
ගීතාලංකාරය - ප්‍රවීණ ගී පද රචක ධම්මික බණ්ඩාර
මං මගේ ජීවිතයේ සමීපවම ඇසුරු කළ ගීත රචකයා අජන්තා රණසිංහයන්. ඔහු මට වඩා වයසින් වැඩිමල් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඒත් ඔහු ටිකින් ටික මට සහෝදරයකු පියකු බවට පත්වෙනවා. ඒත් එතුමා කවදාවත් මට සින්දු ලියන්න කියලා උනන්දු කළේ නැහැ. ඔහුට මට නිතරම කිව්වෙ සින්දු කියන්න කියලා.
හුඟක් රචකයො තමන්ගෙ නිර්මාණ කරන්නෙ රාත්‍රි කාලෙ. ඒත් අජන්තා රණසිංහයන් සින්දු ලියන්නෙ පාන්දර. ඔහු අවදිවෙන්නෙ පාන්දර හතරට විතර. ඔහුත් සමඟ අවදිවන සරෝජි අක්කා තේ එකක් ගෙනත් දෙනවා. ඇය ඊට පස්සෙ පාසල් යන ඇගේ දරුවන්ට උදේට උයන්න පටන් ගන්නවා. උදේ හය වෙනකොට බාර ගත්ත සින්දු ලියල ඉවරයි. සමහර දවස්වල මේ සින්දු අරන් යන්න උදෙන්ම ගෙදරට ගායක ගායිකාවො එනවා. ඒ මොනව වුණත් උදේ 9 වෙනකොට එතුමන් තමන් රාජකාරි කළ ලේක්හවුස් ආයතනයට එනවා.
හින්දි තනුවලට වගේම ස්වාධීන තනුවලට ගීත ලියන්න එතුමන් උපන් පහන්කමක් පෙන්නුවා. නිදසුනක් ලෙස "රවි" නැමැති උත්තර භාරතීය සංගීතඥයාගෙ තනුවකට මොහොමඩ් රාෆි ගැයූ ගීයකට ඔහු සිංහල වචන පොවනවා.
"නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ"
(එච්.ආර්. ජෝතිපාල)
"තරු අරුන්දතී" ගීතය එතුමන් රචනා කරන්නෙ ස්ටැන්ලි පීරිස් මහත්තයගේ තනුවකට. තනුවක් තමන්ට අහන්න ලැබුණම අජන්තා රනසිංහයන් ඒ තනුව තුළ කිමිදෙනවා. මේ තනුව තුළ තිබෙන්නේ ප්‍රේමයේ සම්ප්‍රයෝගය ද නැතිනම් විප්‍රයෝගය ද යන්න ඔහු පහසුවෙන් සොයා ගන්නවා. ඇතැම්විට මේ අන්ත දෙකෙන්ම පරිබාහිර තේමාවකට ඔහු ප්‍රවේශ වෙනවා.
තරු අරුන්දතී ගීතය තුළ තිබෙන්නෙ ප්‍රේමයේ විරහව මුසු මනෝභාවයක්. මේ පෙම්වතිය ඔහුට හිමි වී නැහැ. ඒත් ඔහු රාත්‍රිය පුරා ඇය සමඟ මනසින් ජීවත් වෙනවා. මේ රාත්‍රිය ශෝකී සුන්දරත්වයක් මවන රාත්‍රියක්. අරුන්දතී තරුව දුර ඈත මුනිවත රකින මොහොතක තුරුලතාවන් අතු අඟින් පිනි බිංදු සලනවා.
"තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
වග වනස්පතී ලිය ළදැල්ලකින්
පිනි පොදක් හෙමින් සලනා"
ඒ අතරින් ඇය පිළිබඳව අතිත මතකන් ඔහු ඉදිරියේ මැවෙනවා. ඒ අතිශයින් වේදනාබර වූ මතක. ඒ වේදනාව පරිසරය ආශ්‍රයෙන් සංකේතාත්මකව ඉදිරිපත් කිරීමට රචකයා සමත් වෙනවා.
"ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුළක පැල්ලම් ඉරි ඇඳුනා
අලුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ බොල් හුළගේ
මට තනියක් දැනුනා"
ඈ පිළිබඳව මතකයන් රැඳි වීදුරු කවුළුවේ කඳුළක ඉරි පැල්ලම් ඇඳී යනවා. ගස්වල මල් පිපී සැලුණ ද ඒවා පිසගෙන එන්නේ බොල් හුළඟකි. ඒ බොල් හුළඟ ගෙන එන්නේ පාළු තනිකමකි.
ඒත් මේ සිහිනයේ ඔහුට කිමිදෙන්නට ලැබෙන්නේ රැය පහන්වන තුරු පමණයි. ඈ පිළිබඳ ශෝචනීය මතකයන් වුවද රැය පහන්වීමත් සමඟ දුරස් වෙයි. ඒ පිළිබඳව ඔහුට ඇත්තේ වේදනාවකි.
තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ සිටිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේ ද මට සිතුණා
ඈ පිළිබඳ මතකයක්වත් නැති ලෝකය ඔහු දකින්නේ තමන්ගේ සොඳුරු යෞවනයේ අවසානය ලෙසයි. කැටපත් පවුරක්ව පැවති තම හදවතේ හංස ගීතය ලියැවෙන බව ඔහු පවසන්නේ එබැවිනි. හංසයා ගී ගයන්නේ තම මරණය ආසන්නයේදීය. ඒත් කොයි මොහොතක හෝ ඈ යළි තමා සොයා එන්නීය යන ප්‍රාර්ථනය ද ඔහු සිත පවතී.
"වැලපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියවෙන දා
පළමු අරුණ රන් රේඛා අතරේ
ප්‍රාර්ථනා සුවඳේ
ඔබ එතැයි සිතුණා"
කවුළුවෙන් එපිට මල් යායකි. ඒ මල් රොන් සුවඳ ඔහුගේ හදවතට දැනෙයි. ඒ මල් සුවඳ ඔහුව රිදවන්නේ ඇය තමා ළඟ නැති බැවිනි. මතක කවුළුව හැර දමා ඇය ගිය දිහාව ඔහුට සොයන්නට නොහැකිය.
"පිපි මලින් මලේ රොන් සුනු විසිරී
හද රිදී සුසුම් නගනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේද මට සිතුණා"
ගීතයක් තුළ කනාන්දරයක් තිබිය යුතුම නැත. එය මානව හැඟීම් සංකලනයකි. මේ තනුව තුළද, වචන තුළ ද සංකීර්ණ මානව හැඟීම් තැන්පත්ව තිබේ. අමරදේවයන්ගේ සංයමයෙන් යුතු ගායන ලාලිත්‍ය හදවත උමතු නොකරන්නේ නම් එය අරුමයකි.