මොන දේ කළත් අධ්‍යාපනයට මුල්තැන දෙන්න සතුට, සැනසුම තියෙන්නේ එතැනයි | සිළුමිණ

මොන දේ කළත් අධ්‍යාපනයට මුල්තැන දෙන්න සතුට, සැනසුම තියෙන්නේ එතැනයි

ශ්‍රී ලංකාවේ ජනගහන විද්‍යාර්ථීන්ගේ සංගමයක්  පිහිටුවීමෙහිලා මූලික වූ  මහාචාර්යවරයා එහි  ආරම්භක ලේකම් ලෙස ද  කටයුතු කළේ ය.  එම සංවිධානය යටතේ පළ කරන ප්‍රජාවිද්‍යාව පිළිබඳ ව ලංකාවේ පවතින එක ම සඟරාව වන ජනගහන විද්‍යාර්ථ­ීන්ගේ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධූරය දරමින් පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් කළේ ද ඔහු ය

මහාචාර්ය සිද්ධිසේනගේ ආදරණීය බිරිය  දේවිකා දමයන්ති  කොළඹ විශ්වවිද්‍යාලයයේ සිංහල පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ හා දර්ශනවේදී  උපාධි ලැබ උපාධිධාරී  ගුරුවරියක් ලෙස බොහෝ කලක් කටයුතු කර විශ්‍රාම  සුවයෙන් පසුවන්නී ය.

 

කොළඹ විශ්වවිද්‍යාලයයේ ප්‍රජාවිද්‍යා දෙපාර්තමේන්තුව නිර්මාණය කරමින් එහි ආරම්භක ප්‍රධානියා ලෙසින් ඒ ආශ්‍රිත විද්‍යාර්ථීන් විශාල පිරිසක් සමාජ ගත කළ සම්මානිත මහාචාර්ය කේ. ඒ. පී. සිද්ධිසේනයන් කලක් කොළඹ විශ්වවිද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨයේ වැඩබලන පීඨාධිපති ද වූයේ ය. ආර්ථික විද්‍යාව පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද, දර්ශනවේදී උපාධිය ද පන්ති සාමාර්ථ සහිත ව ලබාගත් ඔහු ප්‍රජාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගන්නේ ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයෙනි. ජනගහන සැලසුම්කරණය පිළිබඳ ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලයයෙන් විද්‍යාපති සහ ආචාර්ය උපාධි ලබා ගත් ඔහු දෙස් විදෙස් ශාස්ත්‍රීය පර්යේෂණ රැසකට සිය සක්‍රීය දායකත්වය මෙන් ම උපදේශකත්වය ද ලබා දී ඇති ප්‍රකට මහාචාර්යවරයෙකි.

 

"මම උපත ලැබුවේ කොළඹට නුදුරින් පිහිටි මුල්ලේරියාව නව නගරයේ කුඩාබුත්ගමුව ප්‍රදේශයේදී 1948.02.01 දින යි. මගේ මව කොටිකාවත්තේ දෝන මේරි ඇනී හෙට්ටිආරච්චි යි. පියා මාතලේ කොනේ ආරච්චිගේ සිද්ධිසේන යි. මගේ ලොකු අයියා ප්‍රේමචන්ද්‍ර සිද්ධිසේන තුල්හිරිය පෙහෙකම්හලේ ඉහළ කළමනාකාර තනතුරක් දැරුවා. දෙවන අයියා ධර්මසිරි සිද්ධිසේන කොළඹ වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. ඊළඟට අක්කා චිත්‍රානි එංගලන්තයේ බොහෝ කලක් ජීවත් වුණා. පවුලේ බාලයා මම යි."

කොළඹ ලොරන්ස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ද්විතියික අධ්‍යාපනය සඳහා කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වී සාමාන්‍ය පෙළ සමත් ව කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් ව එහිදී කලා විෂයය ධාරාවෙන් උසස් පෙළ සමත් වුණු කොනේ ආරච්චිගේ පද්මසිරි සිද්ධිසේන හෙවත් අපගේ ප්‍රස්ථුතගත මහාචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයයට ප්‍රවේශය ලබන්නේ 1968 දී ය.

"මම කොළඹ විශ්වවිද්‍යාලයයට ඇතුළත් වී පළමු වසරේ විශිෂ්ට ප්‍රතිඵල පෙන්වීම මත ආර්ථික විද්‍යාව සහ භූගෝල විද්‍යාව විෂයයන් දෙක ම විශේෂවේදයට හදාරන්න අවස්ථාව ලැබුණා. මම ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයය හැටියට තෝර ගෙන අනු විෂයය හැටියට භූගෝල විද්‍යාවත් කළා. මම විශේෂ විෂයය හැටියට හැදෑරුවේ කාර්මික ආර්ථික විද්‍යාව යි. මහාචාර්ය ඒ.ඩී.වී. ද එස්. ඉන්ද්‍රරතන, මහාචාර්ය කුමාරි ජයවර්ධන, ආචාර්ය ගාමිණි ජයසූරිය යන අය යටතේ ඉහළ පන්ති සාමාර්ථයක් ද සහිත ව උපාධිය ලැබුවා. උපාධියෙන් පසු මම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවුල් සැලසුම් පර්ෂදය නමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියක සංඛ්‍යා ලේඛනඥයෙකු ලෙස බැඳුණා. මාස හයක පමණ කෙටි කාලයකින් පසුව කොළඹ විශ්වවිද්‍යාලයයේ ප්‍රජාවිද්‍යා පර්යේෂණ හා පුහුණු ඒකකයේ සහකාර කථිකාචාර්යවරයකු බවට පත් වුණා. ඒ 1976 වසරේදී යි. ප්‍රජා විද්‍යාව කියලා විෂයයක් ඒ කාලේ විශ්වවිද්‍යාලයයේ විෂය පාඨමාලාවක තිබුණේ නෑ. මම ඒ ගැන ටික ටික පුහුණු වුණා. ආර්ථික විද්‍යාවයි, ජනගහනයයි සම්බන්ධ කරලා මට හොඳට කතා කරන්න පුළුවන් වුණා. ඒ අතරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයෙන් ව්‍යවහාරික සංඛ්‍යානය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබුවා. 1977දී ඔස්ට්‍රේලියාවට ශිෂ්‍යත්වයක් ලැබුණා. එහිදී ප්‍රජාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයයෙන් මම ලබා ගත්තා. මහාචාර්ය කෝල් වෙල්ඩ්, පීටර් මැක්ඩොනල්ඩ් යනාදී ප්‍රකට ප්‍රජා විද්‍යාඥයන්ගේ ඉගැන්වීම් යටතේ අධ්‍යයන කටයුතු කිරීමට ලැබීම එකට වැඩ කරන්න ලැබීම මහත් භාග්‍යයක් මෙන් ම අත්දැකීම් සම්භාරයක් ද වුණා."

වර්ෂ 1979දී ලංකාවට පැමිණි ඔහු 1983දී නැවතත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙන් ලද ශිෂ්‍යත්වයක් මත දර්ශනශූරී උපාධිය ලබනු වස් ඇමෙරිකාවේ මිචිගන් විශ්වවිද්‍යාලය බලා පිටත් වූයේ ය.

"එහිදී පාඩම් වැඩ කිරීමෙහි කෙළවරක් තිබුණේ නෑ. නිදි වැරීමෙහි කෙළවරක් තිබුණේ නෑ. නින්ද යාගෙන එද්දි නැගිටලා ගිහින් නේවාසිකාගාරයේ ශිෂ්‍ය පොදු කාමරයේ තිබුණු පියානෝව ටික වෙලාවක් වාදනය කරනවා. මං දන්න ස්වරයක් නැතුව හිතුමතේ වැයුවා. අහල පහලින් යන එන අය මගේ දිහා බල බලා ගියා. ඉතින් මට මොකද; මං මානසික විවේකයක් සඳහා පියානෝව ටික වේලාවක් වාදනය කළා. එලෙස මහන්සියෙන් පාඩම් වැඩ කටයුතු කරමින් සූදානම් කර ගත්ත කරුණු විද්වත් මඬුල්ලක් ඉදිරියේ දේශනයක විලාසයෙන් ඉදිරිපත් කරන්නත් වුණා. කෙසේ හෝ අප්‍රමාණ කැපවීමෙන් විද්‍යාපති හා ආචාර්ය උපාධි ලැබුවා. එහිදී ළදරු හා ළමා මරණ පිළිබඳ හොඳ පර්යේෂණයක් කළා. ඒක අවසන් කරලා ලංකාවට එන කාලයේදී ලංකාවේ පැවති කලබල නිසා ලංකාවේ විශ්වවිද්‍යාල වහලා තිබුණා. මේ නිසා වසර පහක් යනතුරු ඇමෙරිකාවේ ඉන්න වුණා. පර්යේෂණ ආයතනවල වැඩවලට සම්බන්ධ වෙමින් ඉඳලා ලංකාවේ විශ්වවිද්‍යාල ආරම්භවෙද්දි මම ලංකාවට ඇවිත් ප්‍රජා විද්‍යාව උපාධිය විෂයයක් ලෙස ප්‍රථම කොට හදාරන්න උපාධි අපේක්ෂකයන්ට අවකාශ සලසා දුන්නා. කොළඹ විශ්වවිද්‍යාලයයේ ඒ අවස්ථාවේ සිටි බොහෝ පිරිසක් ඒ සඳහා සහාය දුන්නා. පසුව ඒ විෂයය පුළුල් කිරීමට කටයුතු කරමින් ප්‍රජාවිද්‍යා පර්යේෂණ හා පුහුණු ඒකකය පරිපූර්ණ දෙපාර්තමේන්තුවක් බවට පත් කළා. එහි පශ්චාත් උපාධි හා පර්යේෂණ ආරම්භ කළා. කොළඹ, මොරටුව, රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර වැනි විශ්වවිද්‍යාලවල ප්‍රජා විද්‍යාව හා පර්යේෂණ විධික්‍රම පිළිබඳ පාඨමාලා උගන්වන්නත් මට ලැබුණා.”

පර්යේෂණ විධික්‍රම, දත්ත විශ්ලේෂණය ආදිය පිළිබඳ ව කොළඹ විශ්වවිද්‍යාලයයේ පමණක් නොව අධ්‍යයන අවශ්‍යතාව මත අනෙකුත් විශ්වවිද්‍යාලවල පවා උපාධි හා පශ්චාත් උපාධි ශිෂ්‍යයන් වෙනුවෙන් ඒ පිළිබඳ පාඨමාලා සකස් කිරීමටත්, ඉගැන්වීමටත් මූලික වූ මහාචාර්ය සිද්ධිසේන එයින් නොනැවතී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහාත් ඒ ඉගෙනුම් අවස්ථාව උදා කර දුන්නේ ය. එපමණකුදු නොවී ජාත්‍යන්තරයට ද සිය දැනුම හා අත්දැකීම් පෘථුල කළ මහාචාර්ය සිද්ධිසේන පර්යේෂණ ගණනාවකට උපදේශක වූයේ ය. ඒ අතරේ එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලවල, ජපානයේ කියෝතෝහි පිහිටි රියුකොකු විශ්වවිද්‍යාලය ඇතුළු ව දෙස් විදෙස් විශ්වවිද්‍යාල රැසකත්, ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආසියා සහ පැසිපික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම, ලෝක බැංකුව, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ආදියෙහි පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක උපදේශකයකු ලෙසත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උපදේශකයකු ලෙසත් සම්බන්ධ වූයේ ය. කොළඹ විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක හැටියට වසර තුනක කාලයක් සේවය කළ ඔහු එම කාලයේදී වෘත්තීය උපදේශනය පිළිබඳ ව උපාධි අපේක්ෂකයන්ට හඳුන්වාදීමට ද කටයුතු කළේ ය. 1998 දී ශ්‍රී ලංකාවේ ජනගහන හා ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයෙහි සාමාජිකයකු ලෙස සම්බන්ධ වී සිය දැනුම ලබා දුන් අතර ශ්‍රී ලංකාව සහ ජපානය ආශ්‍රිත ව ජනතාවගේ වියපත් වීම් පිළිබඳ විවිධ පැතිවලින් පුළුල් සන්සන්ධනාත්මක පර්යේෂණයක් ද සිදු කළේ ය. එසේ ම ශ්‍රී ලංකාවේ ජනගහන විද්‍යාර්ථීන්ගේ සංගමයක් පිහිටුවීමෙහිලා මූලික වූ මහාචාර්යවරයා එහි ආරම්භක ලේකම් ලෙස ද කටයුතු කළේ ය. එම සංවිධානය යටතේ පළ කරන ප්‍රජාවිද්‍යාව පිළිබඳ ව ලංකාවේ පවතින එක ම සඟරාව වන ජනගහන විද්‍යාර්ථයින්ගේ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ධූරය දරමින් පර්යේෂණ පත්‍රිකා රැසක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය සිද්ධිසේනයන් කටයුතු කළේ ය.

"ලෝකයේ විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ විෂය ප්‍රාමාණිකයන් සමඟ වැඩ කරන්න, ඔවුන්ගේ අත්දැකීම් ලබාගන්න මට අවස්ථාව ලැබුණා වගේ ම මගේ දැනුමත් ඔවුන්ට ලබා දෙන්න මට හැකි වුණා. තවමත් මම විශ්වවිද්‍යාලවල දේශන පවත්වනවා. සිනෙක්, එන්.අයි.බී.එම්. වගේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කිහිපයකත්, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල අනුබද්ධිත ආයතන රැසකත් බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ආයතනයේ වැඩමුළුවලට සම්බන්ධ වෙලා දේශන පවත්වනවා.

සමීක්ෂණ පර්යේෂණ ආයතනවල සමීක්ෂකයකු වශයෙන් සම්බන්ධ වෙලා කටයුතු කරනවා"

මහාචාර්ය සිද්ධිසේනගේ ආදරණීය බිරිය දේවිකා දමයන්ති කොළඹ විශ්වවිද්‍යාලයයේ සිංහල පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ හා දර්ශනවේදී උපාධි ලැබ උපාධිධාරී ගුරුවරියක් ලෙස බොහෝ කලක් කටයුතු කර විශ්‍රාම සුවයෙන් පසුවන්නී ය. ඔවුන් දෙදෙනාට දයාබර දරුවන් තිදෙනෙකි. ඒ බුද්ධික, දුලානි හා දුල්සර ය.

"අපේ ලොකු පුතා බුද්ධික කොළඹ විශ්වවිද්‍යාලයයේ තොරතුරු තාක්ෂණය උපාධිය ලබා ටික කාලයක් කොළඹ විශ්වවිද්‍යලයයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. දැන් ඔහු ඇමෙරිකාවේ තොරතුරු තාක්ෂණ ආයතනයක ප්‍රධාන කළමනාකරු ලෙස එහි සිටිනවා. දුව දුලානි ළමා වෛද්‍ය විශේෂඥ උපදේශකවරියක් ලෙස ඔස්ට්‍රේලියාවෙ කටයුතු කරනවා. අපේ බාල පුතා, දුල්සර එවෝන් ජාත්‍යන්තර ආයතනයේ ජ්‍යෙෂ්ඨ යටිතල පහසුකම් ඉංජිනේරු ලෙස රැකියාව කරනවා. පුතාලා දෙන්නා ම ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට යි. බිරියයි, මම යි මහ ගෙදර විශ්‍රාම සුවයෙන් ඉන්නවා. මට නම් ඇත්තට ම දේශන, පර්යේෂණ, උපදේශන නිසා විවේකය නම් බොහොම අඩුයි.

විවේකයක් වුණත් පොතක් පතක් එක්ක ගත කරන්න දැන් හුරුවෙලා. පාසල් කාලේ ඉඳලා ම මම අධ්‍යානපනයට නැඹුරු වූ කෙනෙක් වුණත් පාසල් විවාද කණ්ඩායමේ දිගට ම හිටියා. නාලන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේත්, ආනන්ද විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා ලෙසත් මම කටයුතු කළා. කථික තරග ගණනාවකින් ජයග්‍රහණ ලැබුවා. කොටිකාවත්ත ශ්‍රී විමලාරාම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ඉහළට ම ලබලා එහි ගුරුවරයෙක් ලෙසත් කටයුතු කළා. මගෙ ජීවිතයේ මට හමු වූ බොහෝ ගුරුවරු මගේ පෙර මඟ එකලු කළා. ශ්‍රී ලංකාවේ දරුවන්ට මං කියන්නේ මොන දේ කළත් අධ්‍යාපනයට මුල්තැන ලබා දෙන්න කියා යි. ප්‍රධාන දේ තමයි ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණය හොඳින් ඉගෙන ගන්න ඕනේ. අපි ඉගෙන ගන්න ඕනේ රැකියාවක් සඳහා ම කියලා නෙවෙයි. නමුත් හරියට ඉගෙන ගත්තොත් හොඳ රැකියා එකක් නෙවෙයි දෙක තුනක් වුණත් එකට කරන්න ලැබෙනවා. ඒ නිසා ඉගෙන ගන්න කාලේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරන අතර ම හොඳ කැපවීමකින් හරියට ඉගෙන ගන්න ඕනේ. ජීවිතයේ සතුට සහ සැනසීම තියෙන්නේ අධ්‍යාපනයේ යි."

Comments