දැන් දුවට ටිකක් තේරෙන නිසා අපි ආයෙත් කලා කටයුතු පටන් ගත්තා | Page 2 | සිළුමිණ

දැන් දුවට ටිකක් තේරෙන නිසා අපි ආයෙත් කලා කටයුතු පටන් ගත්තා

අපි දෙන්නා කොහොමත් ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගත්ත අය නෙවෙයි

මොන දේ කළත් වැඩක් නැහැනේ හිත ලස්සන නැත්නම්

ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණියම යුවළක්. ආදරණීය පුංචි දියණිය නිසා කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටියත් හැමදාම ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන මේ දෙන්නාම එකතු වෙලා සතියේ දිනවල උදෑසන ඔබේ ආලින්දයට එන්නේ 'ජිවිතයට ඉඩ දෙන්න' වැඩසටහනෙන්. සිළුමිණ - රසඳුන මේ කතාබහ අනුර -ඉෂාරා දෙදෙනා සමඟ.

 

මේ දවස්වල දෙන්නම ඉන්නේ ජිවිතයට ඉඩ දීලා නේද

ඇත්තටම ඔව් සිරසේ 'ජිවිතයට ඉඩ දෙන්න' වැඩසටහන සතියේ දවස් හතරක් අපි දෙන්නම උදේ 7.30ට වැඩසටහන කරන නිසා වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ වැඩේට. ලංකාවේ පළවෙනි වතාවට තමයි හස්බන්ඩ් සහ වයිෆ් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. දෙන්නම එක්ක නිවේදන කරනවා කියන එක අපේ හීනයක් වෙලා තිබ්බා. කොහොමහරි ඒකට වාසනාව උදා වුණා. මේ වෙද්දී ඉහළම ප්‍රතිචාර ලැබෙනවා.

 

අනුර කොහොමද ඉෂාරා එක්ක වැඩසටහන් කරන්න පහසුද?

මට ඒක වඩාත් පහසුයි. ගෙදරදී පවා අපි මොනවද ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට අලුතෙන් එකතු කරන්නේ වගේ දේවල් කතා වෙනවා. පොඩි පොඩි මත ගැටුම් තියෙනවා; ඊළඟ එකට මෙහෙම කරමු; නැහැ ඒක හරි නැහැ වගේ දේවල්. නමුත් අන්තිමට අපි දෙන්නා එක මතයකට ඇවිත් එන ආරාධිතයන් පවා සතුටු වන වැඩසටහනකින් ඒ දවස නිමා කරනවා.

 

අනුර නීතිඥවරයෙක්නේ, දැන් උසාවි යන්නේ නැද්ද?

මම කම්පැනි පැත්තේ සහ ඔප්පු වැඩ තමා වැඩිපුර කරන්නේ. දවස ගානේ උසාවි යන්න වෙන්නේ නැහැ. ඒ නිසා කාලය මට හොයාගන්න පුළුවන්. කලාවට ආදරේ නිසා කලාවත් එක්කත් ඉන්න ගමන් ඉගෙන ගත්ත පැත්තෙන් කරන්න පුළුවන් වැඩ ටික ඉදිරියටත් කරගෙන යනවා.

 

ඉෂාරා ළඟදී රංගනයට සම්බන්ධ වුණේ නැද්ද?

බබා නිසා අපි දෙන්නම කලාවෙන් ඈත් වෙලා හිටියේ. මොකද දුව ව අපි දෙන්න ම තමා බලා ගත්තේ. මොකද අපිට ඕනේ වුණා දුවට දෙමාපියන් ළඟින්ම ඉන්න ඕනේ කාලය කුඩාම කාලය නිසා දුව වෙනුවෙන්ම වෙන් කරන්න. දැන් දුවට අවුරුදු 4යි. දැන් චුට්ටක් තේරෙන නිසා හිතුවා කලා කටයුතු පටන් ගන්න. දිගටම ආරාධනා නම් ලැබුණා නිර්මාණවලට. අපි දෙන්නා කොහොමත් ලැබෙන හැම නිර්මාණයක්ම බාර ගත්ත අය නෙවෙයි. මම වෛද්‍යවරියක් විදියටත් අනුර නීතිඥවරයෙක් විදියටත් වැඩ කරන ගමන් තමා මේ කලා කටයුතු කරන්නේ.

 

ඉෂාරා ලස්සනට හැඩට ඉන්න රහස මොකක් ද?

ඒ රහස නම් දැන් රහසක් නෙවෙයි. මම ආයුර්වේද වෛද්‍යවරියක් විදියට කලා ක්ෂේත්‍රය එක්ක මම ගොඩක් නැඹුරු වුණේ රූපයේ සුන්දරත්වය වඩවාගන්නේ කොහොමද කියන එකට. ඒ දේවල් මම අනුගමනය කළා. ප්‍රතිඵල අත්වින්දා. දැන් මගේ යූ-ටියුබ් නාළිකාව මඟින් ඒ දේවල් ලස්සන වෙන්න කැමති අය එක්ක බෙදා ගන්නවා. ඒ එක්කම මම නිතරම හොඳින් වතුර බොනවා. එළවළු, පලතුරු කනවා; ව්‍යායාම කරනවා. ඒ වගේම ලොකු ම රහස හිත පිරිසිදුවට තියා ගන්න එක. මොන දේ කළත් වැඩක් නැහැනේ හිත ලස්සන නැත්නම්.

 

මේ වෙද්දී ඉෂාරා ව්‍යාපාරිකාවක් නේද?

ජිවත් වෙන්න සල්ලිත් එපැයි. ඒ නිසා පොඩ්ඩක් හිතුවා ව්‍යාපාර පැත්තටත් යොමුවෙන්න. ඒ තමා ආයුර් වේ (AyurWay) නමින් ලස්සන වෙන්න ඕනේ කරන ආයුර්වේද නිෂ්පාදන වෙ‍ෙළඳපළට නිකුත් කරන ව්‍යාපාරයක්.

 

ඉෂාරා ට සිනමාවට ආරාධනා නැද්ද

බොරු කියන්න ඕනේ නැහැනේ. සිනමාවට නම් එහෙම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබිලා නැහැ. ඇත්තටම මම ආසාවෙන් ඉන්නවා සිනමාවට සම්බන්ධ වෙන්න. බලමු ඉදිරියට හරි හොඳ ආරාධනාවක් ආවොත් බාර ගන්න සූදානමින් ඉන්නවා.

 

දුවත් කලාවට සම්බන්ධ වෙනවටද කැමති

ඒක ඇත්තටම තවම අපිට හරියටම කියන්න බැහැ. මොකද එයාටම හිතිලා කැමැත්තෙන් කලාව තෝරා ගත්තොත් අපි දෙන්න උපරිම සහයෝගය දෙනවා. නමුත් තවම වයස අවුරුදු 4ක් නිසා ඉදිරියට කොහොම වෙයිද කියන්න බැහැ. සමහර දවස්වලට ෆොටෝ එකක් ගමු කිව්වත් එන්නේ නැහැ. තව දවස් තියෙනවා එයාම කියනවා අපි ෆොටෝ ගමුද සෙල්ෆි එකක් ගමුද කියලා. ෆොටෝ වලට ලස්සනට පෙනී ඉන්න දන්නවා. එයාගේ වයසට හොඳට කතා කරන්න පුළුවන්. ඒ නිසා කලා හැකියාවන් තියෙනවා කියලා අපි දන්නවා. නමුත් එයා මොන ක්ෂේත්‍රය තෝරා ගනීද කියන්න බැහැ.

Comments