
සදාහරිත වනාන්තරයකවූ අඳුරු ගුහාවක සැඟවී ගත් මහා ජල කඳක්, ගල් අතරින් තට්ටු කීපයකින් යුතුව ඇද වැටෙමින් සාදන දිය ඇල්ලකට සමීප වෙද්දී ඉන් විසිරෙන සිහින් ජල බිඳිති වලින් මුළු ගතම තෙමී යන, දිය නෑවා සේ සියොළඟම තෙත බරිත වන අපූරු දිය ඇල්ලක චමත්කාරය විඳිය හැකි නම් ඒ අන් ඇල්ලකදී නොව දූවිලි ඇල්ලකදී පමණමය. මෙවැනි මිහිරි ත්‍රාසජනක අත්දැකීම් විඳිය හැකි දූවිලි ඇලි ගණනාවක්ම මෙරට පිහිටා ඇති නමුත් ඒ සියලු දූවිලි ඇලි අතරින් අග රැජින වන්නේ සිංහරාජ මායිමේ පිහිටි මෙරට ප්‍රකට දිය ඇල්ලක් වන නෙළුව දූවිලි ඇල්ලයි. එය සැබවින් ම හාත්පසම තෙත බරිත කරන දුහුවිලි වලාවක් සේ විසිරෙන පිනි බිඳිතිවලින් පරිසරයම වසාගත් දිය ඇලි රාජිණියකි.
තුන් දෑලෙන් කඩා හැලෙන, විශාල දිය දහරාවකින් යුතු සොඳුරු දිය ඇල්ලක් වන මෙම ඇල්ල ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ කොස්මුල්ල ග්‍රාමයේ පිහිටා තිබේ. මේ සොඳුරු දුහුවිලි කුමාරිය සිංහරාජ වන සීමාව ඇසුරු කරගන්නා සුන්දරම දිය ඇල්ල ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. දූලි ඇල්ල මෙන්ම දූවිලි ඇල්ල ලෙස ද නම් ලබා ඇති මේ දිය ඇල්ලෙහි ජල දහරාව මීටර් 23 ක පමණ ඉහළ සිට ගල් කුළු මතට වැටී කුඩා දූලි බවට පත්වී මීදුමක් ලෙස පැතිර යන බැවින් දූවිලි ඇල්ලට ඒ නාමය පටබැඳී ඇත. මෙම ඇල්ල සමීපයට එන ඕනෑම අයකු මහා වර්ෂාවට හසුවූවාක් මෙන් සුළු මොහොතකින් තෙත බරිත කිරීමට මේ ඇල්ල සමත් වෙයි. සිංහරාජය ඇසුරේ දූලි හෝ දූවිලි යන නම් ලැබූ තවත් දිය ඇලි පැවතිය ද ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් වඩා ප්‍රකට වී ඇත්තේ කොස්මුල්ල, දූලි ඇල්ල තේ කර්මාන්ත ශාලාව අසල පිහිටි මේ දිය ඇල්ලයි.
පහත රට තෙත්කලාපීය සදාහරිත වනාන්තරයක් වන සිංහරාජය සීමාවේ පිහිටි මේ දිය ඇල්ලෙහි විශේෂම ලක්ෂණයක් වන්නේ ස්වාභාවික ගල් දොරුවක් තුළ පිහිටා තිබීමය. ලෝක උරුම සිංහරාජයෙන් පෝෂණය ලබමින් කොස්මුල්ල දොළෙන් ජනිත වන මෙම දිය ඇල්ල නෙළුව කොස්මුල්ලේදී සිය සොඳුරු දසුන් ප්‍රදර්ශනය කොට ගිං ගඟට එකතු වේ. මේ දිය ඇල්ල ප්‍රධාන මහල් 04 ලෙස පහළට ඇද වැටෙන අතර ඉන් විසිරෙන දුහුවිලි වන් ජල බිඳිති අවට සිටින්නන් දියෙන් නහවමින් හාත්පස පැතිරෙයි. වන ආවරණය නිසා මද්දහනේ පවා දිය ඇල්ල මතට කෙළින්ම හිරු එළිය වැටීමක් සිදු නොවන බැවින් මධ්‍යහ්න කාලයේදී පවා දැඩි අඳුරු ගතියක් ඇල්ල තුළ පවතී. මේ ගුප්ත ස්වාභාවයත්, දැඩි අඳුරත්, දෝංකාරයත්, ඇල්ලෙන් විසිරෙන දූවිලි වැනි ජල බිඳිති නිසා ඇතිවන මිහිඳුම් සේලයත් නිසා මේ ඇල්ල ආශ්රිත පරිසර පද්ධතියේ පවතින්නේ තරමක බියජනක හැඟීමකි. සිංහරාජ වන මායිමේ පිහිටීම නිසා මෙම ඇල්ල අවට ස්වාභාවික වන මල් විශේෂ රැසකින් ම අලංකාර වී පවතින අතර ඉහළ උඩවැඩියා විවිධත්වයක් ද මේ ඇල්ල අවට දැකිය හැකිය. මෙම නේක වර්ණ උඩවැඩියා විශේෂ ඇල්ලෙහි අලංකාරය තවත් ඉස්මතු කරන අතර ඇල්ල අවට සමනල විශේෂ රැසක් ද දැක බලා ගැනීමට හැකිය.
දූලි ඇල්ල ආශ්රිත අක්කර 06 පමණ ප්‍රදේශය “කොස්මුල්ල දූවිලි ඇල්ල සංචාරක පරිශ්‍රය” ලෙස ආකර්ෂණීය සංචාරක කලාපයක් ලෙසින් නෙළුව ප්‍රාදේශීය සභාව මඟින් සංවර්ධනය කොට පවත්වා ගෙන යනු ලබයි. මේ නිසා ඇල්ල නැරඹීමට එන සංචාරකයන් වෙනුවෙන් ඇල්ලෙහි ඉහළට ගොස් විවිධ මට්ටම් වලදී ඇල්ලෙහි සුන්දරත්වය විඳීමට හැකි වන පරිද්දෙන් අත්වැල් සහිත පඩි පේළි සහ නැරඹුම් වේදිකා සකස් කොට තිබේ. මෙම දිය ඇල්ල වේගවත් සැඩ දිය ඇල්ලක් බැවින් ඇල්ලට බැසීම අනාරක්ෂිත නිසා දිය ඇල්ල නැරඹීමට එන සංචාරකයන්ට රිසි සේ දිය නෑම සඳහා අවශ්‍ය ජල තටාක ඇල්ල පාමුල නිර්මාණය කොට තිබේ. එමෙන්ම ආහාර පාන ගැනීමට අවශ්‍ය ස්ථාන, විවේකාගාර, ඇඳුම් මාරුකර ගන්නා ස්ථාන ඇතුළු පොදු පහසුකම්ද නොඅඩුව සපයා ඇති නිසා මෙහි පැමිණෙන සංචාරකයන්ට ආරක්ෂිතව දිය ඇල්ලෙහි සුන්දරත්වය විඳ, රිසිසේ දිය නා, පරිසරය අපවිත්‍ර නොවන පරිදි ආහාර පාන ගෙන, සුන්දර චමත්කාර සංචාරයක සොඳුරු මතක සටහන් රැසක් රැගෙන යා හැකිය.
මේ නිසා පරිසරය විඳීමට ආශාවක් දක්වන බොහෝ සංචාරකයෝ මේ සුන්දර දූවිලි කුමරිය සොයා පැමිණෙති. ඇගේ සුන්දරත්වය විඳ සැනසෙති. දූවිලි කොමලියට ඒ පිළිබඳ වගක් හෝ නොමැති සේ ය. දිගු වරලස විහිදා නිදහසේ දිවයන සුන්දර යුවතියක මෙන්, පෙණ පිඬු නංවමින් ඈ පහළට වැටේ. මඳ සුළඟට දඟ කරනා වරලස මෙන් ජල බිඳිති දසත විසිරුවයි. හාත් පස තෙත බරිත කරමින් ඈ සිනාසෙයි. ඒ සිනාව තව බොහෝ කාලයක් පවත්වා ගැනීම ඇය සොයා එන දිය ඇලීලෝලීන් අත රැඳී පවතී.
ගමන් මාර්ගය
B363 පැලවත්ත නෙළුව හරහා මොරවක මාර්ගයේ නෙළුව නගරය සමීපයේ ආමි පාලම අසලින් හැරී කොස්මුල්ල - ලංකාගම මාර්ගයේ 7Km පමණ
දුරින් පිහිටා තිබේ...