මම කවියෙක් කියා හඳුන්වා දෙන්න අදටත් බයයි | Page 2 | සිළුමිණ

මම කවියෙක් කියා හඳුන්වා දෙන්න අදටත් බයයි

ජීවත් වෙලා ජීවත් වෙන මිනිස්සුන්ගෙ හා මැරිලා ජීවත්වෙන මිනිස්සුන්ගෙ වෙනස හඳුනගන්න මගේ රැකියාව මට ලොකු පිටිවහලක්

අතීතයෙත් වර්තමානයෙත් වගේම අනාගතයෙත්  කවීන් අතින් ප්‍රේමය ගැන ලියවේවී.  විශාල හදවත් ඇත්තන් ඒ ප්‍රේමය කියවාවි

 

ඔහු නමින් ඉලක්ෂ ජයවර්ධන ය. කඩා වැටෙන තරුවක් කාව්‍ය ග්‍රන්ථය ඔස්සේ බොහෝ දෙනකු ඔහුව හඳුනා ගන්නා අතර ඒ පන්නරය ඔස්සේම ඔහු ගේය පද නිර්මාණයන්ට ද යොමු වන්නේය. දැනට ආරක්ෂක අංශයේ රැකියාවක නිරත වන ඉලක්ෂ එයින් ලැබෙන අත්දැකීම්ද සිය නිර්මාණ සඳහා යොදා ගන්නේ ය. අද සිළුමිණ කතාබහ ගේය පද රචකයකු වන ඉලක්ෂ ජයවර්ධන සමඟයි.

 

ඔබ ලේඛන ක්ෂේත්‍රයට පිවිසෙන කාලය පිළිබඳ කතා කළොත්?

මම ලියන්න පටන් ගත්තෙ අවුරුදු පහළොවකට විතර කලින්. ඒ කියන්නෙ පාසල් කාලයේ ඉඳන්ම. පෙම් හසුන් වලට ලියපු කවි වලින් තමයි මගේ සාහිත්‍ය ගමන ආරම්භ වුණේ. ඒ තරම් පොඩි වයසෙදිම ජීවන ගමනේ වෙහෙස නිවාගන්න මේ වගේ මාවතක් වෙත යොමුවීම ගැන මට මම ගැනම නිහතමානී සතුටක් තියෙනවා. එතනින් එහාට ටිකෙන් ටික කවිය අතපත ගාමින් සෙමින් ගමනක් ඇවිත් තිබෙනවා.

 

ඔබ ලිවීමේදී ප්‍රධාන වශයෙන් වස්තු බීජය වශයෙන් තෝරා ගන්නෙ කුමක්ද?

ප්‍රේමය හා මානුෂීය සබඳතා ගැන තමයි මගේ අතින් වැඩිපුරම ලියැවෙලා තියෙන්නෙ. ජීවත් වෙන්න ජලය ඔක්සිජන් ඕනේ වගේ අපිට අවශ්‍යම දෙයක් තමයි ප්‍රේමය කියන්නෙ. මම හිතන්නෙ නෑ අපි කාටවත් ප්‍රේමයට නිර්වචන දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අතීතයෙත් වර්තමානයෙත් වගේම අනාගතයෙත් කවියන් අතින් ප්‍රේමය ගැන ලියවේවී. විශාල හදවත් ඇත්තන් ඒ ප්‍රේමය කියවාවි.

 

කඩා වැටෙන තරුවක් ලියන්න පදනම වැටෙන්නෙ කොහොමද?

ඒ 2018 අවුරුද්ද. ධර්මසිරි ගමගේ අනුස්මරණ සාහිත්‍ය තරගාවලියට මම මගේ කාව්‍ය ග්‍රන්ථ අත්පිටපත යොමු කළා. එය එම අංශයේ ප්‍රථම ස්ථානය ලබාගන්න සමත් වුණා. ඒත් මම එම අත්පිටපත පොතක් ලෙස එළිදක්වන්න අදහස් කළේ නෑ. නමුත් ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩයන්ගේ හා සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැදිහත්වීම මත 'කඩාවැටෙනා තරුවක්' නමින් මගේ කුලුඳුල් කාව්‍ය ග්‍රන්ථය සන්ථව ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණා. එවැනි උස් ගස්වල සෙවණ යට වැඩෙන්න මම වාසනාවන්ත වුණා. එය මගේ කාව්‍ය ගමනට මහත් ආලෝකයක්

 

ගී පද රචකයෙක් විදියට කොහොමද ඔබ මතුවෙන්නේ

ගීත කිහිපයක් මේ වන විට නිර්මාණය කරල තියෙනවා. ඒ අතරින් 'කඩාවැටෙනා තරුවක්' කෘතියෙත් අන්තර්ගත වුණ 'සොඳුර ඔබ' කාව්‍ය තමයි මුලින්ම ගීතයක් බවට පත් වුණේ. එය ගායනා කළේ ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක. ඒ වගේම මේ දිනවල සිරස TV නාළිකාවේ විකාශය වන 'නීල පබළු' ටෙලි නාට්‍යයේ තේමා ගීතයක් ද මා රචනා කළා. එය ගායනා කරන්නෙ ගායන ශිල්පිනී අමිලා නදීශානි විසින්. ඒ වගේම ඉදිරියේදී තවත් ගීත නිර්මාණ කිහිපයක් සිදු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිර්මාණකරණයට මොනවගේ තැනක් ද ඉලක්ෂ ලබාදීලා තියෙන්නෙ?

මම වෘත්තීමය වශයෙන් ලේඛකයෙක් නෙමෙයි. ඕනෑම දෙයකට වෘත්තීයමය වටිනාකමක් වගේම කැපවීමක් තියෙන්න ඕන. ඒ වගේම කොලිටි එකක් බ්‍රෑන්ඩ් එකක් තියෙන්න ඕන කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. මම කරන දෙයට උපරිම සාධාරණයක් කරන්න මම නිතරම උත්සාහ කරනවා. මම කවියෙක් කියා හඳුන්වා දෙන්න අදටත් මම බයයි. නමුත් කෙනෙක් මම කවියෙක් විදියට හඳුන්වන අවස්ථාවල මම එයින් සතුටු වෙනවා. මොකද මාව එහෙම කෙනෙක් හඳුන්වන්නෙ මම කවියට අවංක වුණ නිසා වෙන්න ඇති කියලා මගේ හිත කියනවා.

 

රැකියාවෙන් ලැබෙන අත්දැකීම් නිර්මාණකරණයට බලපෑම් කරන්නෙ කොහොමද?

මම නිරත වෙන්නෙ තරමක් අවිවේකී රැකියාවක. නමුත් එයට අනුලෝමව මට ජීවන අත්දැකීම්, සමාජයෙ අහුමුලුවල වෙසෙන විවිධ චරිත බොහොමයක් මුණගැසෙනවා. ජීවත් වෙලා ජීවත් වෙන මිනිස්සුන්ගෙ හා මැරිලා ජීවත්වෙන මිනිස්සුන්ගෙ වෙනස හඳුනගන්න මට ලොකු පිටිවහලක් වුණේ මගේ රැකියාව. ඒ නිසා මම රැකියාවට හරි ආදරෙයි.

 

එහෙම අත්දැකීමකින් ලියවුණු දෙයක් පිළිබඳ කතා කළොත්?

ඉපද්දෙදි අපි කිසි කෙනෙක් වෛද්‍යවරයෙක්, කවියෙක්, අපරාධකාරයෙක් විදියට ඉපදෙන්නෙ නෑනෙ. අපි ඉපදුණාට පස්සෙ මේ සමාජය විසින් තමයි මේ කියූ හැම චරිතයක්ම බිහිකරන්නෙ. ඉතින් එහෙම බිහි කරපු චරිතයක් ගැන මගේ අතින් කවියක් ලියවුණා.

අම්ම ඇවිදින් ගමක බැද්දෙන්

තෙමුණ හින්දා කොළඹ වැස්සෙන්

මාව මෙලොවට ඇවිත් තිබුණලු

තාත්තකුගේ අත්වැරැද්දෙන්....

 

ඔබගේ කවි, ටෙලිනාට්‍යවලත් යොදා ගන්නවා. ඒ ගැන ඔබට කොහොම හැඟීමක්ද දැනෙන්නෙ?

ඇත්තටම ඒක ලොකු සතුටක්. සාමාන්‍යයෙන් දැන් ටෙලිනාට්‍ය සඳහා කවි යොදාගැනීම සිදුවන්නෙම නැති තරම්. ඉතින් එහෙම කාලයක කවිය හා ටෙලිනාට්‍ය කියන බැඳීම සිදු කළ පුද්ගලයා වෙන්න ලැබීම මට ලැබුණ වටිනාකමක්. කාව්‍ය රචනය කියා ටයිටල් එකක් ටෙලිනාට්‍යයක් විකාශනය ආරම්භයේ තිරයේ දිස්වීම ප්‍රේක්ෂකයන්ටත් නුහුරු අත්දැකීමක්. සුපුන් රත්නායක අධ්‍යක්ෂණයෙන් දායක වුණ සිරස නාළිකාවේ විකාශය වූ 'අඩෝ’ ටෙලිනාට්‍යට වගේම පෙබරවාරි 14 දින සිට ජාතික රූපවාහිනියේ විකාශනය අරඹන 'තුන්පනේ' ටෙලිනාට්‍යටද කාව්‍ය රචනයෙන් දායක වෙන්න ලැබීම මගේ සාහිත්‍ය ගමනේ වෙනමම පරිච්ඡේදයක්.

 

වෘත්තියයි ලේඛනයයි දෙකම එකවිට කිරීම අපහසුයිද?

මම ඒ දෙකම ආයාසයක් ගෙන නෙමෙයි සිදුකරන්නේ.ඉතින් මට තවමත් කිසිම මොහොතක එහෙම අපහසුවක් දැනිලා නෑ.ඒ වගේම මම නිදහසේ ඉන්න වෙලාවට වෘත්තිය හෝ ලේඛනය කියන දේ මගේ හිස මත තියාගන්නෙ නෑ.මම ගොඩක්ම කැමති නිදහසේ හුදකලාව ඉන්න.ඒ නිසා ඇතැම් විට මගේ මනස පෙළන පීඩනයන් මට ලොකු හානියක් කරන්නෙ නෑ.

 

වර්තමානයෙ සුභාවිත ගීතයට තිබෙන තැන පිළිබඳ ඔබේ අදහස?

සුභාවිත කියා යමක් නම් කරන මිනුම් දණ්ඩක් ගැන නම් මට හිතාගන්න බෑ. නමුත් මම එක දෙයක් දන්නවා. අපි යම් නිර්මාණයකට අවංක වෙලා හොඳ දෙයක් කළොත් එය සහෘදය ප්‍රේක්ෂක පිරිසක් වැලඳ ගන්නවාමයි. රබර් බෝලයක් කවදාවත් වතුර යට තියන්න බෑ වගේ හොඳ නිර්මාණ කවදාක හරි මතුවේවි. ඒ විශ්වාසය තියෙනවා.

 

Comments