මනුෂ්‍යයාගේ සිතිවිලි පවිත්‍ර කොට අධ්‍යාත්මික ගුණය දියුණු කිරීමට බෞද්ධ දර්ශනයෙන් ලැබෙන පිටිවහල ඉතාම ඉහළ ය. මනුෂ්‍යයා තුළ යහපත් සිතුවිලි ඇති කරමින්, බෞද්ධ වත්පිළිවෙත් වලට අනුකූළව ජීවිතය හැඩගස්වා ගැනීමට භික්ෂුවගෙන් ලැබෙන අනුශාසනාද ඉතාම වැදගත් වේ. එවැනි භාරදූර කර්තව්‍යක් සිදු කරන සීලවත්ත භික්ෂුවකගේ ස්වරූපයේ චරිතයක් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන ගිහියකුට නිරූපණය කිරීමට අවස්ථාවක් ලදහොත්, එය කෙතරම් බැරෑරුම් විය හැකි ද? යම් අභියෝගයක් සහිත එවැනි භික්ෂු චරිත වලට මැනවින් පණ පෙවූ රංගන ශීල්පීන් අතළොස්සක් මෙරට කලා නිර්මාණ වලින් අපට හමු වෙති. ඒ අතර තිස්ස බණ්ඩාරනායකට ද හිමි වන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. දැනටමත් මෙරට ටෙලි - සිනමා ඉතිහාසයේ වැඩිම වාර ගණන් භික්ෂු චරිත රඟපෑ රංගන ශිල්පීයා වන්නේ තිස්ස බණ්ඩරනායක ය.
භික්ෂුවගේ චරිතය නරඹන්නන්ගේ හදවතට තදින්ම කාවදින ලෙස නිරූපණය කිරීමට සමත්කම් පෑ ඔහු, මනා කැපවීමෙන් ස්වකීය රංගන කාර්යයේ නියුක්ත වූ කලාකරුවකු වේ. එලෙසින්ම තම නිර්මාණ තුළ තිස්ස බණ්ඩාරනායකට සුදුසු වෙනත් චරිත තිබුණ ද, බොහෝ නිර්මාණකරුවන් ඔහු වෙත ලබා දෙන්නේ භික්ෂු චරිතය නිරූපණය කිරීමට සඳහා ය. ඒ ඔහු ඒ චරිතය මනා අවබෝධයකින් සිදු කරන බැවිනි. එපමණක් නොව මෙරට බොහෝ ප්‍රේක්ෂකයන් තිස්ස බණ්ඩාරනායකගේ ඒ චරිත නිරූපණය වැලඳගෙන ඇති බවක් ද පෙනී යයි. දීර්ඝ කාලයක් සෑම පෝය දිනකම විකාශය වන “සංසාරේ පිය සටහන්” මෙන්ම “සිත නිවන කකා” ඒකාංගික ටෙලිනාට්‍ය වලට ඔහුව නැතුවම බැරි වූ රංගන ශීල්පියකු බවට පත් වී ඇත්තේත් ඒ නිසා ය.
වර්ෂ 1957 මාර්තු මස 08 වැනි දින කිරිබත්ගොඩ දී උපත ලද තිස්ස බණ්ඩාරනායක පාසල් අවදියේ සිටම වඩාත් ඇල්මක් දැක්වූයේ කලා කටයුතුවල නිරත වීමට ය. ඔහු මුල් වරට ප්‍රසිද්ධ වේදිකාවට පැමිණෙන්නේ, වර්ෂ 1984 දී ය. ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ නාට්‍ය නිර්මාණයක් වූ “ඒකාධිපති” වේදිකා නාට්‍යයෙනි. පසුව ඔහු “මකර රාක්ෂයා”, “ධවල භීෂණ” ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකම රංගනයේ නියුතු වෙමින් තම ප්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගනු ලැබී ය. තිස්ස බණ්ඩාරනායකයන් සිනමාපටයක මුල්වරට පෙනී සිටින්නේ, ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ බව දුක, නිර්මාණයට දායක වෙමිනි. පසුව “වෑකන්ද වලව්ව”, “නිල් දිය යහන”, “ඉගිළෙන මාළුවන්” මෙන්ම “දැවෙන විහඟුන්” ඇතුළු සිනමාපට ගණනාවකම තම හැකියා ප්‍රකට කිරීමට සමත් වී තිබේ. තිස්ස බණ්ඩාරනායක රූපවාහිනී මාධ්‍ය තුළින් මුලින් ම ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන්නේ, “කාහල නාදය” ටෙලිනාට්‍යයෙනි. පසුව “තක්සලාව”, “අළු බඳුන”,“ගිරිකුල”, “මහතලා හටන”, “යුග විලක්කුව” වැනි ටෙලි නිර්මාණ ගණනාවකටම ඔහු තම රංගන හැකියාවෙන් ප්‍රේක්ෂකයන්ට සමීප වී තිබේ.
තිස්ස බණ්ඩාරනායකගේ කලා දිවියෙහි තවත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන්නේ වර්ෂ 2012 දී “තක්සලාව” ටෙලි නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය, සුමති සහ රයිගම් යන ටෙලි සම්මාන උළෙලවල් ත්‍රිත්වයෙන්ම හොඳම සහාය නළුවා වෙනුවෙන් පිරිනමන සම්මාන හිමි කර ගැනීමට සමත් වී තිබීම ය. ඒ අයුරින් සම්මානනීය රංගන ශිල්පියකු ලෙස දීර්ඝ කාලයක් කලා ලෝකයට සේවයක් කළ තිස්ස බණ්ඩාරනායක තම බිරියට ආදරණීය සැමියකු සේම, තම අාදරණීය දියණියන් දෙදෙනාට දයාබර පියකු විලසින් සොඳුරු ජීවිතයක් ගත කර තිබුණි. ඔහුගේ 63 වන ජන්ම දිනය සමරන අවස්ථාව වන විටත්, ඔහු දැඩි ලෙස රෝගාතුර වී නිවසෙහි ගිලන්ව සිටීමට සිදුවීම ඔහුට පමණක් නොව ඔහුගේ රසික රසිකාවන්ට ද මහත් පාඩුවක් විය. එමෙන්ම වයස අවුරුදු 65 ත් තරම් කෙටි කාලයක් තුළදී, දිවි ගමනය සමුදීමට සිදු වූවත්, කලාලොවට ඔහු වැඩි වශයෙන් දායාද කළ චරිත ඔහුත් සමඟ තවත් දීර්ඝ කාලයක් මතකයේ රැඳෙනු ඇත.