
කෘත්‍රිම ආලේපන භාවිතයෙන් වන හානිවලට ප්‍රතිකාර කිරීම ඉතා දුෂ්කරයි
වයස ඛාණ්ඩය අවු.14-60 දක්වා වයස ඛාණ්ඩය විවිධ ආලේපන භාවිතයට පෙලඹේ
මිනිසකුට සොබාදහමෙන් උරුමවන බොහෝ දෑ පවතී. ඉන් එකකි සමෙහි වර්ණය. එක් එක් පුද්ගලයාට ආවේණික සුන්දර වර්ණයක් හිමි වීම ස්වභාවික ක්‍රියාවලියකි. කාලීන වශයෙන් සමෙහි වර්ණය කාන්තාවන් අන්ධ කර ඇත.
ඒ ඔවුන් දරන ආකල්ප අනුවයි. මේ නිසා සම සුදු පැහැ ගැන්වීමට ගොස් ජීවිත අනතුරට මඟ තනා ගත් කාන්තාවන් වැඩි වශයෙන් අපට හමු වී ඇත. ඒ පිළිබඳ වත්මන් කාන්තාව දැනුම්වත් කිරීමේ අරමුණින් අපි අම්පාර මහ රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අවන්ති විදානගමගේ සමඟ කතා කළෙමු.
•සුදු සම ලස්සනද?
සම ශරීරයේ විශාලම ඉන්ද්‍රියයි. ශරීර අභ්‍යන්තරයට බාහිරින් වන බලපෑම් වලින් අපව ආරක්ෂා කරන්නේ සම. ශරීර උෂ්ණත්වය යාමනය කර තෙතමනය රැක ගනී. ශරීරයේ සංවේදීම ඉන්ද්‍රිය සමයි. අභ්‍යන්තර සෞඛ්‍ය වෙනස්වීම් කල්තියා පෙන්නුම් කරන්නේ සම. මේ කරුණු සියල්ලට වඩා සම පුද්ගල ආකර්ෂණය ට ඉවහල් වේ. සමෙහි වර්ණය තීරණය වනුයේ එහි ඇති මෙලනින් වර්ණයේ ප්‍රමාණය මතයි.
සමකය ආසන්න රටවල අධික හිරු එළියෙන් වන හානිය ඉහළයි. එය අවම කර ගැනීමට අප වැනි ආසියාතික රටවල පුද්ගලයන් කළු හෝ තලෙළු වර්ණය ගෙන ඇත්තේ සමෙහි මෙලනින් වර්ණය අධික වීමෙනි.සමකයට දුරින් පවතින රටවල පුද්ගලයන්ගේ සමෙහි මෙලනින් අවමය.ඔවුන් ඉතා සුදු පැහැය. මෙලනින් වලින් ඇති ආරක්ෂාවද අඩුය. එවැනි සම ඉක්මනින් වියපත් වේ. දරුණු පිළිකාවලට ගොදුරු වේ. ඔවුන් ළාබාල වයසෙදිම මිය යාම ඉතා ශෝචනීය තත්ත්වයකි. වර්තමානයේ වෙෙළඳ ප්‍රචාරවලට රැවටී බොහෝ කාන්තාවන් සම සුදු කර ගැනීමට වෙහෙසේ.එමඟින් කෘත්‍රිමව සමේ මෙලනින් ප්‍රමාණය හෝ නිෂ්පාදනය මර්දනය කිරීමට උත්සහ දරයි. මෙලෙස දැනට ප්‍රචලිතව භාවිත වන ආලේපනවල බහුලව ඇති බවට සොයාගෙන ඇත්තේ,
1. කෝටිකොස්ටීරොයිඩ්
(Corticosteroid)
2. හඩ්‍රොක්වීනෝන්
(Hydroquinone)
3. ග්ලූටතියෝන්
(Glutathione)
4. රසදිය
5. ඊයම්
වැනි සංඝටක වේ.
1.Corticosteroid
මෙය අඩංගු ආලේපන ඇතැම් අවස්ථාවල පමණක් සමේ සීමිත ප්‍රදේශවල කෙටි කාලයක් භාවිත කිරීමට වෛද්‍ය උපදෙස් මත නිර්දේශ කරයි. එහෙත් අපරික්ෂාකාරිව සුදු සමක් ලබා ගැනීමට මෙය යොදාගත හොත් කුරුලෑ අලුතින් මතු වීම හෝ උත්සන්න වීම, සම දිරාගොස් තුනී වීම, නහර මතු වී අවලස්සන වීම, සදාකාලිකව පවතින ඉරි තැළීම්, බැක්ටීරියා වයිරස ආසාදන, මුහුණේ අධික ලෙස රෝම වර්ධනය වැනි ඉතා කරදරකාරී තත්ත්වවලට මුහුණ දීමට සිදු වේ.
2.Hydroquinone
මෙම ඖෂධ ද වෛද්‍ය නිර්දේශ මත මුහුණේ ඇතිවන කළු පැල්ලම් සඳහා භාවිත වේ. එහෙත් මෙය දිගුකාලීනව මුළු මුහුණේ ආලේප කිරීමෙන් බලාපොරොත්තු වූ සුදුවීමට පරස්පර වූ අප්‍රසන්න කළු පැල්ලම් හෝ සුදු පැල්ලම් මෙන්ම පිළිකා වුවද ඇතිවිය හැකිය.
3.Glutathione
දැනට නළු නිළියන් හා ප්‍රසිද්ධ චරිත අතර කෙටි කලකින් දීප්තිමත් සමක් ලබාදෙන බවට පැතිරෙන මෙම ඖෂධය පිළිබඳ ප්‍රබල විද්‍යාත්මක සාධක නැත. ඉන් ලැබෙන ප්‍රතිඵල සීමිත වන අතර ලැබුණ පැහැය දීර්ඝකාලීනව පවත්වාගෙන යාම ගැටලු සහගතය. ඒ අපේ සම නිරන්තරයෙන් මෙලනින් වර්ණකය නිපදවනු ලබන බැවිනි. එය මර්දනය කළ හැක්කේ තාවකාලිකව පමණි. එවිට දිගින් දිගටම මෙම ඖෂධ භාවිත කළහොත් වකුගඩු ආබාධ, සමේ ආසාදන හා පිළිකා අවදානම්වලට පහසුවෙන් ගොදුරු විය හැකිය. මෙම ඖෂධ පෙති,ආලේපන හා එන්නත් ලෙසද ඇත. එම එන්නතේ ඇති අවදානම ගැන සලකා බලා මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒ සඳහා කිසිසේත් අනුමැතිය ලබා දී නොමැත.
4. ඊයම් හා රසඳිය
මෙම බැර ලෝහ වකුගඩු රෝග හා පිළිකා ඇති කරන බවට ස්ථිර සාධක පවතී.
බොහෝ විට මෙම ආලේපන සඳහා යොමු වී ඇත්තේ තරුණ කාන්තාවන් වන අතර වයස ඛාණ්ඩය අවු.14-60 දක්වා වේ. ඊට අමතරව මෙම ආලේපන භාවිතයට ගැහැනු පිරිමි භේදයක්ද නොමැති බව වැඩිදුරටත් වෛද්‍යවරුන් පවසයි. මෙම කෘත්‍රිම ආලේපන භාවිතයෙන් වන හානිවලට ප්‍රතිකාර කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. එනම් සැමවිට එවැනි දෑ භාවිතයෙන් වැළකී සිටීමට පුරුදු වීම ශරීරයට සුබදායක වේ.
අපට ස්වභාව ධර්මයෙන් තිළිණ කළ මෙලනින් වර්ණය ඉවත් කර ගැනීමට වෙහෙස වීම ඔබ ඔබව රෝගියකු කර ගන්නාක් මෙන් කාර්යයකි. තවද මෙලනින් සම ඉක්මනින් වියපත් කිරීම වළකයි. අපට අවශ්‍ය සුදු සමක් නොවේ. නිරෝගිමත් සමකි. ඔබට ආවේණික ඔබේ වර්ණය ඔබට ආභරණයක් කර ගන්න. වෙෙළඳ දැන්වීම් ඔස්සේ සුදු සමට ලබාදෙන වැරදි ප්‍රචාරණ හේතුවෙන් අපගේ තරුණ කැල අතරමං වී ඇත. සමහර දූ දරුවන් තමන්ගේ තළෙලු සම නිසා සමාජයේ ගැරහීමට ලක් වන බව ඇසීමත් කනගාටුදායකයි.
මේ ව්‍යසනයෙන් ඔවුන් මුදා ගැනීමට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇත.ඒ පිළිබඳ තොරතුරු Sl College Of Dermatologists වෙබ් අඩවියෙන් හා S.L College of Dermatologists youtube Channel වෙත පිවිසී බලන්න.
ඔබත් මේ අදහස සමාජ ගත කිරීමට සහය වන්න."සුදු කළු තළෙලු අපි ඔක්කොම දැකුම්කලු"