියක් පළ කරමින් රහසිගත තොරතුරු රැසක් හෙළිදරව් කර සිටියා.
ඒ මාධ්‍ය වාර්තාවට අනුව ජනප්‍රිය නළු ජෝර්ජ් ක්ලූනි හිස්කබල ආශ්‍රිතව දීර්ඝ කාලීනව පවතින ස්නායු ආබාධයකින් පෙළෙනවා. ඔහුට මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ සිනමා පටයක් රූගත කිරීමේදී සිදුවූ හදිසි අනතුරක් නිසා. එම හදිසි අනතුරේදී ජෝර්ජ් ක්ලූනිගේ හිස්කබල පැළී විවෘත වී තිබුණා. ඒ සඳහා ප්‍රතිකාර කළත් එතැන් සිට මේ දක්වා ඔහු දැඩි ස්නායු ආබාධයකින් පීඩා විඳින බව තමයි කියවෙන්නේ.
නික්ජොනාස් කියන්නේ ලොව පුරා තරුණියන්ගේ සිහින කුමරා. ඔහුගේ කඩවසම් පෙනුම තමයි ඒකට හේතුව. ඒ විතරක් නෙමෙයි ඔහුගේ ආකර්ෂණීය රංගනයත් ඒ අතරට එක් වෙනවා. ඒත් ඔහුට ඇලුම් කරන බොහෝ තරුණියන් නොදන්න කරුණක් තමයි නික් ජොනාස් පළමුවැනි මට්ටමේ දියවැඩියා රෝගියකු බව. කනගාටුයි නේද?
ඩේවිඩ් බෙකම් කියන්නේ සිනමා නළුවෙක් නොවෙයි. ඒත් සිනමා නළුවෙකුටත් වඩා ජනප්‍රිය අතිශයින් ආකර්ෂණීය චරිතයක්. ඔහු කලක් එංගලන්ත පාපන්දු කණ්ඩායමේ නායකත්වය හෙබවූවා. පාපන්දු ක්‍රීඩාවෙන් ඉවත්වෙලා බොහෝ කලක් වුවත් අදත් ඩේවිඩ් බෙකම් තරුණියන් අතර අතිශයින් ජනප්‍රියයි. නමුත් ඔබ දන්නවාද ඩේවිඩ් බෙකම් මේ වන විට අධික ලෙස ඇදුම රෝගයෙන් පීඩා විඳින බව.
මයිකල් ෆෙලප්ස් කියන්නේ පිහිනුම් ක්‍රීඩාව සඳහා ලොව වැඩිම රන් පදක්කම් හිමි කර ගෙන සිටින ක්‍රීඩකයා. ඒත් ඔහු ළමාකාලයේදී ADHD (Attention Deficit Hyperactivity Disorder)නම් වන රෝගී තත්ත්වයෙන් පීඩා විඳ තිබෙනවා. ඔහුට කිසිවක් කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාවක් තිබී නැහැ. ඔහු කිසිදු සාර්ථකත්වයක් ලබා නොගනු ඇති බවට මත පළවී තිබුණා. නමුත් ඔහු මේ රෝගී තත්ත්වය ජයගන්න සමත් වූයේ ක්‍රීඩාවට පින් සිද්ධ වෙන්න.
සෙලීනා ගෝමස් කියන්නේ නව පරපුරේ සිහින තරුවක්. අතිශයින් රූමත් මේ රංගන ශිල්පිනිය වකුගඩුවල දුර්වලතාවයකින් පෙළෙන බවට තොරතුරු තිබෙනවා. ඇය ඒ හේතුවෙන්ම සම මත ඇතිවන ලප හේතුවෙන්ද පීඩා විඳින බවයි පැවසෙන්නේ. නිළියක් වශයෙන් ඒ රෝගී තත්ත්වය ඇයට දරුණු අපහසුතා ඇති කරවන බවට නම් සැකයක් නැහැ.
කිම් කඩෑෂියන් කියන්නේ මේ මොහොතේ ලොව ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ පසුවන තරුවක්. ඇය පීඩා විඳින්නේ සම මතුපිට ඇතිවන රත්පැහැ ලප ඇති කරවන රෝගී තත්ත්වයක් හේතුවෙන්. මාධ්‍ය වාර්තා කර තිබුණේ කිම් කිසිම විටෙක මේ රෝගී තත්ත්වය රහසක් ලෙස තබා නොගත් බවයි. ඒ වගේම ඇයගේ මවත් මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බවත් පැවසෙනවා.
ටොම් හෑන්ක්ස් කිව්වම මුළු ලොවම ආදරෙයි. ඔහුගේ රංගනය ඒ තරම්ම විශිෂ්ටයි. ඒත් ඔහු දෙවැනි මට්ටමේ දියවැඩියා රෝගියෙක්. එය නම් ඇත්තටම දුකට කරුණක්.