මගේ ප්‍රේක්ෂකයෝ ළඟට එන්න මම අවුරුදු 12ක් බලන් හිටියා | සිළුමිණ

මගේ ප්‍රේක්ෂකයෝ ළඟට එන්න මම අවුරුදු 12ක් බලන් හිටියා

ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර

‘Flying Fish’ එහෙමත් නැත්නම් ඉඟිළෙන මාළුවෝ කියන්නෙම සංජීව පුෂ්පකුමාරගේ සිනමා ආගමනය සනිටුහන් කරන කුලුඳුල් සිනමාපටය. මෙය කුරිරි යුද්ධය පිටුපස කතා බහට නොගෙන මගහැඅරුණ සියුම් තැන් ඉතා සංවේදීව සහ මානුෂීය ඇසින් දිග හැරුණ ආත්මීය ප්‍රකාශනයක් විදියට හඳුන්වා හැකියි. කෙසේ වෙතත් මේ ‘Flying Fish’ එහෙමත් නැත්නම් ඉඟිළෙන මාළුවෝ මෙරට තිරයට ගෙන එන්නට වසර 12ක් ගතවුණා. පැවති වාරණ බාධක සියල්ල ජයගත් ‘Flying Fish’ හි විශේෂ දැක්මක් පසුගියදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී පැවැත්වුණා.

අධ්‍යක්ෂවරයා විදියට අවුරුදු ගණනාවක් බලන් හිටිය දවසක් උදා වුණේ පසුගියදා, කොහොමද ඒ දවස දැනුණේ හැඟුණේ

මට අන්තර්ජාතික සිනමා උළෙලවල්වල සම්මාන ලැබිලා තියෙනවා. උදාහරණයක් විදියට ලෝකානෝ වගේ සිනමා උළෙලක ප්‍රේක්ෂකයන් 7000කට වඩා චිත්‍රපටය නරඹන්න එකතු වෙනවා එළිමහන් දර්ශනයකදී. මගේ ජිවිතේ ඒ ප්‍රේක්ෂකයින් 7000ක් ඉස්සරහත් මම වේදිකාවට නැඟලා සම්මාන අරන් තියෙනවා. ඒ හැම සම්මානයක්ම සතුටක් තමයි. නමුත් ‘Flying Fish’ එහෙමත් නැත්නම් ඉඟිළෙන මාළුවෝ ලංකාවේ ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න ලැබීම සහ චිත්‍රපටය පෙන්වපු දවස තරම් සතුටක් සිනමාකරුවෙක් විදියට මගේ ජිවිතේ මම ලබලා නැහැ. ඒකට හේතුව තමයි මම කාලයක් තිස්සේ බලන් හිටිය අත්දැකීමක්. මගේ පළවෙනි චිත්‍රපටය. මේ චිත්‍රපටයට ගොඩක් බාධක තහනම් කිරීම් අපහාස කිරීම් 12 කට පස්සේ මට පුළුවන් වුණා චිත්‍රපටය පෙන්වන්න. මෙතැනදී දැනුණු වඩාත්ම සතුට තමා ඕනෙම සිනමාකරුවකුට තමන් හැදුණු වැඩුණු තමන් දන්න ප්‍රේක්ෂක සමුහයක් ඉදිරියේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළාම ලැබෙන ආශ්වාදය වැඩියි. තමන්ගේ භාෂාවෙන් ඇවිත් කෙනෙක් චිත්‍රපටය ගැන කියන කැමැත්ත අකමැත්ත තුළ තියෙනවා විශාල ආස්වාදයක්. මම ඒ ආශ්වාදය ලබා ගන්න අවුරුදු 12ක්ම බලන් හිටියා. එය අවසානයේ ලබා ගන්න පුළුවන් වීම ගැන සතුටු වෙනවා.

සිනමාවේම දැවැන්තයන්, සහෘදයන්, මාධ්‍යවේදීන් හැමෝම මේ විශේෂ දැක්ම එක්ක එකතු වෙලා හිටියා, ඒ අයගෙන් ලැබුණු ප්‍රතිචාර විවිධ ඇති, මොකද හිතුණේ ලැබුණු ප්‍රතිචාර ගැන

ඒ දවස ගත්තම කොළඹ ඒ අවස්ථාවේදී චිත්‍රපට 2ක් එයට සමාන්තරව පෙන්නුවා. ඒ තියෙද්දිත්, අවුරුදු 12කට පස්සෙත් සිනමාශාලාව සම්පුර්ණයෙන්ම පිරුණා. එතකොට අනිත් එක තමයි 2013 විතර මේ චිත්‍රපටයේ රෆ් කට් එක කිසියම් පිරිසක් විසින් යූ-ටියුබ් මාධ්‍යයට මුදාහැරලා තිබුණා. ඒ එක්කම DVD කොපියක් එළියේ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ඔර්ජිනල් ෆිල්ම් එක. මේක තමා ඔර්ජිනල් ෆිල්ම් එක ඒ නිසා තමා පෙන්වන්න පුළුවන් වුණේ. එහෙම තියෙද්දිත් විශාල පිරිසක් මේ චිත්‍රපටය බලන්න එනවා කියන එක තුළින් පිළිබිඹු වෙන්නේ මේ චිත්‍රපටය පිළිබඳ සමාජය තුළ කැමැත්තක් තියෙනවා කියන එක. ඒ නිසාම විශාල පිරිසක් එදා ආවා. එතන හිටිය පිරිසෙන් අතිශය බහුතරය මේ චිත්‍රපටයට කැමතියි. ඒ අය සමාජ මාධ්‍යය තුළ අදහස් පළ කරමින් ඉන්නවා. සමහර අය මට කතා කරලා චිත්‍රපටය ගැන කියන අය ඉන්නවා. ඒ අතරේ චිත්‍රපටයට අකමැති පිරිසකුත් ඉන්නවා. එයට විවිධ හේතු තියෙන්න පුළුවන්. ඒ තුළ තියෙන සන්දර්භය නිසා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට මෙහි තියෙන ඇතැම් ලිංගික දර්ශන නිසා අකමැති වෙන්න පුළුවන්. සමහර අයට මෙහි තියෙන ෆිල්ම් භාෂාමය ස්වභාවය නිසා අකැමති වෙන්න පුළුවන්. ඒ ගැන මම සංවේදියි. හැබැයි මම වඩා කැමතියි මේ චිත්‍රපටය බලන්න දක්වපු කැමැත්තට සහ නැඹුරුවට. එයට මම ගරු කරනවා. ඒ නිසා රෆ් කට් එක බලපු අයට පවා ඔර්ජිනල් සිනමාපටය නැරඹීමෙන් වෙනස් වූ නැවුම් වූ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියන සහතිකය මම දෙනවා.

දැන් නැවත ‘Flying Fish’ එහෙමත් නැත්නම් ඉඟිළෙන මාළුවෝ ගැන කතාබහක් ඇතිවෙලා තියෙන නිසා සිනමා රසිකත්වයට කියන්න දෙයක් ඇති..

මම කියන්නේ අවුරුදු 12ක් හිටියා වගේ තව ඉතාම කෙටි කාලයක් ඉන්න. මම හිතන්නේ අප්‍රේල් වෙද්දී මහජන ප්‍රදර්ශනයට තිරගත කරන්න ඉඩ ලැබෙයි. ඊඒපී සමාගම ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. 4.15 සහ 9.30 වගේ දර්ශන කිහිපයක් ඉතාම කෙටි කාලයකට ප්‍රදර්ශනය කරන්න අපි සුදානමින් ඉන්නවා. දැකපු නැති කතාවක්. හොඳ ශබ්ද සහ වර්ණ සමඟ. මේ චිත්‍රපටය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම තියෙනවා. ඒ නිසා සිංහල බස හඬ නැඟෙන තැන්වලදී දෙමළ බසින් සහ දෙමළ බස හඬනැඟෙන තැන්වලදී සිංහල බසින් උපසිරැසි යොදලා තියෙනවා. ඊට අමතරව මුළු චිත්‍රපටයම ඉංග්‍රීසි බසින් උපසිරැසි ගන්වලා ප්‍රදර්ශනය සඳහා සුදානම් කරලා තියෙනවා. ඒ නිසා කලින් රෆ් කට් එක තුළින් සමාජගත නොවුණු සිනමාත්මක කතාවක් මේ චිත්‍රපටය නැරඹීමෙන් සමාජගත වනවා කියන විශ්වාසය මට තියෙනවා.

ඒ එක්කම මේ චිත්‍රපටයේ රඟපෑ නළු නිළියන් වන සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, කෞශල්‍යා ප්‍රනාන්දු, වසන්ති රංවල, සංජීව දිසානායක, සුමති සිවමෝහන්, සිත්ති මාරියම්, මයුර කාංචන මේ අයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නත් මෙය මම අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා කළ විශිෂ්ට රංගනයට සහ කැපකිරීමට නිසි ගෞරවයක් ලැබුණේ නැහැ. පුළුවන් ඉක්මණින් මේ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්න ප්‍රධාන හේතුවත් ඒ අය නළු නිළියන් විදියට කළ විශාල කැපකිරීමට නිසි ගෞරවයක් ගෙනදෙන එක. ඒ නිසා මම ආරාධනා කරනවා. සියලුම සිනමා ප්‍රේක්ෂකයන්ට මේ චිත්‍රපටය තිරගත වෙද්දී බලන්න කියලා. මේ චිත්‍රපටය බලන්න පුළුවන් සිනමාශාලාවේදී විතරමයි. දැනට එළියේ තියෙන DVD එක ඔර්ජිනල් එකක් නෙවෙයි. සිනමාවටම තමා මේ චිත්‍රපටය කරලා තියෙන්නේ.

Comments