ශ්‍රී ලංකාව නොදැවුණු ත්‍රිත්ව ශතකයට සූදානම් | සිළුමිණ

ශ්‍රී ලංකාව නොදැවුණු ත්‍රිත්ව ශතකයට සූදානම්

 

‘ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩාවට වසර හතළිහක් සම්පූර්ණ වූයේ මේ මාසයේ දී ය. එංගලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයට පී. සරා පිටියේ දී තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එතෙක් මෙතෙක් කාලය තුළ ටෙස්ට් තරග 299කට ක්‍රීඩා කොට ඇත. ඒ අනුව එම කණ්ඩායම මෙවර සිය තුන්සිය වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම පිණිස ඉන්දියාවේ මොහාලි නුවර බලා දැන් පැමිණ තිබේ. මේ ඒ ගැන ය.’

ලාංකේය ටෙස්ට් ක්‍රිකට් වංශ කතාව පිළිබඳ අවධානය යොමු කිරීමේ දී 1982 පෙබර-වාරි 17 වැනිදා දිනය මෙරට ක්‍රිකට් ඉතිහාසයේ

සදා නොමැකෙන දිනයකි. ටෙස්ට් වරම් දිනාගත් ලොව 8 වැනි රට බවට පත් වූ ශ්‍රී ලංකාව දැන් එහි හතළිස් වසර මෙම වසරේ පෙබරවාරි මාසයේ සම්පූර්ණ කළේ ය. එය දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවකි.

දැන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම තම සාඩම්බර ගමනේ තුන්සිය වැනි තරගයට මුහුණ දීමේ සූදානමින් පසු වෙයි. ඒ ඉන්දියාවේ මොහාලි නුවර දී ය. තරගය පැවැත්වෙන්නේ මාර්තු 04 වැනි දා සිට 08 වැනි දා දක්වා ය.

පළමු තරගය

ශ්‍රී ලංකාව තම පළමු ටෙස්ට් තරගයට තරග වැදුණේ බන්දුල වර්ණපුර ගේ නායකත්වය යටතේ ය. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ය. තරගය පී. සරා නැතහොත් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්විණි. මෙහෙදී එංගලන්ත කණ්ඩායම මෙහෙයවනු ලැබූවේ කීත් ෆ්ලෙචර් විසිනි. මංගල ටෙස්ට් තරගයේ ප්‍රතිඵලය වූයේ තම සත්කාරය යටතේ ම කඩුලු හතකින් පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදුවීම ය. එහෙත් එම තරගය සිව්වැනි දිනය දක්වා රැගෙන යෑමට බන්දුල වර්ණපුරයන් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 218 ක් රැස් කර ගත්තේ ය. පන්දුවාර 81.5 ක් පුරා විහිදුණු ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් රංජන් මඩුගල්ලේ (65) සහ අර්ජුන රණතුංග (54) අර්ධ ශතක වාර්තා කළ හ. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීමේ දී එංගලන්ත කණ්ඩායම ලකුණු 223 කට සීමා කිරීමට අසන්ත ද මෙල් (70/4) ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූ හ.

ලකුණු 5 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකාව විටෙක කඩුලු 4 ක ට ලකුණු 167 ක් ලෙස ප්‍රබල තත්ත්වයක පසු වුවත් අවසන් කඩුලු 6 ම ලකුණු 8 ක් ඇතුළත බිඳ වැටිණි. පළමු ඉනිමේ කඩුලු දවා ගැනීමට අසමත් වුණු ජෝන් එම්-

බියුරි දෙවැනි ඉනිමේදී ලකුණු 33 ක ට කඩුලු 6 ක් දවා ගනිද්දී තනිව සටන් වැදුණු රෝයි ඩයස් පන්දු 131 ක දී ලකුණු 77 ක් රැස් කර ගත්තේ ය. ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේ දී කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේ විනිසුරුවන් ලෙස හර්බි ෆෙල්-සිංගර් සහ කේ.ටී. ෆ්‍රැන්සිස් කටයුතු කළ හ.

පළමු තරගය පරාජයට පත් වුව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය දක්වා උසස් කිරීමට තමන් වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එදා පෙන්නුම් කළ හ.

පළමු ටෙස්ට් තරගයේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ අසන්ත ද මෙල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගන්නා ලද පළමු ක්‍රීඩකයා බවට පත් වද්දී අවසන් වරට ටෙස්ට් වරම් දිනා ගත් චරිත් අසලංක දක්වා ක්‍රීඩකයන් 157 දෙනෙකු දශක 4 ක ටෙස්ට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. 50වැන්නා කපිල විජේගුණවර්ධනයි. 100වැන්නා නුවන් කුලසේකර වන අතර ඕෂද ප්‍රනාන්දු 150 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ය.

එතැන් සිට ටෙස්ට් ගමන

1982 පෙබරවාරි 17 වැනි දින පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299කට ක්‍රීඩා කර තිබෙන අතර, ඉන්දියාවට එරෙහි ව ලබන මාර්තු 04 වැනිදා මොහාලි හි ආරම්භ වන පළමු ටෙස්ට් තරගය ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 300 වැනි ටෙස්ට් තරගය වනු ඇත. එතෙක් මෙතෙක් රටවල් 9කට එරෙහි ව තරග කර ඇති ශ්‍රී ලංකා-වට එරෙහි ව වැඩිම තරග සංඛ්‍යාවක දී ප්‍රතිවා-දියා වී ඇත්තේ පාකිස්තානයයි. ඒ තරග 55ක දී ය. ශ්‍රී ලංකාව තරග 50කට වඩා ක්‍රීඩා කර

ඇත්තේ ද පාකිස්තානයට එරෙහිව ය. ඒ අතර ටෙස්ට් තරග 95 ක දී ජයග්‍රහණ අත්කර ගෙන සිටින ශ්‍රී ලංකාව තරග 113 ක දී පරාජයට පත්ව තිබේ. ඉන්දීයාවට සහ පාකිස්තානයට එරෙහි ව තරග 20 බැගින් පරාජය වී තිබේ. වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගෙන ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ව ය. ඒ තරග 17 කි. තරග 91 ක් විසඳුමකින් තොරව අවසන්ව ඇත.

1997දී ඉන්දියාවට එරෙහි ව ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී කඩුලු 6 කට රැස් කළ ලකුණු 952 ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩා-යමක් ඉනිමක රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත් ව සිටින්නේ කුමාර සංගක්කාර ය. ඔහු තරග 134 ක දී ලකුණු 12400 ක් රැස් කර ඇත. ඒ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 57.40 ක් වශයෙන් පවත්වා ගනිමිනි. මෙය ටෙස්ට් ලකුණු 10,000 ට වඩා රැස් කළ පිතිකරුවන් අතර හොඳම සාමාන්‍යය ලෙස ද සැලකෙයි. ලොව වැඩිම ජාත්‍යන්තර (එක්දින 534) සහ ටෙස්ට් තරගවල කඩුලු ලාභියා බවට පත්ව සිටින්නේ මුත්තයියා මුරලිදරන් ය. ඔහු තරග 133 ක දී කඩුලු 800 ක් බිඳ හෙළීමට සමත් ව ඇත. සාමාන්‍යය 22.72 කි.

 

Comments