
වීරවර්ණ පටබැඳිගේ ඉරේෂා සඳමාලි වන ඇය ලේඛනකරණයේ යෙදෙන්නේ ඉශූ එස්. වීරවර්ණ නමිනි. මීගමුවේ උපන් ඉශූ එස්. වීරවර්ණ, මීගමුවේ දලුවකොටුව ශාන්ත ආනා ප්‍රාථමික විදුහලේ, පොළොන්නරුවේ කඳුරුවෙල නගර මහා විද්‍යාලයේ සහ පන්නල මාකඳුර සඳලංකා ජාතික පාසලේ ආදි සිසුවියකි. පාසල් වියේදී ඉගෙනීමට මෙන්ම සාහිත්‍ය සහ ක්‍රීඩා අංශයෙන් දස්කම් දැක්වූ ඉශූ එස්. වීරවර්ණ ගද්‍ය, පද්‍ය රචනා සහ කථික තරගවලින් ජයග්‍රහණ රැසකට හිමිකම් කීවාය.ඉංග්‍රීසි සහ සිංහල දෙඅංශයෙන්ම පාසලේ නිවේදන කටයුතු කළ ඇය උස සහ දුර පැනීමට අමතරව කරාටේ ක්‍රීඩාව ද ප්‍රගුණ කළාය. කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් වූ ඉශු එස්. වීරවර්ණ, බාහිර උපාධි අපේක්ෂිකාවක ලෙස කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළු වී භාෂාවන් සහ භාෂා පරිවර්තනය හැදෑරුවාය. ඉන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු කලක් ආයතන කිහිපයකම ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළාය.
ඉශූ එස්. වීරවර්ණ නවකතාකරණයට පිවිසෙන්නේ මුහුණු පොතේ ලියන්නියක් ලෙසිනි. එසේ ඇය විසින් ලියන ලද නවකතා කියවූ පාඨකයකු වන සුනි ජයලත්ගේ පූර්ණ අනුග්‍රාහකත්වය සහ මාධ්‍යවේදී සුනිල් පොරමඩලගේ සම්බන්ධීකරණයෙන් 2019 වසරේදී ‘මායාවී’ සහ ‘පිච්චමලී’ නවකතා ද්විත්වය ප්‍රකාශයට පත්විය. ඒ නවකතා දෙකම සත්‍ය චරිතාපදාන වූ අතර ‘පිච්චමලී’ නවකතාව තුළ ‘සඳක සඳක්’ නමින් තවත් කෙටි නවකතාවක් ඇතුළත් වීම විශේෂත්වයකි. එම වසරේදීම ගොඩගේ නවකතා අත් පිටපත් තරගයට ඉදිරිපත් කළ ඉශු එස්.වීරවර්ණගේ ‘සොඳුරිය’ නවකතාව තුන්වැනි ස්ථානය දිනාගත් අතර, එය ගොඩගේ ප්‍රකාශනයක් ලෙස 2020 වසරේදී මුද්‍රණයෙන් නිකුත් විය. මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩ නැඟුණු ප්‍රබන්ධ කතාවක් ඇතුළත් එම නවකතාව තුළින් ලංකාවේ සංචාරක කර්මාන්තය රටේ දියුණුව උදෙසා නිසි ලෙස යොදා ගන්නේ කෙසේද යන්න විමසීමට ලක්කර ඇත.
කිවිඳියක් මෙන්ම ටෙලිනාට්‍ය පිටපත් රචිකාවියක් ලෙස ද කටයුතු කරන ඉශු එස්. වීරවර්ණ, මේ වන විට ‘සියහඬ’ ගුවන් විදුලියේ නිවේදිකාවක් හා වැඩසටහන් සම්පාදිකාවක් ලෙස කටයුතු කරන්නීය. ඒ සියලු කටයුතු අතරේ නවකතාකරණයේ යෙදන ඇය යොවුන් දියණියකගේ මවක් වන අතර, ඉශු පවසන්නේ ජීවිතයේ නිරූපණය කරන සියලු භූමිකා අතරින් ඇය වඩාත් ප්‍රිය කරන චරිතය මවගේ භූමිකාව බවයි.
ඉදිරි නිර්මාණ සැලසුම්
එකිනෙකට වෙනස් තේමාවන්ගෙන් යුත්, සමාජයට පණිවිඩයක් දිය හැකි නවකතා නිර්මාණය කිරීම මගේ බලාපොරොත්තුවයි. මේ වෙද්දිත් මම එවැනි වෙනස් තේමාවන්ගෙන් නවකතා රචනා කර තිබෙනවා. 2020 වසරේ නිකුත් වූ ‘රිඳුණු පොහොට්ටුව’ කෘතිය වයස අවුරුදු දොළහේදී අම්මාගෙ අනියම් සැමියාට විවාහ කර දුන් දැරිවියකගේ ශෝචනීය ඉරණම ඇතුළත් සත්‍ය කතාවක් ඇසුරින් ලියූ කතාවක්. ඒ වගේම ‘හාමනී 2035’නවකතාව සරාගී රොබෝ බෝනික්කකු ගැන කියවෙන කතාවක්. අනාගතයේ විද්‍යාවේ දියුණුවත් ඉන් අනතුරුව වෙන සිද්ධි දාමයත් ඇතුළත් ඒ කතාව විද්‍යා ප්‍රබන්ධයක්. ඉදිරියේදිත් එවැනි වෙනස් තේමාවන් සහිත නවකතා මා අතින් ලියැවේවි. ඒ අතර මගේ කෙටි කතාවක් කෙටි චිත්‍රපටියක් සඳහා තෝරාගෙන තිබෙන අතර, දැනට එහි මූලික කටයුතු සිදුවෙමින් පවතිනවා.
මගේ නවකතා අතරින් මම වඩාත්ම ප්‍රිය කරන නවකතාව
2022 වසරේ ජනවාරි මාසයේදී ලේඛක පාඨක සංසදය මඟින් ප්‍රකාශයට පත්කළ පළමු කෘතිය බවට පත්වූ මගේ අලුත්ම නවකතාව ‘මුතු බෙල්ලියකගෙ කඳුළු කතාවක්’ කෘතියට මම වඩාත් ප්‍රිය කරනවා. ඊට හේතු කිහිපයක්ම තිබෙනවා. සත්‍ය කතාවක් ඇසුරින් මවිසින් ලියන ලද ඒ නවකතාවේ එන මුතූගේ චරිතය අදටත් ජීවත් වෙනවා. මේ කතාව 1931 තරම් ඈත අතීතයේ සිට වර්තමානය දක්වා ගලා එන කතාවක්. ඒ නිසාම මේ නවකතාව ලියන්න මට වැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. කරුණු බොහෝමයක් අධ්‍යයනය කළා. ඒ කතාවට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම පදනම් වී ඇති නිසා ඒ ඒ කාලවකවානුවලදී ඒ ඒ රටවල්වල දේශපාලනික, සමාජ තත්ත්වයන් අධ්‍යයනය කරන්නට සිදු වුණා. එමෙන්ම මෙහි මට යොදාගන්නට සිදු වුණේ දකුණේ භාෂාවයි. අතරින්පතර ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසියත් භාවිත කරන්න සිද්ධ වුණා. ඒ වගේම යටත් විජිත යුගය ගැනත් වෙනමම විශ්ලේෂණයක යෙදුණා.
ඒ නවකතාවේ වඩාත් සිත් ගත් සහ සංවේදී වූ අවස්ථාව
ඒ නවකතාව තුළින් මට අවශ්‍ය වුණේ කාන්තාවකගේ ශක්තිය කොපමණද යන්න සරල ප්‍රේම කතාවකින් පෙන්වා දෙන්නයි. එහි එන සිදුවීම් සියල්ලටම මම විශේෂයෙන් කැමතියි. ඒ අතරින් මගේ සිත වඩාත්ම සංවේදී කළ අවස්ථාව මුතූගේ සැමියා වෙනත් ස්ත්‍රියක් හා එක්ව සිටිනු ඇය සියැසින් දකින අවස්ථාව. ඒ කම්පනය මගේ හිතට විශේෂයෙන් දැනුණා.
මෙතෙක් ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාරය
මුහුණුපොත තුළින් සහ මුද්‍රිත නවකතා කියවන පාඨකයන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයකටම මම ඉතාමත් ප්‍රිය කරනවා වගේම මගේ පාඨකයන් සියලු දෙනාට ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. එසේ ලැබුණු පාඨක ප්‍රතිචාර අතරින් මට ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රහණය ලැබුණු වෙලාවේ සිදුවූ සිදුවීමක් මට තවමත් මතකයි. ඒ සම්මානය ගන්න මම වේදිකාවට ගොඩ වෙනකොට එක් තරුණියක් මගේ නම මහ හඬින් කියමින් කෑ ගැසුවා. ඇය මගේ තදබල පාඨකයෙක් වූ මනෝධ්‍යා යි. ඒ වගේම මුහුණුපොත විසින් සංවිධානය කළ දානමය පිංකමකට සහභාගී වූ අවස්ථාවකදී මාව අඳුනාගත් මගේ පාඨකයන් වූ නිලූපා පියුමාලි, නෙලුම් තිලකරත්න ඇතුළු පිරිසක් මාව බොහොම ආදරෙන් වැලඳගත්තා. එයත් මාව සංවේදී කළ අවස්ථාවක්.