
ඔබේ සම ඔබ ම පරික්ෂාවට ලක්කර ගන්න. බිබිළි මතු වෙනවා ද, රතු වෙනව ද, කැසීම් ඇති වෙනව ද ආදී වෙනස්කම් නිරීක්ෂණය කරන්න; සම පිරිසිදු කිරීමේදී තදින් ඇතිල්ලීම හා තදින් පිස දමීම ආදිය කරන්න එපා නිරෝගී සම වැඩි දියුණු කර ගැනීමට පමණක් ආලේපන භාවිත කරන්න
භාවිත කරන නිෂ්පාදන විටින් විට වෙනස් කරන්න එපා ; සම පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත්
නිරෝගිකම උතුම් ධනයයි. මේ දිනවල ඒ ප්‍රකාශය තව තවත් අපගේ ජීවිතවලට සමීප වී ඇත. ගෝලීය දියුණුවත් සමඟ මිනිසා බොහෝවිට සෑම කර්ත්‍යවයකදීම ක්ෂණික පිළියම්වලට නැඹුරුවක් දක්නට ලැබේ. එයට නිදසුනක් ලෙස ඉක්මනින් සම සුදු කර ගැනීමට ක්ෂණික ආලේපනවලට යොමු වීම දැකිය හැකිය. මේ ආලේපන ඔබේ නිරෝගීකමට කෙතරම් හානිකර ද යන්න ඔබ දැනුම්වත් කිරීමට මෙවර සිළුමිණ රසඳුන වෛද්‍ය හමුවට එන්නේ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය සමන් ගුණසේකරයි.
‘මිනිස් ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රිය සම. එක් එක් පුද්ගලයාට ආවේණික විවිධත්වයක් සමෙහි පවතී. වර්ග අඩි 20ක පමණ ප්‍රමාණයක් හා රාත්තල් දහයක පමණ ස්කන්ධයක් සමෙහි පවතී. දිනකට මේ සමෙන් මිලියන 50ක පමණ සෛල ප්‍රමාණයක් ඉවත් වේ. සමෙහි ඇති මෙලනින් ප්‍රමාණය මත සමෙහි වර්ණය තීරණය වේ.
මිනිසාට ජීවත්වීමට හුස්ම කෙතරම් වැදගත් වන්නේ ද එලෙසම සම ද වැදගත් වේ. ක්ෂුද්‍ර ජීවින්ගෙන් සම ආරක්ෂා කිරීම, සම වියළීමෙන් වැළකීම, බාහිර පරිසරයෙන් ශරීර අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම සමෙහි ප්‍රධාන කර්ත්‍යවයයි.
ශරීරයේ ඇති සංවේදිම අවයවය සමයි. මෙය අපගේ දෛනික ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී හානියට ලක්වේ. අධික ලෙස සම හිරු එළියට නිරාවරණය වීම මඟින් සමෙහි ලප කැළල් ඇති වීම, සම රැලි වැටීම, පිළිකා ඇතිවීම සිදුවීමේ ප්‍රවණතාව වැඩියි. අධික ලෙස ලිප ළඟ වැඩ කිරීමෙන් සම රත්වීම නිසා සමෙහි කොලජන් තන්තු පටකවලට හානි වේ. මුහුණ නිතරම ඇල්ලීම නිසා විෂබීජ බැක්ටීරියා ඉක්මනින් ශරීරයට ඇතුළු වේ. අධික ලෙස කුරුලෑ වර්ධනය වීම,ලප කැළල් වැඩි වීම වැනි තත්වයන් ඇති වේ.
විශේෂයෙන් අසාමාන්‍ය ලෙස කුරුලෑ වර්ධනය වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත්; නැතිනම් පසුව ඇති වන දරුණු තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු බවත් වෛද්‍යවරු පවසති.
නිරෝගී සම රැක ගන්නෙ කොහොමද? එදිනෙදා කටයුතු සඳහා රූපලාවණ්‍යය ආලේපන භාවිත කිරීමේදී පවත්නා සම වැඩි දියුණු කර ගැනීමට පමණක් ආලේපන භාවිත කිරීමට යොමු වීම වැදගත්. අධික ලෙස වර්ණ ගැන්වීම හෝ අධික ලෙස සුවඳ දෑ භාවිතය ශරීරයට අහිතකරය. මීට අමතරව වැදගත්ම කාරණය වනුයේ සමට පෝෂණය ලබා දීමයි. එහිදී ප්‍රෝටීන්, විටමින් C හා D, මිනරල්, ඔමේගා 3 අඩංගු ආහාර, පලතුරු ඔබේ ආහාර රටාවට එකතු කර ගන්න. ඕනෑම දෙයකට යම් පෝෂණයක් අවශ්‍යයි. සමටද එය පොදු කරුණක්. හොඳ නින්දක් ලැබීම ඔබේ සම නැවුම් කරයි. බොහෝ ලෙඩ රෝගවලට පහසු ප්‍රතිකාරයක් ලෙස ද නින්ද අපට වැදගත් වේ.
සම පිරිසිදුව තබා ගැනීමද වැදගත්. එහිදී ඔබේ සමෙහි ස්වභාවයට ගැළපෙන face wash,soap තෝරා ගත යුතුයි. සමෙහි සාමාන්‍ය PH අගය 5.5කි.එනම් ඔබ පිරිසිදුකාරක හෝ ආලේපන තෝරා ගැනීමෙදී PH අගයේ ගුණාත්මක බවට හානි නොවන ලෙස ආලේපන තෝරා ගැනීම. වියළි සම, අධික තෙල් සහිත සම ආදී සමෙහි ස්වභාවය අනුව ඔබ ඔබේ ආලේපන තෝරා ගන්න. සමෙහි ස්වභාවය හඳුනා ගන්න අපහසු නම් එයට වෛද්‍ය උපදෙස් සපයා ගන්න. සම පිරිසිදු කිරීම, සම වියළීම වැළකීම, සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම ආදිය රැක ගැනීමට ආලේපන තෝරා ගැනීමේදී එහි ලේබලය පරීක්ෂා කර දැනුවත් වන්න. භාවිත කරන නිෂ්පාදනය විටින් විට වෙනස් නොකරන්න. තෝරාගත් ගුණාත්මක නිෂ්පාදනයක් දිගටම භාවිත කරන්න. අපගේ නිරෝගී සම වැඩි දියුණු කර ගැනීමට පමණක් ආලේපන භාවිත කරන්න. නිතරම ඔබේ සම ඔබම පරික්ෂාවට ලක්කර ගන්න. බිබිළි මතු වෙනවාද, රතු වෙනවද, කැසීම ඇති වෙනවද ආදී වෙනස්කම් නිරීක්ෂණය කරන්න. සම පිරිසිදු කිරීමේදී තදින් ඇතිල්ලීම හා තදින් පිස දමීම ආදිය නොකරන්න.
වර්තමානයේ බොහෝ දෙනා නිරෝගි සම වෙනුවට සුදු සම අපේක්ෂා කරනවා. මෙය ඛේදවාචකයක් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයයි. එම නිසා මේ දිනවල නිරෝගි සමෙහි ඇති වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කොට ඇත. "සුදු, කළු, තළෙලු අපි ඔක්කොම දැකුම්කලු" යන්න එහි දැක්මයි. සුදු වීම යන්න පුද්ගල ආකල්ප මත ගොඩනැඟුණු සංකල්පයක්. එය අපට අවශ්‍ය නැති ආකල්පයක්. වඩා වැදගත් වන්නේ ලෙඩ රෝග නොමැති නිරෝගි සමක් තිබීමයි. සුදු සම නොතිබීම ජීවිතය ජය ගැනීමට බාධාවක් නොවේ. එහෙත් ලෙඩ වූ සම ඔබේ අරමුණු අතරමඟ නවතාලයි. ඔබම සිතන්න. අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණයි. සැමදෙන එක්ව මේ ක්‍රියාන්විතයට පණ දෙමු. සුදු සම අපට අවශ්‍ය නොවේ. නිරෝගි සම ඔබගේ ජීවිතය ජයග්‍රහය කරා පහසුවෙන් බාධාවකින් තොරව රැගෙන යයි.