මට ඕන වුණේ මේ ප්‍රසංගයෙන් දරුවන්ට වේදිකාවක් හදන්න | Page 2 | සිළුමිණ

මට ඕන වුණේ මේ ප්‍රසංගයෙන් දරුවන්ට වේදිකාවක් හදන්න

අපිට අපේ පුංචි කාලේ දක්ෂතා පෙන්නුම් කරන්න හොඳ වේදිකාවක් තිබුණේ නැහැ

කොවිඩ්වලට යටවෙලා හැමදේම නවත්තන්න බැහැ

ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරා සිංහවංශ

අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරළමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළිදැක්වූ One Mic ප්‍රසංගයේ දෙවන අදියර 'One Mic - phase 2' නමින් පසුගිය 22වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හිදී සාර්ථකව පැවැත්වූවා. ඒ නිසාම මේ සොඳුරු කතාබහ උමාරා සිංහවංශ සමඟ.

'One Mic - phase 2' බොහෝ අභියෝග මැද සාර්ථකව නිමා වුණා.

ඇත්තෙන්ම. මේ පවතින කොවිඩ් වසංගත තත්වය තමයි අපිට තිබ්බ ලොකුම අභියෝගය. නමුත් කොවිඩ් - 19 වසංගතය නිසා අපි කිසි දෙයක් නොකළ යුතුද කියන ප්‍රශ්නය මට තිබුණා. මොකද මේ තිබෙන තත්ත්වයට අපි හැඩගැහෙන්න ඕන. අපි සියලුදෙනාම පවතින නීති-රීතිවලට අවනත වෙමින් අපේ ප්‍රසංගය පැවැත්වුවා.

මෙය ඔබේ සංගීත පාසලේ ප්‍රසංගයක්

ඔව්. මගේ සංගීත කටහඬ පුහුණු කිරීමේ පාසල පැලවත්තේ පිහිටලා තියෙන්නෙ Umara music studio නමින්. මගේම පාසලෙන් ඉගෙනුම ලැබූ තුන්දහසකට අධික දරුවන් සංඛ්‍යාවකින් එක්දහස් හත්සීයක දරුවන් පිරිසක් තෝරාගෙන ඔවුන්ගේ විභාග කිහිපයක් පවත්වා ඒ අයගෙන් හොඳින් ලකුණු ගත් දරුවන් මෙන්ම දක්ෂතා ඇති දරුවන් විසිදෙනෙක් තෝරාගෙන මෙවර One Mic - phase 2' ප්‍රසංගය පැවැත්වුණේ. අපිට අපි පුංචි කාලේ අපේ දක්ෂතා පෙන්නුම් කරන්න හොඳ වේදිකාවක් තිබුණේ නැහැ. නමුත් අපිට නොලැබුණු ඒ අවස්ථා මේ දරුවන්ට ලබා දෙමින් ඔවුන්ගේ දක්ෂතා වේදිකාවට ගෙන එන්න මට ඕනෑ වුණා. ඒ නිසා තමා ගිය වසරේ මෙවැනි ප්‍රසංගයක් ආරම්භ කළේ. තව මගේ පාසලේ ව්‍යාපෘති කිහිපයක්ම තිබෙනවා. ඉදිරියටත් මේ දරුවන්ගේ හැකියාවන් සමාජගත කරන්න වේදිකාවන් නිර්මාණය කරන්න මම සැලසුම් කරගෙන යනවා.

ඔබ මේ ප්‍රසංගයට ඔබ තවත් ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් එකතු කරගත්තා...

ඔව්. භාතිය සන්තුෂ්, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි ගුණතිලක, චිත්‍රාල් සෝමපාල, වින්ඩි ගුණතිලක, සනුක වික්‍රමසිංහ, මිහිඳු ආරියරත්න, රිද්ම, ෆැලන්ඩ් ඇන්ඩ්‍රියා, රන්දීර්, කාංචනා අනුරාධි, ලහිරු පෙරේරා සහ ඉන්ෆිනිටි සංගීත කණ්ඩායමත් මේ ප්‍රසංගයට මා සමඟ එකතු වුණා. ඒ වගේම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කිහිප දෙනෙක්ම මේ වෙද්දි විවිධ නාළිකාවල තිබුණු සංගීත තරගවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ දරුවනුත් මේ ප්‍රසංගයට සම්බන්ධ වුණා.

පෙබරවාරි 22 කියන්නේ උමාරටත් විශේෂ දවසක් වුණා නේද?

අනිවාර්යෙන්ම. මගේ පෞද්ගලික වෙබ් අඩවිය සහ Umara Music Studio පාසලේ වෙබ් අඩවිය එළිදැක්වීම සහ මගේ අලුත්ම ගීතය සහ එහි වීඩියෝව එළිදැක්වීම සිදු වුණා.

අපි අලුත් ගීතය ගැන කතා කළොත්

රෑ තාරුකා මගේ අලුත්ම ගීතය. මේ ගීතයේ අපි සතුට ගැන කතා කරනවා. ජීවිතේ මොන ප්‍රශ්න ආවත් සතුටින්, ඒ එන ප්‍රශ්නවලට කෙසේ හෝ මුහුණදීලා ඉදිරියට යන්න කියලයි මේ ගීතයෙන් කියන්නේ.

රූප රචනාව ගැන කතා කරන්නම වෙනවා,

අභියෝගාත්මක වීඩියෝවක්, කොහොමද ඒ අත්දැකීම

අනිවාර්යෙන්ම ජීවිතේට වෙනස්ම අත්දැකීමක් එකතු වුණු වීඩියෝවක්. දවස් හතක් විතර අපි රූගත කළා. වැඩිපුරම රූගත කරන්න තිබුණේ මුහුදේ. මට නම් වැඩිය පීනන්නත් බැහැ. හැබැයි මුහුදේ යට සහ පිහිනුම් තටාකයක් යට ඉඳන් තමයි මම ගීතය ගායනා කළේ. එය ඉතාම අමාරු වීඩියෝවක්. මම හිතන විදිහට ලංකාවේ ප්‍රථම වතාවට ගායිකාවක් කරපු අභියෝගාත්මක වීඩියෝවක්. ලොකු අවදානමක් අරන් කරපු වැඩක්. ඒ දවස් ටිකේ කාලගුණ තත්ත්වය වුණේත් වැසි තත්වයක්. මහ වැස්සෙත් අපි රූගත කිරීම් කළා. මට ඕනේ වුණේ ලංකාවේ තියෙන සුන්දරත්වය ඉස්මතු කරලා පෙන්නන්න. ඒක අපි කළා. ඒ නිසා මගේ ජීවිතේ මේක විශේෂ ගීතයක් වගේම විශේෂ වීඩියෝවක් කියලා කියන්න පුළුවන්.

උමාරියා එක්ක එකතුවෙලා අලුත් දෙයක් කරන්න අදහසක් නැද්ද?

මම නංගි එක්ක ගොඩාක් ව්‍යාපෘති කරලා තිබෙනවා. මගේ ‘වස්සානේට’ ඇල්බම් එකේ ‘තමරු පිරී සැන්දෑව’ කියන ගීතයත්, මගේම Original English සින්දුවක් වන 'Don't talk about love' කියන ගීතයත් නංගි එක්ක ගායනා කළේ. ආයෙත් අලුත් නිර්මාණයක් කරන්න ඕනෙ. නංගි කියන්නේ මටත් වඩා කාර්යබහුල කෙනෙක්. ඒ වගේම ඇය ඉන්දියානු සංගීත ලේබලයකට අත්සන් කරලා තියෙනවා. නංගි අද ඉන්න තැන ගැන මට ගොඩක් ආඩම්බරයි.

මේ සියල්ල සාර්ථක කර ගන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මට මගේ සංගීත ගමන යන්න මගේ දෙමව්පියෝ, අයියලා දෙන්නා, නංගි ලොකු සහයෝගයක් දුන්නා. ඒ අයගේ සහයෝගය නැත්නම් අද මම මෙතන නැහැ. ඒ වගේම මගේ ආදරණීය සැමියා සහ මගේ පුතාවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. මගේ සැමියා හැම මොහොතකම කියන්නේ ඔයාට මේක කරන්න පුළුවන් කියලා. ඒ ධෛර්යවත් කිරීම තමා අද මගේ ලොකුම හයිය. මගේ සැමියා සහ පුතා ඉන්නේ හොංකොංවල. අවුරුදු දෙකකින් මට ඔවුන්ව දකින්න ලැබුණේ නැහැ.

උමාරාගේ ඉදිරි වැඩකටයුතු මොනවද?

මගේ ගීත කිහිපයක්ම එළිදක්වන්න ලෑස්තියි. ඒවායේ වීඩියෝ ටිකත් මේ දවස්වල කරගෙන යනවා. විශේෂයෙන්ම විදේශ සංචාර කිහිපයක්ම තිබෙනවා. තව ඉතින් මගේ ආදරණීය පුතා හා සැමියා ළඟ මාස කිහිපයක්ම ගත කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Comments