කොළඹ ආනන්ද විදුහලේ විදුහල්පති ඩී.එම්. ලාල් දිසානායක
ගමක ඇළට දොළට වෙලට නියරට ආදරය කරන, අගනුවරින් බොහෝ ඈත සුන්දර පරිසරයක හැදී වැඩී, දෙස් විදෙස් දැවැන්තයන් බිහිකරන කොළඹ ආනන්ද විදුහලේ වර්තමානයේ විදුහල්පති අසුන දරන ඔහු නමින් ඩී.එම්. ලාල් දිසානායක යි.
අනුරාධපුරය රාජාංගණය අංගමුව ගමේ ඉපිද, නිවසට නුදුරින් පිහිටි අංගමුව කනිෂ්ඨ විද්‍යාලයයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහු මහව විජයබා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ පහේ ශිෂ්‍යත්වයෙන් සමත්වීමෙන් පසුව ය. ඒ පාසලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවතින ඔහුට නිවසට යන්නට ලැබෙන්නේ සති අන්තයේ සහ පාසල් නිවාඩු කාලයේ පමණි.
"කමිසය කලිසම අඳින තැනේ ඉඳලා ජීවිතයේ පිළිවෙළ, විනය, ඉවසීම, අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම, එකිනෙකා තේරුම් ගැනීම, කාල කළමනාකරණය වැනි බොහෝ දේ මම හරියට ඉගෙන ගත්තේ පාසල් නේවාසිකාගාර ජීවිතයෙන් කිව්වොත් නිවැරදියි. නේවාසිකාගාරයේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මම කටයුතු කළා. පාසලේ මම ප්‍රධාන ශිෂ්‍ය නායක වෙලා හිටියා. බාලදක්ෂ කණ්ඩායමේ නායක, පාසල් සමුපකාර සමිතියේ ලේකම්, විද්‍යාලයීය සඟරාවේ ප්‍රධාන සංස්කාරක වෙලත් හිටියා. ධාවන තරග සහ අත්පන්දු ක්‍රීඩාවට සම්බන්ධ වුණා. ප්‍රාදේශීය කලාප තරගවලින් මම ධාවන තරග ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඇත්තට ම නේවාසිකාගාරයේ සිටි නිසා අධ්‍යාපන කටයුතු වගේ ම බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා පුහුණුවීම් ආදියට සහභාගි වීමට කිසිදු බාධාවක් තිබුණේ නෑ. ඒ නිසා ම ජීවිතය සමබර වුණා.
අපේ පවුලේ මා ඇතුළු දරුවන් පස් දෙනයි. අපි පස් දෙනා ම ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. බාල ම මල්ලි විතරයි ගෙදර ඉඳලා පාසල් ගියේ. අනිත් හතරදෙනා ම නේවාසිකාගාරගත ව ඉගෙන ගත්තා. ඒ කාලෙ ළමයින්ට ශිෂ්‍යත්ව විභාගය ලියන්න කියලා කිව්වේ තමන් ඉන්න පාසලට වඩා උසස් පහසුකම් තියෙන පාසලකට යන්න කියලා යි. නමුත් වර්තමානයේ ශිෂ්‍යත්ව විභාගයේ අරමුණු සහ විභාග ක්රමයේ වෙනසක් ඇතිවී තියෙනවා. අද වනවිට කොළඹ කේන්ද්‍රය කොටගත් ඉහළ ම පහසුකම් සහිත පාසල්වල දරුවොත් ශිෂ්‍යත්ව විහාගයට ලියනවා. මේ නිසා මෙය අතිශය තරගකාරී, එකිනෙකා පරයමින් ආත්මාර්ථය වපුරන විභාගයක් බවට පත් ව තිබෙනවා. අපේ අප්පච්චි විදුහල්පති වුණා කියලා අපිව අතින් ඇදගෙන ඇවිත් ශිෂ්‍යත්වය සමත් වෙන්න කියලා බලහත්කාරයෙන් ඉගැන්නුවේ නෑ. අපට ඇළේ දොළේ බැස පිහිනමින් විනෝදෙන් ජීවිතය ගත කරමින් ඉගෙන ගැනීමේ නිදහසක් ඒ කාලේ තිබුණා. අදටත් දියේ ගිලෙන්නේ නැතුව ජීවන ගඟ තරණය කරන්න හැකිවී තිබෙන්නේ ඒ නිසයි. බාහිර සමාජයෙන් ඈත් වුණු ආත්මාර්ථකාමී ජීවිතයක් අපට තිබුණේ නැහැ. අදටත් ඒ ගුණයන් අපේ ජීවිතවලට බද්ධ වෙලා තියෙනවා. ඒ අතින් වර්තමාන දරුවන් පිළිබඳ හා ඔවුන්ගේ අනාගතය පිළිබඳ කනගාටුවක් තියෙනවා."
උසස් පෙළ සමත් ව කොළඹ විශ්වවිද්‍යාලයට ප්‍රවේශය ලබන ඔහු අධ්‍යාපනවේදී ගෞරව උපාධිය එහිදී ලබාගන්නේ ය.
"විශ්වවිද්‍යාලයයේදී අධ්‍යාපනය වගේ ම මම එහි දේශපාලනයත් කළා. කොළඹ විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හැටියටත් මම කටයුතු කළා. ඒක වෙනස් අත්දැකීමක් වුණා. විශ්වවිද්‍යාල ජීවිතයේ මම බොහොම ක්‍රියාකාරී ශිෂ්‍යයෙක්. කලක් වෘත්තිය මාර්ගොපදේශන අනුශාසක ලෙසත්, විශ්වවිද්‍යාල උපාධිධාරී පදනමේ කළමනාකරු ලෙසත් කටයුතු කළා. අධ්‍යාපන පරිපාලන සේවා විවෘත විභාගය සමත්වෙලා 2005 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂ ලෙස වැඩ බාර ගත්තා. පසුව ආනන්ද විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සහ ටික කලක් විදුහල්පති හැටියටත් රාජකාරි ආවරණය කරන්න ලැබුණා. පසුව විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයකු හැටියට පත් වුණා. ඊට පස්සේ නැවත කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හැටියට වසරක කාලයක් වැඩ කළා. ඉන්පසු ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයේ වසර පහක් විදුහල්පති හැටියට සේවය කළා. ඊළඟට මතුගම අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්යක්ෂ ලෙස කටයුතු කළා. කෙටි කාලයක් බස්නාහිර පළාතේ අතිරේක අධ්‍යාපන අධ්යක්ෂ (පරිපාලන) හැටියටත් කටයුතු කළා. ඒ අතරේ තමයි ආනන්ද විද්‍යාලයයේ විදුහල්පති හැටියට ස්ථාන මාරුව ලැබුණේ."
අනුරාධපුරය රාජාංගණය අංගමුව ගමට ගම් දෙක තුනක් එහායින් පිහිටි පාසලක ලොකු ඉස්කෝලේ මහත්තයා නැතහොත් විදුහල්පතිවරයා ලෙස සිටි ටී.බී.පී. දිසානායක නම් සිය අප්පච්චී මීට වසර කිහිපයකට පෙර සදහට ම දෙනෙත් පියා ගත්තේ ය. ඔහු ගමේ ගාම්භීර ලෙස ජීවත් වූ ගෞරවනීය පුද්ගලයෙකි. ගමේ පාසලේ මෙන් ම අවට පාසල්වල ද සිටි ගුරුවරු, විදුහල්පතිවරු තම අප්පච්චී සමඟ කුලුපග වූයෙන් නිතර ඔවුහු අප්පච්චී හමුවීමට නිවසට පැමිණ කතා බහ කරන්නට වූහ. එහෙයින් කුඩා කල පටන් අධ්‍යාපනය පිළිබඳ කරුණු කාරණා ඈසී තිබුණි.
"අපේ අප්පච්චී ගොවිතැන් කටයුතුවලටත් හොඳට ම සම්බන්ධ වුණා. ඒ කාලේ ගමේ තිබුණු සමගිය හරි ඉහළයි. ගමේ හැමෝටම මාමේ, නැන්දේ, අයියා, අක්කා කියලා අපි කතා කළා. ඒ කාටවත් නම කියලා කතා කරන්න අප්පච්චි අපට ඉඩ දුන්නේ නෑ. අම්මා කල්‍යාණවතී පොඩි මැණිකේ අබේසිංහ යි. අපි පස්දෙනාගේ ම අධ්‍යාපන කටයුතු ගැන බැලුවේ අම්මා තමයි.
අප්පච්චි හැමතිස්සේ ම අපට කිව්වේ ලැජ්ජා බය ඇතුව හැදෙන්න ඕනෙ කියා යි. වැරදි කරන්න එපා කියන්නේ අපායේ යන නිසා නෙවෙයි කියලා අප්පච්චි කියනවා. "අපායක් තියෙනවද කියලා කියන්න අපි දන්නෙ නැහැ. හැබැයි වැරදි කරලා ඉවර වුණාට පස්සේ බැරිවෙලාවත් අපායත් තිබුණොත් මොකද කරන්නෙ, ඒක නිසා වැරදි නොකර ඉන්න..." කියලා අප්පච්චි අපට නිතර කිව්වා. ඒ අවවාදය හැමතිස්සෙම මතක් වෙනවා.
අද වනවිට ගුරු සහ විදුහල්පති භූමිකා සමාජයේ යම් ගැරහුමකට ලක්ව තියෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. එක්කෙනෙක් දෙන්නෙක් කරන යම් යම් වැරදි දේවල් නිසා සමස්ත වෘත්තිය ම අගෞරවයට ලක්වීම කනගාටුදායකයි."
පාසල් කාලයේ දඟකාරයකු නොවුණත් සම වයස් කාණ්ඩ සමඟ ඇති වූ පුංචි පුංචි ගැටුම් පාසලෙන් නිවසටත්, නිවසෙන් පොලිසියටත්, එතනින් තවත් ඉහළටත් රැගෙන නොයන්නට පාඩම කියාදී තිබුණේ ද අප්පච්චී ය.
"තුනේ පන්තියේදී මට ළමයෙක් ගැහුවා. අප්පච්චි විදුහල්පති නිසාත්, පාසලේ විදුහල්පති සහ ගුරුවරු සමඟ අප්පච්චි හිතවත් සහ ඒ අය නිතර අපේ ගෙදරට එන නිසාත් මම ඒ ළමයාට කිව්වා "ඉන්නවාකෝ...මං බලාගන්නං කියලා." මං ගෙදර ඇවිත් අප්පච්චිට කිව්වා ළමයෙක් මට ගැහුවා කියලා. මං ඉතින් හිතුවා අප්පච්චි මැදිහත් වෙලා ඒ ළමයාට ලොකු දඬුවමක් දෙයි කියලා. එදා අප්පච්චි මට කිව්වේ "මම ඔයාගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් නෙමෙයිනේ පුතා. ඔයා ඔයාගේ ලොකු සර්ට කියන්න" කියලා යි. මට ඉතින් අපේ ලොකු සර්ට ඒක කියන්න බැහැනේ. එදායින් පස්සේ මං ඉස්කෝලේ ළමයි එක්ක පොඩි පොඩි රණ්ඩු ඇති වුණා ම ඒවා ඒ වෙලාවේදී ම විසඳගෙන ඉවත් වුණා මිස ඒවා දුරදිගවත්, ගෙදරවත් ගෙනිච්චේ නැහැ. දැන් මතක් වෙද්දි හරිම සුන්දර යි. ආත්මාර්ථකාමී, හඹාගෙන යන අධ්‍යාපන රටාව නිසා සමහර දේවල්, ළමයින්ට ඇතිවන වෛරී සිතුවිලි පාලනය කරගන්න සහ ඒවා කළමනාකරණය කරගන්න මානසික හැකියාවක් අද දරුවන්ට නැහැ. පුංචි කාලේ අපේ ගුරු මෑණිවරු පියවරු අපට නිතර කිව්වේ සමගියෙන් හැම දෙනා එක්ක ම සහයෝගයෙන් එකට වැඩ කරන්න කියලා යි. මේ වගේ තනතුරක වැඩ කරද්දී ඒ ආදර්ශයන් මගේ ගමනට නිවැරදි මඟ පෙන්වනවා."
බිරිය සඳමාලි තෙන්නකෝන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ ලෙස කටයුතු කරන අතර දියණිය තිනුගි මෙත්මිණි දිසානායක මියුසියස් විද්‍යාලයේත්, පුතා තිසල් තෙනුජය දිසානායක කොළඹ ආනන්ද විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරමින් සිටී.
"විදුහල්පතිවරයකු වශයෙන් මගේ කාර්යභාරය දවසින් දවස ම ඉතා සංකීර්ණ කාර්ය සමූහයක් බවට පත්වෙමින් තියෙනවා. බොහෝ අය හිතන්නේ විදුහල්පති කෙනෙකුගේ කාර්ය වන්නේ පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම විතරයි කියලා යි. පාසල් කොපමණ තිබුණත් රටට, ජාතියට, ආගමට ආදරය ගෞරවය කරන දරුවන් බිහිවන්නේ ඉතා ම අඩුවෙනුයි. ඒ නිසා රටට, ජාතියට, ආගමට ආදරය ගෞරවය කරන දරුවන් ආනන්ද විද්‍යාලයෙන් සමාජගත කිරීමේ විශාල වගකීමක් හා අභියෝගයක් මට තියෙනවා. ඒ සඳහා මගේ ගුරු මණ්ඩලය, පාසල් කාර්ය මණ්ඩලය, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ලොකු සහායක් දෙනවා. ආනන්දය තුළ මේ කාර්ය මෙතෙක් ඉටු කළ සියලු අතීත විදුහල්පතිවරු, ගුරු, ආදි සිසු හා අනෙකුත් සැමදෙනා ස්තුති පූර්වක ව සිහි කරනවා."