තරුණකම රැකගන්න මේ දේවල් ගැනත් සිතන්න | Page 2 | සිළුමිණ

තරුණකම රැකගන්න මේ දේවල් ගැනත් සිතන්න

  • සීනි බහුල ආහාර ගැනීමත්; දුම්පානය හා වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීමත් නිසා කොලජන් විනාශ වේ
  • ඔබ කෙතරම් වයසට ගියත් ඔබේ තරුණ පෙනුම රැකගන්න කොලජන්වලට පුළුවන්
  • නිවිති, බීට්රූට්, මිරිස්, කැරට් සහ බතල වැනි එළවළු ආහාරයට ගැනීමෙන් කොලජන් ශරීරයට එක්කර ගන්නත් පුළුවන්

නිරන්තරයෙන් තරුණ පෙනුම ආරක්ෂා කරගෙන ලස්සනට ඉන්න අපි හැමෝම කැමතියි. ඒ වෙනුවෙන් විවිධ දෑ කරන්න අපි පෙලඹෙනවා. හැමදාම තරුණ පෙනුම රැකගන්නට නම් බාහිර පෙනුම ගැන පමණක් නොව ශරීරයේ අභ්‍යන්තරය ගැනත් සැලකිලිමත් වීම වැදගත්. ඔබේ ශරීරයේ තරුණ පෙනුම රැක ගැනීමට කොලජන් දායක වන බව ඔබ දන්නවද? කොලජන් යනු අපේ ශරීරයේ ඇති ප්‍රෝටීන් වර්ගයකි. අද අපි සිළුමිණ රසඳුන රූ රහස් තුළින් කතා කරන්නෙ ශරීරයට අත්‍යවශ්‍ය වන කොලජන් පිළිබඳවයි. මේ ගැන ඔබව දැනුම්වත් කරන්නේ සිංගප්පූරුව මාලදිවයින නෙදර්ලන්තය වගේම ශ්‍රී ලංකාවේ ද රූපලාවණ්‍යය පිළිබඳව පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනී අරෝෂි කෞෂල්‍යා හේරත් ය.

කොලජන් නම් වන ප්‍රෝටීන් වර්ගය අපි හැමෝගෙම ශරීරයේ අඩු වැඩි වශයෙන් තිබෙනවා. ඒ මඟින් අපේ ශරීරයේ මස්පිඬු සහ ඇටකටුවල වර්ධනයට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. එමෙන් ම සමේ ඇදෙනසුලු ස්වභාවය සඳහා ද කොලජන් වැදගත්. අපගේ ශරීරයේ අවයව හැසිරවීමට ගම් එකක් ලෙස මෙය ක්‍රියා කරනවා. සැබැවින්ම ශරීරයේ අවයව එකට බැඳී තිබෙන්නේ මේ කොලජන් නිසයි. කොලජන් යනු ග්‍රීක වචනයක් වන අතර එහි අර්ථය 'ග්ලූ' යන්නයි. මෙහි සිංහල තේරුම 'ගම්' යන්නයි. එසේම කොලජන් යන වචනයෙන් ගම් නිෂ්පාදනය යන්නත් අදහස් වෙනවා.

අපේ ශරීරයේ කොලජන් වර්ග විසි අටක් තිබෙනවා. එයින් පහක් බහුලව පවතින විශේෂිත වර්ග ලෙස හඳුන්වන්න පුළුවන්. පළමු වර්ගය වන ටයිප් 1 අපේ ශරීරයේ 90%ක් පවතිනවා. මෙය ඉතාමත් ශක්තිමත් කොලජන් වර්ගය වන අතර ශරීරයේ අස්ථි සහ සමේ ඇදෙනසුලු බවට හේතු වෙනවා. ටයිප් 2 මඟින් ශරීරයේ සන්ධි වේදනාව හා ආතරයිටිස් පාලනය කරනවා. ටයිප් 3 සහ 4 කොලජන් ඛාණ්ඩ ශරීරයේ අභ්‍යන්තර අවයව සඳහා ප්‍රයෝජනවත් වෙනවා.

අපි දැන් රූපලාවණ්‍යය සඳහා කොලජන් වැදගත් වෙන්නෙ කොහොමද කියල විමසා බලමු. ශරීරයේ සුන්දරත්වය ගැන අවධානය යොමු කරන විට මුහුණේ පැහැපත් බව පමණක් නොව නිරෝගී හිසකෙස්, නීරෝගී සම, ශක්තිමත් නියපොතු හා දත් යන අංශයන් ද එක සේ වැදගත්. මේ සියලු අංග නීරෝගීව තිබෙනවා නම් ඔබ සැබැවින්ම ලස්සන තරුණියක් යැයි කිව හැකියි. මේ සියලුම දෑ කොලජන් මඟින් ලබාගන්න පුළුවන් කියල ඔබ දැනගෙන හිටියද?ඔබ කෙතරම් වයසට ගියත් ඔබේ තරුණ පෙනුම රැකගන්න කොලජන්වලට පුළුවන්.

අපේ ඇතැම් වැරදි පුරුදු නිසා කොලජන් ඉක්මනින් විනාශ වෙනවා. සීනි බහුල ආහාර ගැනීම දුම්පානය වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම ඒ අතරින් ප්‍රධානයි. වැරදි පුරුදුවලින් වැළකී සිටියහොත් ශරීරයේ ඇති කොලජන් යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගත හැකියි.

එමෙන් ම වයස්ගතවීමත් සමඟ අපේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී යනවා. වයසට යෑමත් සමඟ කොලජන් අඩුවීමෙන් දකින්න ලැබෙන වෙනස්කම් ඔබටත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි. සම එල්ලා වැටීම, රැලි වැටීම, සමේ තෙතමනය අඩුවීම ආදිය ඒ අතරෙන් ප්‍රධානයි.කාන්තාවන්ට වයස අවුරුදු 30 - 35 පමණ වනවිට මෙම තත්ත්ව මතු විය හැකිය. එම නිසා හැමදාම සුන්දරව ඉන්න කැමති කාන්තාවන් ලෙස ඔබ ශරීරයේ ඇති කොලජන් ප්‍රමාණය වැඩිකර ගැනීමට උත්සාහ කළ යුතුයි.

ඔබේ ශරීරයේ කොලජන් ප්‍රමාණය වැඩි කිරීමට ඔබ ගන්නා අහාර වලට හැකියි. කොලජන් ලබා ගත හැකි ආහාර වර්ග කීපයක් අපි දැන් බලමු. සුප් වර්ග, සුදුලූනූ, සෝයා, බිත්තර, ඇඹුල් පලතුරු වර්ග, මාළු සහ ගව මස්, මුහුදු බෙල්ලන් වැනි ආහාරවලින් මෙය ශරීරයට ලබාගන්න පුළුවන්. ඒ වගේම රතු, තද කොළ සහ තැඹිලි පැහැති ලෙස කාණ්ඩ තුනකට වෙන් කළ හැකි නිවිති, බීට්රූට්, මිරිස්, කැරට් සහ බතල ආදී එළවළු ආහාරයට ගැනීම මඟිනුත් කොලජන් ශරීරයට එක්කර ගන්න පුළුවන්. එමෙන්ම කොලජන් පැණියක් ලෙස හෝ බෙහෙත් කරලක් ලෙස ශරීරයට ලබා ගන්නත් පුළුවන්. ඇතමුන් කොලජන් ලබාගැනීමට බියක් දක්වන්නේ විසවීමක් වේවි කියන මතයත් එක්ක. නමුත් කොලජන් කියන්නෙ අපේ ශරීරයේ තිබෙන දෙයක් නිසා වෛද්‍ය උපදෙස් මත එය බාහිරින් ලබා ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ.

Comments