ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මේ ඔබ කියැවිය යුතු ම ලිපියක් | සිළුමිණ

ඔසප් චක්‍රය අක්‍රමවත් නම් මේ ඔබ කියැවිය යුතු ම ලිපියක්

ඔසප්වීම බොහෝ කල් ප්‍රමාද වනවා නම් එම කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. නැතිනම් එන්ඩොමෙට්‍රි බිත්ති අසාමාන්‍ය ලෙස වර්ධනය වී පිළිකා ඇති වීමේ අවධානමක් ඇත

කාන්තාවන්ට තිබෙන ගැටලු අතරෙන් ප්‍රධානතම තැනක් ගන්නේ ඔසප් චක්‍රය පිළිබඳ ඇති විවිධ ප්‍රශ්නයි. එය කාන්තාවගේ සමස්ත ජීවිතයට ම බලපාන යම් යම් කාරණා පිළිබඳ සංකේතයක් බැවින් අපි ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ගැන රසඳුන පාඨකයන්ව දැනුම්වත් කරන්නට සිතුවෙමු. ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා ඔසප් චක්‍රය ගැනත් ඒ හා සම්බන්ධ ගැටලු ගැනත් සිළුමිණ රසඳුන පාඨකයන් දැනුම්වත් කිරීමට එක් වූයේ මෙලෙසිනි.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම බොහෝ කාන්තාවන් අත්විඳින තත්ත්වයක්. ඇතැම් විට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වීමටද මෙය හේතුවක් වන අවස්ථා තිබෙනවා. එනම් මල්වර වීමේ සිට අර්තවහරණය දක්වා ඔසප් වීම සාමාන්‍ය ඔසප් චක්‍රයක ලක්ෂණයි.

සිරුරේ අභ්‍යන්තර ක්‍රියාවලිය මීට හාත්පසින්ම සංකීර්ණ වූවක්. එය ආරම්භ වනුයේ මොළයේ ඇති හයිපොතැලමස ග්‍රන්ථයෙන්. මසකට වරක් හෝමෝන නිපදවීම චක්‍රයක ආකාරයට වෙනස් වේ. හයිපොතැලමස ග්‍රන්ථයෙන් වන බලපෑම නිසා පිටියුටරි ග්‍රන්ථයේ හෝමෝන සාන්ද්‍රණය වෙනස් වේ.

මෙලෙස වෙනස් වනවිට ගර්භාෂයේ ඇතුළත එන්ඩොමෙට්‍රි බිත්ති වර්ධනය වීම හා බිඳ වැටීම චක්‍රයක ආකාරයට සිදුවේ.

ඔසප් චක්‍රයේ මුල් දින 14 තුළ ගර්භාෂයේ ඇතුළත බිත්ති වර්ධනය වීමට ලක් වේ. අනතුරුව දෙවන දින 14 තුළ ගර්භාෂ ඇතුළත බිත්ති ඒ මට්ටමේම පවත්වා ගැනීමට සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය උපකාර කරයි. අවසානයෙදී ප්‍රොජෙස්ටරෝන් මට්ටම අඩු වී ගර්භාෂය ඇතුළත බිත්ති බිඳ වැටී දින ගණනකට වරක් රුධිරය පිටවීම ඔසප්වීම ලෙස හඳුන්වයි.

මෙය චක්‍රයක් ආකාරයට සිදුවන නිසා ඔසප් චක්‍රය ලෙස නම්කර ඇත. එනම් අසාමාන්‍ය ඔසප් චක්‍රය ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය දින ගණන වෙනස් පරාසයන් ගැනීමයි. රුධිරය පිටවන ප්‍රමාණය වැඩිවීම, අධික වේදනාව, අසාමාන්‍ය ඔසප් චක්‍රයේ ලක්ෂණ වේ.

ඔසප්වීම බොහෝ කල් ප්‍රමාද වනවා නම් එම කාන්තාවන් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. නැතිනම් එන්ඩොමෙට්‍රි බිත්ති අසාමාන්‍ය ලෙස වර්ධනය වී පිළිකා ඇති වීමේ අවදානමක් ඇතිවීමේ අවධානමක් ඇත.

ඒ වගේම විශේෂයෙන් ප්‍රතිකාර සිදු කළයුතු පාර්ශ්ව කිහිපයකි. දරු ප්‍රසූතියක් බලාපොරොත්තු වන කාන්තාවන්, ඔසප් චක්‍රය ආසාමාන්‍ය වීමෙන් මානසික ආතතියට ලක්වන කාන්තාවන් ඉන් විශේෂයි. ඒ අයගේ ඔසප් චක්‍රය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ යුතුයි. බොහෝ විට ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් අඩංගු ඖෂධ මේ සඳහා භාවිත කරයි. එම ඖෂධ චක්‍රයක් ආකාරයට ලබාදීම මඟින් ඔසප් ක්‍රියාවලිය ක්‍රමවත් වන බව වෛද්‍යවරු පවසති.

ඇතැම් විට අර්තවහරණයට ලක්වන කාන්තාවන් නැතිනම් වයස අවුරුදු 51දී පමණ ඔසප් වීම නතර වීමට ආසන්න කාන්තාවන් තුළ අසාමාන්‍ය අක්‍රමවත් ඔසප් චක්‍රයක් දැකිය හැකිය. එය සාමාන්‍ය ස්වභාවයයි. එයට අනිසි ලෙස කලබල වී ප්‍රතිකාර කළ යුතු නැත. ඔසප් චක්‍රය අක්‍රමවත් වූ පමණින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවේ. පළමුව අක්‍රමවත් වීමට හේතුව සොයා ප්‍රතිකාර සඳහා යොමු වීම වඩා සුදුසුය.

මෙලෙස කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට බලපාන ප්‍රධානමතම හේතුව ලෙස සිරුරේ හෝමෝන සම්බන්ධ රෝග තත්ත්ව ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම අධික ලෙස ව්‍යායාම කිරීම හා මානසික ආතතිය නිසා මොලයේ හයිපොතැලමස ප්‍රදේශයේ හෝමෝන නිපදවිම අක්‍රමවත් වී ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඩිම්බ කෝෂ වයසට කලින් අකර්මණ්‍ය වීම නිසාත් සමහර විට ඔසප්වීම වෙනස් වෙන්න පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට නිවසේ සිට කළ හැකි දෑ බොහෝය. ක්‍රමවත්ව ව්‍යායාම කිරීම, ශරීරයේ ස්කන්ධය දර්ශකය නිවැරදිව පාලනය කර ගැනීම හා එයට ක්‍රමවත් ආහාර රටාවක් අනුගමනය කිරීම, දරුඵල අපේක්ෂා නොකරන ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ට ඔසප් චක්‍රය සාමාන්‍ය ලෙස පවත්වා ගැනීමට උපත් පාලන පෙති චක්‍රයක් ආකාරයට ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

Comments