
ඉෂංකා ජීවමාලි රණවීර ඉගෙනුම ලබන්නේ මොනරාගල රාජකීය ජාතික පාසලෙනි. පාසල් වියේ සිට කවි, කෙටිකතා ඇතුළු ලේඛන කටයුතුවල නියැළුණු ඇයගේ අනාගත අපේක්ෂාව වූයේ ලේඛිකාවක් වීම ය. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු දිගින් දිගටම ලේඛනයේ නිරත වන ඉෂංකාගේ නිර්මාණ පළමුවරට ප්‍රසිද්ධ මාධ්‍ය යේ පළවන්නේ ඈ කාන්තා සඟරාවේය.
එම සඟරාවට කෙටිකතා සහ විශේෂාංග ලිපි රචනා කළ ඇය පසුව බිරිඳ කාන්තා පුවත්පතට ද නිර්මාණ යොමු කළාය. මුලින්ම තම ලේඛන කුසලතාව හඳුනා ගනිමින් ලේඛිකාවක ලෙස ඉදිරියට ඒමට සහාය දුන් චැනල් ලින්ක් ප්‍රකාශන ආයතනයේ අධිපතිනි කමනි මහත්මියගෙන් ලැබුණු සහාය ඉෂංකා කෘතවේදීව සිහිපත් කරන්නීය. ඈ සඟරාවේ පළවූ නවකතා දෙක පසුකලෙක කෘති ලෙස ප්‍රකාශයට පත් කිරීම දක්වා ඇයගෙන් ලැබුණු සහාය සිය ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූ බවද ඉෂංකා පැවසුවාය. ලේඛනය සිය පළමු විනෝදාංශය බවට පත්කරගත් ඇය ලේඛනයේ නිරත වන්නේ වෙනත් වෘත්තියක නියැළෙන අතර ලැබෙන විවේකය මනා ලෙස කළමනා කර ගනිමිනි.
@ මා ලියූ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව
මේ වන විට මම නවකතා 7ක් කෘති ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අතරින් මම වඩාත්ම කැමති ‘පිනි කඳුළ මම වෙමි’ නවකතාවටයි. එය නිකුත් වුණේ 2020 වසරේ. ඒ සමඟම සත්‍ය කතාවක් ඇසුරින් ලියූ ‘යළි එන්න වස්සානේ’ සහ ‘තරු ඇසක් හැඬුවා’ පොත් දෙකත් ප්‍රකාශයට පත්වුණා. ඒ නිසා ඒ වසර මගේ ලේඛන දිවියේ විශේෂිත වසරක්. ‘පිනි කඳුළ මම වෙමි’ නවකතාව ගෙතී ඇත්තේ නොමනා තීරණ නිසා අසරණ වුණ පාසල් යුවතියක වන හන්සනා සහ ඇගේ බාල සොහොයුරාගේ චරිතය ඇසුරින්. යෞවනයේ හැඟීම්, එහි සුන්දරත්වය වගේම යථාර්ථය ගැනත් කියවෙන ඒ නවකතාව මම ලිව්වේ ගොඩක් ආසාවෙන්.
ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව
ඒ කතාව ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්. කතාවේ ගොඩක් තැන් ලියද්දි වගේම ආයේ ආයේ පොත කියවද්දි මට ඇඬුණු අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒ අතරින් කිහිපයක් මතක් කරනවා නම්, හන්සනාගේ අසනීපය වෙනුවෙන් එයාගෙ පෙම්වතා අවන්ත කරන කැපකිරීම්, ඒ වෙනුවෙන් ඔහු දරන වෙහෙස මහන්සිය හරිම සංවේදීයි. ඒත් අන්තිමට ඒ හැම උත්සාහයක්ම ව්‍යර්ථ කරමින් පුංචි කාලෙ ඉඳලා දුක්ම විඳපු හන්සනා ඇයගේ ජීවිතෙන් සමුගන්නා අවස්ථාව මාව අදටත් සංවේදී කරනවා.
ඒ වගේම ඒ නවකතාවේ තවත් අවස්ථාවක් තියෙනවා, හන්සනාගේ අම්මා ඇයවයි මල්ලිවයි අත්හැරලා දාලා යන අවස්ථාව. ඒ අවස්ථාවත් ගොඩක් සංවේදීයි. ඒ කතාව වගේම හැම කතාවක්ම ලියද්දි අපි ඒ චරිත ඇතුළේ ජීවත් වෙනවා. ඒ චරිත දුක් විඳිද්දි අපිටත් ඒ දුක දැනෙනවා. සතුට විඳිද්දි අපිටත් ඒ සතුට දැනෙනවා. පාඨකයෙක් අපේ කතාවක් විඳින්න කලින් ලේඛකයා ඒ සියල්ල විඳිනවා. ඒ නිසා මා අතින් ලියැවෙන හැම නවකතාවක්ම මගේ හිතට හරිම සමීපයි.
මෙතෙක් ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාර
ලිවීම මගේ පූර්ණකාලීන වෘත්තිය නොවුණත් මට අවශ්‍ය වුණේ තවත් කෙනෙක්ගේ හදවතට දැනෙන විදිහට ලියන්නයි. මම ලියන දේකින් පාඨකයෙක්ගේ හදවත ස්පර්ශ කරන්නයි මට ඕනේ. මේ වෙද්දි මගේ නවකතා කියවන පාඨකයන් ලබාදෙන ඇමතුම්, කෙටි පණිවිඩවලින් හිතෙනවා මම යම් පමණකට ඒ අරමුණ ජය අරගෙන කියලා. ඒ නිසා මට මගේ පාඨකයන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.
‘පිනි කඳුළ මම වෙමි’ නවකතාව කියන්නේ මට ගොඩක් ප්‍රතිචාර ලැබුණු නවකතාවක්. ඒ අතරින් මගේ හිතට ගොඩක්ම දැනුණේ එක්තරා තරුණයෙක්ගෙන් ලැබුණු ඇමතුමක්. ඔහු ආදරේ කළ තරුණිය කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විඳලා ඊට මාස කිහිපයක පෙර ජීවිතයෙන් සමු අරගෙන. මගේ ‘පිනි කඳුළ මම වෙමි’ නවකතාව කියවද්දි ඔවුන්ගේ ආදරයේ මතක වගේම ඔහුගේ පෙම්වතිය පිළිකා රෝගය නිසා විඳපු වේදනාවේ මතකයත් අලුත් වූ බව ඔහු කිව්වේ ගොඩක් වේදනාවෙන්. මගේ නවකතාවේ චරිතය, හන්සනාගේ පෙම්වතා, හන්සනා එයාව එක්ක යන්න එනකම් බලාගෙන ඉන්නවා වගේ ඔහුත් තම මියගිය පෙම්වතිය තමා කැඳවාගෙන යෑමට එනතුරු බලාගෙන ඉන්නවා කියලා ඒ තරුණයා කිව්වා. ඒ වචන ටික මගේ හිතේ ලොකු වේදනාවක් ඇති කළා.
මගේ ඉදිරි නිර්මාණ සැලසුම් 2022 වසර වෙනුවෙන් මේ වෙද්දිත් මම නවකතා දෙකක් ලියා අවසන් කර ප්‍රකාශන ආයතනයට බාර දී තිබෙනවා. ඒ පොත් දෙක ඉක්මනටම පාඨකයන් අතරට ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම මෙතෙක් මා ලියූ තේමාවන්ගෙන් ඔබ්බට ගොස් රහස් පරීක්ෂක කතාවක් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. බොහෝ දුරට මේ අවුරුද්දේදි ඒ කතාවත් මගේ අතින් ලියවේවි. මාගේ සියලුම නවකතා පොත් එළිදක්වන්නේ පහන් ප්‍රකාශන ආයතනයයි. එම ආයතනයට වගේම මගේ සියලුම පාඨකයන්ට ස්තුති කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.