ලංකාවේ එතෙක් මෙතෙක් ලොකු ම ඒක පුද්ගල ප්‍රසංගය කරන්න මම සූදානම් | සිළුමිණ

ලංකාවේ එතෙක් මෙතෙක් ලොකු ම ඒක පුද්ගල ප්‍රසංගය කරන්න මම සූදානම්

එළිමහන් ප්‍රසංගවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ යන රටාවට මම කැමති නැහැ

මෙවර සොනික් දිනපොත මම නිකුත් කළා

ජූලි හෝ අගෝස්තු මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදී ප්‍රසංගයක් කරන්න සුදානමින් ඉන්නවා

 

ප්‍රවීණ සංගීතවේදී හා ගායන ශිල්පි කීර්ති පැස්කුවල් හෙල්ප් සර්කල් සමාජ සත්කාර ආයතනය හා අනුබද්ධිතව දිවයින පුරා සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය කලාප අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත තෝරාගනු ලබන සංගීතය හදාරන අඩු ආදායම්ලාභි දරුවන් දහසකට වයලීන දහසක් පිරිනැමීමේ "සත්සර පාරමිතා"ව්‍යාපෘතිය පසුගියදා සිදු කෙරුණා. ඒ ජනවාරි 29 වැනි දිනට යෙදී තිබුණ කීර්ති පැස්කුවල් කලාකරුවාගේ උපන්දිනයට සමගාමීව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ඒ නිසාම මේ කතාබහ ප්‍රවීණ සංගීතවේදී හා ගායන ශිල්පි කීර්ති පැස්කුවල් සමඟ.

 

•හොඳම දේ දරුවන්ට දෙන්න ඔබ කවදත් පෙරමුණ ගත්තා

මම ඇත්තටම මගේ මතක ඇති කාලයටම හැම උපන්දියකදිම මොකක් හෝ වෙනස් සමාජයට වැඩදායි සේවයක් තමයි කරන්නේ. ළමා නිවාසයකට එහෙම නැත්නම් මහල් නිවාසයකට යමක් කළා. ඒ වගේම පසුගිය කාලය පුරාවටම පිළිකා රෝගීන් වෙනුවෙන් පිළිකා රෝහල්වලට අවශ්‍ය කරන වැඩ කටයුතු කරා. ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකක හයක් අලුතින් නිර්මාණ කළා. ඒ වගේ වැඩදායි ආදර්ශවත් දෙයකට තමයි මගේ උපන් දිනය යෙදෙව්වේ. ඒ නිසාම මේ අවුරුද්දේ මම හිතුවා පාසල් දරුවන් වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා. පසුගිය කාලෙම පාසල් සමය සිදුනොවුණු නිසා වෙළෙඳපළට ගියෙ නැති වයලීන් දහසකට වැඩි ප්‍රමාණයක් ගැන දැනගන්නට ලැබුණා. පසුව මම ඒ සියල්ලම මිලදී ගත්තා. ඒ සියල්ල අරගෙන මම කල්පනා කළා සංගීතය ඉගෙන ගන්න කුඩා දරුවන්ට ( 6,7,8 ශ්‍රේණිවල දරුවන්ට) මෙය ප්‍රදානය කරනවා කියලා. එය මෙය ලංකාව පුරා සිටින දරුවන් වෙනුවෙන් බෙදී යා යුතු නිසා පළාත් මට්ටමින් පළාත් නවයටම බෙදී යායුතුයි කියලා හිතුවා. එය තමයි සංකේතාත්මකව පසුගිය 29වැනිදා මගේ උපන්දිනය දා ළමුන් තිස්දෙදෙනකුට සහ පාසල් තුනකට පදනම් ආයතනයේදී ලබා දීම සිදුවුණේ.

කොළඹට දෙන්න තියෙන ඉතිරි ටික පෙබරවාරි 20 වැනිදා රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ දී ලබා දෙනවා. ඒ එක්කම පෙබරවාරි 16 උතුරුමැද පළාතට ගිහින් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ඒ පළාතේ ළමුන් 110කට වයලීන ලබා දෙනවා. ඒ වගේ සබරගමු, මධ්‍යම සහ දකුණු පළාත්වලට යනවා. ඊට පස්සේ තමා මම ඌව, නැ‌ෙඟනහිර, උතුර සහ වයඹ පළාත්වලට යන්නේ. ඒ විදියට තමා "සත්සර පාරමිතා" ව්‍යාපෘතියෙන් දරුවන්ට වයලීන ලබා දෙන්නේ. මම විශ්වාස කරන්නේ මේ දිහා බලලා අපිත් මේ වගේ දෙයක් කළයුතුයි කියලා හිතනවා නම් එය තමයි මගේ පරමාර්ථය සහ ආදර්ශය.

 

•ඒ වගේම නැවත ඔබේ සොනික් දිනපොත නිකුත් වෙනවා

ඔව්, මගේ ශබ්දාගාරයේ නමින් 1997 වසරේදී සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නා සංගීත ක්ෂේත්‍රයට අයත් සියලු ක්ෂේත්‍ර 49ක් නියෝජනය කරන ශිල්පීන්ගෙ දුරකථන අංක ඇතුළත් දුරකථන නාමාවලියක් සහිත දිනපොතක්. මෙය 97 සිට 2015 දක්වා හැමවසරක් පාසාම නිකුත් වුණා. නමුත් 2015න් පස්සේ විවිධ හේතු මත මෙය කරගෙන යන්න නොහැකි වුණා. නැවත වාරයක් එය 2022-2023 නවතම සංස්කරණය සමඟින් මගේ උපන්දිනය දා ඒ සොනික් දිනපොත මම නිකුත් කළා. මේක මගේ පුද්ගලික වියදමෙන් කරලා නොමිලේ බෙදාහරින දිනපොතක්.

 

•උපන්දිනයදා එළිදැක්වුණු "ආදරියේ කවිකාරියේ" ගීතය ගැනත් අපි කතා කරමු

මේ ගීතය ශාන්ත කුමාර විතාන පද රචනා කරපු බැසිල් විදානගේ කියන සංගීතඥයා සංගීතවත් කරපු ගීතයක්. මෙයට රූප රචනාව කළේ රවීන්ද්‍ර මුණසිංහ. ඒ වගේම එයට නිරූපණයෙන් දායක වුණේ නදීෂා හේමමාලි. මේ ගීතය එළිදැක්වුණා වගේම එදිනම මගේ

WWW.keerthipasqel.lk වෙබ් අඩවිය හඳුන්වා දීමත් සිදුවුණා.

 

•ඉදිරි නිර්මාණ සහ වැඩකටයුතු මොනවද?

මම හැම සතියකම ගීතයක් හෝ දෙකක් අලුතින් ගායනා කරනවා. ඒවා ප්‍රවීණ අයගේ සහ නව පරපුරේ නිර්මාණ. ඒ හරහා කලාවෙන් කරන්නට හැකි දේවල් මම සක්‍රීයව කටයුතු කරගෙන යනවා. ඒවගේම මේ වෙද්දී දෙරණ නාලිකාවේ ඩ්‍රීම්ස් ස්ටාර් සීසන් 10කට වසර 14ක කාලයක් තිස්සේ ප්‍රධාන විනිශ්චයකරුවෙක් විදියට විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරනවා. ඉදිරියටත් ඒ වැඩසටහන් තියෙන තාක්කල් ඒ අය මාව සම්බන්ධ කර ගනීවි.

 

•දැන් වාදන කටයුතුවලින් ඈත්වෙලා ද?

කොහෙත්ම නැහැ. මගේ Ever Dream සංගීත කණ්ඩායම සමඟ මම වාදනය කරනවා.

 

•ප්‍රසංග කලාව තුළ එතරම් දකින්න නොලැබෙන්නේ ඇයි

මම එළිමහන් ප්‍රසංගවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ යන රටාවට මම කැමති නැහැ. නමුත් ගෘහස්ත ප්‍රසංගවලට සහ මංගල උත්සව සහ ප්‍රිය සම්භාෂණවලට මම සහභාගී වෙනවා.

 

•අපි මතක් කළොත් ඔබේ සංගීත ඉගැන්වීම් වැඩකටයුතු

මගේ සංගීත පන්ති දෙකක් තියෙනවා. කොහුවල Pasquel Sound Of Music නමින් සහ තිඹිරිගස්යායේ Trinity Academy of Music නමින්. මේ වෙද්දී පවතින කොරෝනා තත්ත්වය එක්ක තිඹිරිගස්යායේ පන්තිය පවත්වන්නේ නැහැ.

කොහුවල පන්තිය නම් නැවත ජනවාරි පළවෙනිදා සෞඛ්‍ය නීතිරීතිවලට අනුකුලව ආරම්භ කළා.

ඒ එක්කම මේ කොවිඩ් කාලයේ මම ඔන්ලයින් පන්ති පැවැත්වුවා සූම් තාක්ෂණය යටතේ. මේ වෙද්දී විවිධ රටවල් වල ඉන්න සිසු සිසුවියන් සම්බන්ධ වෙලා ඉන්නවා.

 

•ප්‍රේක්ෂකයන්ට ඔබේම ප්‍රසංගයක් මේ වසරේදී දකින්නට ලැබෙයිද?

අනිවාර්යෙන්ම. මගේ හොඳම ප්‍රසංගය අවසන් වරට පැවැත්වුවේ 2019 සැප්තැම්බර් මාසේ නෙළුම් පොකුණ රඟහලේදී "මනමාල හැන්දෑව" නමින්.

එය ඉතාමත් සාර්ථක වුණු ප්‍රසංගයක්. ඊට පස්සේ මේ කොවිඩ් වසංගතය අතරතුර ශාලාවෙන් සියයට පනහක ප්‍රමාණයක් ඇතුළත් කරලා කරන්නට පුළුවන් කියන අවසරය ලැබුණාම මම හිතුවා ප්‍රසංගයක් පවත්වන්න.

ඒ අනුව ගිය වසරේ ජුනි මාසයේ දිනයකුත් දැම්මා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට.

නමුත් අප්‍රේල් වෙද්දී කොවිඩ් උවදුර වැඩි වුණු නිසා එය නතර කරන්නට වුණා. දැන් තත්ත්වය වෙනස් වෙලා කොවිඩ් සමාන්‍යය තත්ත්වයට ඇවිත් තියෙන නිසා සහ රජය ලබාදෙන එන්නත්කරණය නිසා ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ඒ නිසා ජුලි හෝ අගෝස්තු මාසයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙදී ප්‍රසංගයක් කරන්න සුදානමින් ඉන්නවා. මෙය නම් කරලා තියෙන්නේ symphony කියලා.

මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ සුරේෂ් මාලියද්ද කියන ප්‍රවීණ සංගීතඥයා. මෙයට මම 45-50ක සංගීත කණ්ඩායමක් යොදවා ගෙන ගීත 20ක් මම ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා.

මේක කළාට පස්සේ මෙතෙක් ලංකාවේ පැවති ලොකුම ඒක පුද්ගල ප්‍රසංගය වේවි. වැඩිදුර විස්තර දින ළං වුණාම කියන්නම්.

 

Comments