
“හචිකෝ“ නමින් හොලිවුඩයේ ද, ජපානයේ ද අතිශය ජනප්‍රිය සිනමාපට තැනී ඇත. ජපන් කෞතුකාගාරයේ ද හචිකෝගේ රුව නිමවා ඇත. තම ස්වාමියා නිදන සොහොනේ ඊට යාබද ව පිහිටියේ හචිකෝ ගේ ස්මාරකය කි
මේ බලු කතාව බල්ලාගේ ශ්‍රෙෂ්ඨත්වය වෙනුවෙනි.... ජපානයේ තෝකියෝ නගරාශ්‍රිත ෂිබූයා දුම්රිය ස්ථානය අසල බල්ලෙකුගේ ස්මාරකයක් වෙයි. ඒ බල්ලාගේ රුව රැගත් සිතුවම් වලින් එහි තාප්පය ද සරසා ඇත. තම ස්වාමියා වෙනුවෙන් වූ ප්‍රේමය සටහන් කළ දෑසක් සහිත මේ බල්ලාගේ ප්‍රතිමාව සෑම දෙනෙකුම හමුවන්නට යොදා ගන්නා ස්ථානයකි. ප්‍රේමය ජනිත වන, ප්‍රේමය බෙදන, ප්‍රේමය උතුරන, ප්‍රේමය බදා වැලඳගන්නා මේ ස්ථානය සෑම විටෙකම ජනාකීර්ණ ය. ජපානයට පැමිණෙන බොහෝ සංචාරකයන් මේ බලු හන්දියට පැමිණ මේ සුනඛ අනුරුව සමඟ ඡායාරූප ගනිති. මතක සටහන් තබා ගනිති. මොහොතක් ඒ අසල ගත කරති. මම ද එයින් කෙනෙක් මි.
කවුද මේ බල්ලා !
බලු පරපුරම ඉතා ඉහළ තලයකට පත් කළ මේ බලුවාගේ නම “ හචිකෝ “ ය. ජපාන ජනතාව “ හචිකෝ මෝ “ යනුවෙන් අමතනුයේ ගෞරවය හැඟවීම සඳහා ය. හචිකෝ උපන්නේ වර්ෂ 1923 දී ය. අකිතා වර්ගයට අයත් හචිකෝව හදා වඩා ගනු ලැබුවේ මහාචාර්යවරයකු වන හිදෙසබුරෝ උයෙනො විසිනි. ඔහු ජිවත් වූයේ ද ෂිබූයා දුම්රිය ස්ථානය අසබඩ ගම්මානයක ය. සෑම දිනෙකම උදෑසන දුම්රියට නැගීම සඳහා මහාචාර්යවරයාගේ පැමිණීම මෙන්ම ඔහුත් සමඟ පැමිණෙන හචිකෝ ද සැමට සුපුරුදු දසුනක් විය. මහාචාර්යවරයා තෝකියෝ විශ්වවිද්‍යාලයට යෑම සඳහා දුම්රියට ගොඩවුණු පසු මේ හචිකෝ නැවත නිවෙස බලා යනු ද, සවස හතරට කලින් හචිකෝ දුම්රිය පොළට පැමිණ තම ස්වාමියා එනතුරු දුම්රිය ස්ථානයේ රැඳී සිට මහාචාර්යවරයා පැමිණි පසු ඔහු සමඟ ම නිවෙස බලා යනු ද කාලසටහනකට මෙන් ම කෙරුණු දෛනික චාරිකාවක් මෙන් විය. ඔවුන් දෙදෙනා වෙන් කළ නො හැකි ලෙස බැඳී සිටියහ.
වර්ෂ 1925 මැයි මස 25 වැනි දිනත් උදෑසන මහාචාර්යවරයා දුම්රිය ස්ථානයට ඇරලවීමට පැමිණි හචිකෝ නැවත නිවසට ගියේ සවස එහි නැවත එන බලාපොරොත්තුවෙනි. නියමිත පරිදි සවස හතරේ දුම්රියෙන් බට මිනිසුන් අතර තම ස්වාමියා නැති බව හචිකෝ නො ඉවසිලිමත්ව බලා සිටියේ ය. නමුත් ඔහු පැමිණියේ නැත. දෛවය එදින මහාචාර්යවරයාට නැවත ඒ දුම්රිය පොළට පැමිණීමට අවකාශ සැලසුවේ නැත. එදින විශ්වවිද්‍යාලයේදී සිය මොළයේ නහරයක් පිපිරීමෙන් ඇතිවූ අභ්‍යන්තර රුධිරය ගැලීමේ හේතුවෙන් ඔහු සිය ජිවිතයෙන් සමුගෙන තිබුණි.
නමුත් තම ස්වාමියා මිය ගිය පුවත පිළිගැනීමට හචිකෝ සුදානම් වූයේ නැත.එන එන දුම්රියෙන් තම ස්වාමියා පැමිණෙතියි හචිකෝ බලා සිටියේ ය. දින ගණන් ගෙවී ගියේ ය. නමුත් හචිකෝ එලෙස ම ය. හිරු නැඟෙනා පැයේ සිට ඉර අවරට යන තුරු ද දවසක් ගෙවී දවසක් ලබන තුරු ද හචිකෝ තම දීප්තිමත් දෙනෙතින් තම ස්වාමියා එන පෙරමඟ බලා සිටියේ ය. මහාචාර්යවරයා ජිවත් වූ වටපිටාවට ඔහු ව අමතක වී ගිය ද සිය සුවිසල් ප්‍රේමය තම ස්වාමියා වෙත පුදනු අටියෙන්, මහා දහවලේ ගිනි ගහන අව්වේ ද , හිම මිදෙන සීතලේ ගැහෙමින් ද , හචිකෝ ප්‍රේමය නොමැති ලොවට ප්‍රේමය යනු කීමැ යි කියා දෙමින් සිය දෙනෙත අඩවන් වනතුරු ද තම ස්වාමියා නැවත දැකගැනීමේ බලාපොරොත්තුවෙන් බලා සිටියේ ය. ඉතාමත් නොඉවසිල්ලෙන් දුම්රියෙන් යනෙන මිනිසුන් අතර තම ස්වාමියා සොයන හචිකෝ මුළු මහත් ෂිබූයා නගරයේම ජනප්‍රිය චරිතය බවට පත්විය. දරුවන් ඔහු ව දුටු මනතින් හඳුනා ගත් හ. මහජනයා හචිකෝ ගේ සුව දුක් විමසන්නන් බවට පත් වූහ. හචිකෝ ගැන පුවත්පත් වාර්තා පළ විය. දුර පළාත්වලින් හචිකෝ බලන්නට ප්‍රේමය හඳුනාගනු රිසි ජනයා පැමිණෙන්නට විය. මේ කිසිවක් නො පැතූ හචිකෝ සිය ස්වාමියා එනතුරු බලා සිටියේ ය. කාලය ගෙවී ගියේ ය. අවසානයේදී , වසර නවයක් තිස්සේ තම ස්වාමියා වෙත අපරිමිත සෙනෙහසක් පෙරදැරිව මඟ බලා සිටි හචිකෝ වර්ෂ 1934 දී එක් උදෑසනක දුම්රිය ස්ථානය අබියසදී ම මෙලොව හැර ගියේ ෂිබූයා නගරය ම සෝ සයුරක ගිල්වමිනි.
ප්‍රේමාන්විත ජනතාව විසින් හචිකෝ අනුස්මරණය කිරීම පිණිස විශාල කරන ලද හචිකොගේ අනුරුවක් දුම්රිය පොළ අසල පිහිටුවා ගත්තේ ඔහුව සදාකාලයටම ජනතාවගේ සිත් සතන් තුළ රැඳවීමේ අපේක්ෂාවෙනි. වර්ෂ 1936 අප්‍රේල් 8 වැනිදා සිට සිට අද දක්වාම සෑම වසරකම අප්‍රේල් 8 වැනිදා හචිකෝ වෙනුවෙන් උත්සවයක් ෂිබූයා දුම්රිය ස්ථානයේදී පවත්වනු ලබයි. පක්ෂපාතිත්වයේ ගුණ පිළිබඳ මෙහි දෙසුම් පැවැත්වෙනු ඇත.
දෙවන ලෝක සංග්‍රාමය අවදියේදී ජපන් රජය වෙඩි උණ්ඩ සෑදීම සඳහා හචිකෝගේ දැවැන්ත රුව උණුකොට එහි තඹ භාවිතයට ගත් නමුත් යුද්ධයේ නිමාවත් සමඟම වර්තමානයේ එහි ඇති පිළිරුව නැවත නිර්මාණය කරවා ගන්නට යෙදුණි.
වර්තමාන සමාජයේ දී දරුවකු උපත ලද විට හචිකෝ මෝ ගේ කුඩා වර්ගයේ අනුරුවක් අලුත උපන් දරුවාට තෑගි පිණිස දීම සම්ප්‍රදායට එක්වී ඇත. සතුට , දිගුකල් ජීවත් වීම, සහ මනා සෞඛ්‍යය මෙමඟින් නිරූපණය කෙරේ යැයි ජපන් සමාජය අදහති.
“ හචිකෝ “ නමින් හොලිවුඩයේ ද ජපානයේ ද අතිශය ජනප්‍රිය සිනමාපට තැනී ඇත. ජපන් කෞතුකාගාරයේ ද හචිකෝගේ රුව නිමවා ඇත. තම ස්වාමියා නිදන සොහොනේ ඊට යාබද ව පිහිටියේ හචිකෝ ගේ ස්මාරකය කි.
ප්‍රේමයක් නැති ලොවකට ප්‍රේමය මේ යැයි පවසන්නට මෙන් නගරයේ සිට දුම්රිය දෙස බලා සිටින හචිකෝ ගේ රුව චිරාත් කාලයක් ෂිබූයා නගර මධ්‍යයේ නැඟී සිටිනු ඇත. කලකින් නොදුටු පෙම්වතුන් ඒ ස්මාරකය අසලදී ගිවිසගත් පරිදි නැවත හමුවනු ඇත. බල්ලකු මෙන් ජීවත් විය හැකි ද යන්න පිළිබඳ නැවත සිතිය යුත්තේ, ආදරයෙන් ලොව දෙස බැලූ නෙතක් කිසිදා ජනතා හදවතෙන් මැකී නො යන හෙයිනි.
හචිකෝ කියන්නේ එයයි.....!