මුළු ලොවම සැනසූ මධුර ස්වරය වියැකී යයි.....! | සිළුමිණ

මුළු ලොවම සැනසූ මධුර ස්වරය වියැකී යයි.....!

පවුලේ වැඩිමහල් දියණිය වූ ඇයට ආශා, ඌෂා නමින් සහෝදරියන් දෙදෙනෙකු ද හෘදයනාත් මංගේෂ්කර් නම් සහෝදරයෙකු ද විය. ආශා, ඌෂා ප්‍රසිද්ධ ගායිකාවන් වූ අතර හෘදයනාත් දක්ෂ සංගීතඥයකු ද ගායකයකු ද විය.

 

සදාතනික ජීවමාන වන යම් කිසිවක් ලොව පවතීද? එහෙත් එබඳු දෙයක් මිනිස් සන්තානයන්හි පැවතිය හැකි යැයි මට සිතේ. එබඳු උරුමයක් ඇත්තකු අපට දෙවි කෙනකු, මහා ගුරුවරයකු බඳු වේ. මා සිතට දැඩිව දැනෙන හැඟීම් අතර එබඳු ජීවමාන වන විශ්ව කීර්තියට පත් දිව්‍යමය හඬක් සියලු ලෝකයාට පුද කළ ශ්‍රේෂ්ඨධර කාන්තාවක් සිටී. ඒ මහා ගීත කෝකිලාව නමින් හඳුන්වන ලතා මංගේෂ්කර් නම් ගායිකාව ය.

එතුමිය පිළිබඳ මා සිත් ගත්තේ ළමා වියේ සිට ය. ඇගේ හඬ අපගේ උපතේ සිට ම අපට ආගන්තුක නොවන්නකි. හින්දුස්ථානි සංගීතයත් හින්දි භාෂාවත් අසල්වැසි දේශය වූ භාරතයෙන් අප ලත් දායාදයකි. මා සඳහන් කරන ඇගේ හඬ තැන්පත්ව තිබුණේ ද භාරත දේශයේ ය. එය අපට මහත් භාග්‍යයකි.

මා සිත ලැඟුම් ගත් එතුමිය පිළිබඳ හැඟුම් සමුදාය කලක් තිස්සේ මා ලේඛනගත කළේ එබැවිනි. ඒ සටහන් සමුදාය කෘතියකන් ප්‍රකාශයට පත් කිරීමට මට හැකි විය.

ලෝක පූජිත භාරතීය මහා ගායිකාවගේ ජීවිත කතාව - “ලතා මංගේෂ්කර්“ නමින් ඇස්. ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් එය එළිදැක්විණ. (2017). එතුමිය පිළිබඳ සටහන් කළ තොරතුරු අපදාන කෘතියකටවත් වඩා විමර්ශනාත්මක කෘතියක් ලෙසින් මම එය හැඩ ගැන්වූයෙමි.

ඇය ගැන කතා කිරීම අමා භාෂණයකි. විටෙක ඒ හඬ සන්තුෂ්ටිය ගෙනෙන මඳනලකි. මේ එවන් අවස්ථාවක ඇගේ හඬ පිළිබඳ මා අතින් ලියවුණු කවක කොටසකි.

උදා ලහිරු කෙඳි එතී ගෙනෙන්නේ

ගඟ රැළි සේ ගීතවත් වෙමින්නේ

කඳු මුඳුනින් සුළඟක් සේ එන්නේ

මිහිඳුම දවටා සිනිඳුව එන්නේ

දිය ඇල්ලක් සේ පිරිසිදු වන්නේ

තරු කැට දහසක එළිය ගෙනෙන්නේ

සඳ මඬලක් සේ බැතිබර වන්නේ

විහඟ නදින් සතුටක් දෙනු වැන්නේ

ළයාදරයි පූජනීයයි ඒහඬ!

මිතුරකුවන් ළංවූ මනහර හඬ

පුදසුනකින් මහජනයා ලද හඬ

දැල්වුණු පහනකි මුළු ලෝකයටම

අතුරු සිදුරු වසනා ආලෝකය

- (පින් බල පුරමින් කාව්‍ය සංග්‍රහය)

මෙම කවිය මා හින්දි බසට ද පරිවර්තනය කළ පසු ඉන්දීය සඟරාවක පළ විය. මගේ ආචාර්යවරයකු වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් එය ඉංග්‍රීසි බසින් පළ කළේය.

වර්තමානයේ මධ්‍ය ප්‍රදේශ් නමින් හැඳින්වෙන ප්‍රාන්තයේ ඉන්දෝර් ජනපදයේ එක්දහස් නවසිය විසිනවය වසරේ සැප්. 28 වැනිදා ඇගේ උපත සිදුවිය. ඇගේ මව සුධාමතී හෙවත් ශේවන්ති වන අතර පියා දක්ෂ සංගීතඥයකු සහ ගායන, රූපණ ශිල්පියකු වන දීනානාත් මංගේෂ්කර් ය. ජන්මයෙන් ඈ ලද නාමය “හේමා“ විය. දීනානාත් මංගේෂ්කර්ගේ සුප්‍රකට නාටකයක් වූ “භාව් බන්ධන්“ හි කතා නායිකාව වූයේ ඇය පස් හැවිරිදි වියේදීය. කතා නායිකාවගේ නම ‘ලතිකා‘ නම් විය. එම නාමය ලතා බවට පත්විය. ලතිකා සිහිවීමට පියා එම නම ඇයට ලබා දුන්නේය. ඇගේ පෙළපත් නාමය පාර්දිකාර් වුවත් ගෝවා රටෙහි දීනානාත්ගේ ගම වූ මංගේෂි සිහිවීමටත් පවුලේ ඉෂ්ට දේවතාවා හැටියට පිළිගැනුණු මංගේෂ් ස්වාමීනට ගෞරවයක් වශයෙනුති පර්දිකාර් යන නම මංගේෂ්කර් යනුවෙන් වෙනස් කළේය. හේමා පර්දිකාර් වූ ඇය ලතා මංගේෂ්කර් නමින් භාවිතයට ගැනිණ.

පවුලේ වැඩිමහල් දියණිය වූ ඇයට ආශා, ඌෂා නමින් සහෝදරියන් දෙදෙනෙකු ද හෘදයනාත් මංගේෂ්කර් නම් සහෝදරයෙකු ද විය. ආශා, ඌෂා ප්‍රසිද්ධ ගායිකාවන් වූ අතර හෘදයනාත් දක්ෂ සංගීතඥයකු ද ගායකයකු ද විය.

ඇයට පාසල් අධ්‍යාපනය හිමි වූයේ නැත. ඇගේ පාසල් ගමන එක් දිනකට සීමා විය. ඇය මුලින්ම පාසල් ගිය දිනයේ දරුවන්ට ගීත ගායනය ඉගැන්විය. එය දුටු ගුරුතුමිය “ඔයා උගන්වන්න ඕන නෑ“ යනුවෙන් පැවසීය. එම වදනින් කම්පිතව ඇය පාසල් ගමනට නැවතීම තැබුවාය. වයස 13 වන විට ඇගේ පියා අභාවයට පත්විය. පිය වියොවින් අටවන දින සිට ඈ රංගනයට යොමු වූවාය.  මරාති චිත්‍රපටයක් වන මංගල් ගාවුර්හි රඟපෑම ද, මරාති චිත්‍රපටයක් වන “කිත්ති සාල්“ හි පසුබිම් ගායනය කිරීමෙන් ද ඇය කලා ලොවට අවතීර්ණ වූවා ය. හින්දි චිත්‍රපටයක ඇය මුලින්ම ගායනය කළේ “ගජභාව්“ චිත්‍රපටයේ ය. මෙහි නිර්මාතෘවරයා වූ විනයක් රාඕ සතුටට පත්ව ඇයට මාසික දීමනාවක් දී තම නිෂ්පාදන කාර්යයට බඳවා ගත්තේය.

මේ වන විට ඇය තම පියාගෙන් මනා පුහුණුවක් ලැබ සිටියාය. මින්පසු හමුවූ ගුරුවරයා වූයේ අමානාත් අලි ඛාන් බින්දි බසාර්ය. එතුමාගෙන් ලත් පන්නරය මත සංගීතවේදයේ මුඳුන්මල් පෙත්තටම ගමන් කිරීමට ඇය හැකි විය. වර්ෂ 1945 සිට අඛණ්ඩවම ගායනයේ නිරත වීමට අවස්ථාව ලැබිණ. අමානාත් ඉන්දියාවට අහිමි වූ තැන් පටන් පණ්ඩිත් තුල්සිදාස් ශර්මා යටතේ සංගීතය හැදෑරීය. ඇගේ කටහඬ කෙරම් සුමධුර වුවද ඇය හඬ පුහුණුවීම, ශ්වසන අභ්‍යාස, ශාස්ත්‍රීය සංගීතය සඳහා වෙන් වෙන්ව ගුරුවරුන් යටතේ හැදෑරීය. ඇගේ කුසලතාව ගායනයට පමණක් සීමා නොවිණ.

ඇය විසින් සංගීතවත් කරන ලද චිත්‍රපට රාශියකි. 1950 රාම් පහුනේ, 1962 මොහිත්යාන්චි මංජුලා, මරාතා කිතුකා මෙල්වානා, 1965 සාදි මාංසෙ ඒ අතර වේ. නෞෂාද් සංගීතවේදියා රාගධාරි සංගීතය මත පදනම් වූ ගීත රාශියක් එකල ගායනය කිරීමට තෝරා ගත්තේ ලතා මංගේෂ්කර් ය. 1950 වන විට උර්දු හා හින්දි මිශ්‍ර භාෂාවලින් ගැයීමට හැකි එකම ගායිකාව වූයේ ඇයයි. 1950 දශකය වන විට ඇය ගීත නොගැයූ එකදු හින්දි චිත්‍රපටයක් හෝ උර්දු චිත්‍රපටයක් නොවීය. ශංකර් ජායි කිශන්, නෞෂාද්, එස්.ඩී. බර්මන්, පණ්ඩිත් අමානාත් හුසේන්, ලාල් භගන් රාම් යන සංගීත අධ්‍යක්ෂවරුනට ඇගේ සේවය අත්‍යවශ්‍ය විය.

ඇගේ ගායනය අමතන්නේ අපගේ අන්තර්ඥානයටයි. එය අනුකරණය කළ නොහැකිය. එහෙත් ඇගේ ගීතයක් අනුකරණය කළ හැකිය. බොහෝ ගායිකාවන් අමතන්නේ අපගේ භාව ඉන්ද්‍රියටය. එය අපගේ ප්‍රවීණ ගායිකාවන් අවතක්සේරු කිරීමක් නොවේ. ඇය ගීත 33,000කටත් අධික ප්‍රමාණයක් අප වෙනුවෙන් ගයා තිබේ. තාක්ෂණය නොදියුණු අවදියක ඉතා සියුම්ව ඇගේ හඬ භාවිත කළාය. විසිවන සියවසේ ඉන්දියාවේ ජීවත් වන අග්‍රගණ්‍ය පුරවැසියා ලෙස ඇයව සනිටුහන් කර තිබීම ඇගේ අපූර්ව කුසලතාවට තුටු පඬුරකි. මේ සමීක්ෂණය www.indiaworld.com නම් අන්තර්ජාලයෙන් දැකගත හැකිය. 1993 දී පමණ Voice of America ගුවන් විදුලි සේවය මඟින් සොයා ගෙන ඇත්තේ ඇගේ ගී හඬ හැම මොහොතේම ගුවන් විදුලි නාළිකා 1463 කින් ඇසෙන බවයි. ඇය භාෂා 36 කින් පමණ ගීත ගායනා කර තිබේ.

ඇගේ ගායන දිවිය භාරදූර කටයුත්තක් විය. පියාගේ වියෝ වීමෙන් පසුව ආර්ථිකය නැංවීමට ඇයට දායකවීමට සිදුවිය. ගීත පුහුණුවීම්, චිත්‍රාගාරවල දවස ගත කිරීම, දුර බැහැර යාමට සිදුවීම අපමණ වෙහෙසක් දැරිය යුතු කටයුතු විය. නමුත් ඇය ඒ සියල්ල සමබරව ගෙන ගියාය.

අතිවිශාල ගීත ප්‍රමාණයකින් ඇගේ සිත්ගත් ගීත නිර්මාණයක් වූයේ ඛේම් චන්ද් ප්‍රකාශ් සංගීතවත් කළ “මහල්“ චිත්‍රපටයේ “ආයේශා ආනේවාලා“ ගීතයයි. මෙම ගීතය ගයන වාරයක් පාසා ලතාගේ දෑසට කඳුළු උනන බව රසිකයෝ දනිති. ඇය පවසන්නේ ඇගේ ඇතැම් ගීතවල ආකර්ෂණීය ගතියක් ඇති වූයේත් ආකර්ෂණීය බවක් පෙන්නුම් කරන ප්‍රවණතාවක් මතු වූයේත් මේ ගීතයෙන් බවයි. මේ සඳහා රූපණය කළ මධුබාලාට තම දෙතොල් සලිත කරමින් ගැයීමට සිදු නොවීය. ඊට හේතුව එම ගීතය ඇගේ රූපණයට පසුබිම් ගායනයක් වීම බවයි.

ඇයට ගීත රචනා කළ රචකයන් ගණන බොහෝය. ශකීල් බදායුනි, හස්රත් ජයපුරි, ශෛලේන්ද්‍ර, භරත් ව්‍යාස් මජ්රූහ්, සුල්නාන් පුරි, ආනන්ද් භක්ෂි, රාජේන්ද්‍ර ක්‍රිෂ්ණ යන අය ප්‍රබල ගීත රචකයන් විය. එසේම එතුමියගේ සංගීතඥයන් අතර ලක්ෂ්මී කාන්ත් පපාරෙලාල්, සී රාමචන්ද්‍ර, කෞෂාද්, සලීල් චෞද්රි, මදන් මෝහන්, එස්. ඩී. බර්මන්, ශංකර් සහ ජායිකිශන්, සචින් දේව් බර්මන් ප්‍රමුඛ වේ.

භාෂා 36කින් පමණ ගීත ගැයූ ඇය හැම භාෂාවකට ම උරුම වූ අපූර්වත්වය හඳුනා ගත්තා ය. ඒ භාෂාවල ඇතුළත් සංගීතය ග්‍රහණය කර එක හඬක් නිර්මාණය කළා ය. එය භාරතයේ හඬ බවට පත්විය. එසේම භාරතීය රාගධාරි සංගීතය ජනප්‍රිය තලයකට ගෙන ඒමට ඇගේ ගීත ඉවහල් විය. රාගධාරි සංගීතය මත නිර්මාණය කළ මෝගල් ඊ ආසාම් චිත්‍රපටයේ මෝහෙ පන්ඝට් ගීතය, සුවර්ණ සුන්දර් චිත්‍රපටයේ කුහු කුහු බෝලේ කෝසලියා ගීතය, ඛබර් මේරෙ නා ලී නි බහුන් දින් බීතේ ගීතය හාන්ත් ග්යානේෂ්වර් චිත්‍රපටය (1964) වැනි ගීත ඉතා විශිෂ්ට ලෙස ගැයූ ශාස්ත්‍රීය හින්දි ගීත ලෙස සඳහන් කළ හැකිය.

ඇයගේ ගීත ගායනා පරාසය සප්තක තුන පුරාම දිවයයි. මෙබඳු ආශ්චර්යමත් මිනිස් හඬක් දේව කරුණාව මත ලැබුණු බව මහජනතාවගේ විශ්වාසයයි. එසේම පැරණි සංගීතයත් නව සංගීතයත් එක්කළ සියවස් දෙකක එකතුවක් ලෙස ඇගේ ගායනය විනිවිද දැකිය හැකිය.

ඇගේ ගායනා දිවිය පිළිබඳ ඇය මෙසේ පවසයි.

“1940 ගණන්වලදී ගීත ගායනය ඇරඹුණු අතර දක්ෂ සංගීතඥයන් යටතේ ගී ගැයීමට ලැබුණා. කෙසේ වුවද 60, 70 දශකයන් ඉන්දීය සංගීතයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය. මධුබාලා සිට කරීනා කපූර් දක්වා නිළියන්ට මා පසුබිම් ගායනා කළා.“ තවද ඇගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් මෙසේ සඳහන් කරයි. ඒ ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා ඉදිරියේ “ආ යේ මේරේ වතන් කේ ලෝගෝං“ ගීතය ගැයීමයි. එවකට භාරතයේ පැවති තත්ත්වය සහ ගායනයේ විශිෂ්ට බව මත බොම්බේ නගරයේ කුණාටු සුළඟක් සේ පැතිරීමෙන් මේ ගීතය මහජන හදවත් හි කිඳා බැස්සේ ආශ්චර්යවත් අන්දමින්.“

සිනමා ලොව ගීතයෙන් අමන්දානන්දයට පත් කළ ඇයට විවිධ රටවල සංචාරය කිරීමට සිදුවිය. 1985 දී කැනඩාවේ ටොමෙන්ටෝ ප්‍රාන්තයට ගොස් ගී ගැයූ විට විචාරකයන් එය හැඳින්වූයේ තුන්වෙනි ලෝකයේ ගායිකාවක් පළමුවෙන් ලෝකයේ සුබ සාධක අරමුදලක් සඳහා පළවෙනි ලෝකයට පැමිණීමක් වශයෙනි. ඉන් ලද ඩොලර් එක්ලක්ෂ පනස්දාහක මුදල සුබ සාධනය සඳහාම යෙදවිය.

ස්වදේශීය වශයෙන් ගත් කල දේශීය සංගීතය ආරම්භයේ දී ඇයගේ ගී තනු විශාල ප්‍රමාණයකට සිංහල වදන් යොදා මෙරට ශිල්පීන් ගායනා කිරීම අපගේ සංගීත රුචිය ඉහළ නැංවීමක් විය. ඇයට සිංහල ගීත ගායනා කිරීමට ද ලැබුණු අවස්ථාව අපට මහත් අභිමානයකි. ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ එස්. දක්ෂණ මූර්ති සංගීත අධ්‍යක්ෂණය කළ ආනන්ද සමරකෝන් විසින් පද නිර්මාණය කළ 1955 තිරගත වූ සැඩ සුළං චිත්‍රපටයේ “ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජයභූමි“ ගීතය ද “ඉදිරියටම යමු සැවොම“ යන ගීතය ද වේ. ඇගේ කට හඬ පිළිබඳව සුප්‍රකට නළු දිලිප් කුමාර් මෙසේ පවසයි.

මලක් සුවඳ විහිදවයි. සුවඳට කිසිඳු වර්ණයක් නොමැත. සුවඳ සැමට විඳිය හැකිය. සුළඟ ද එසේය. සූර්යයා කිසිවකුගේ කුලමල නොසොයා එකසේ ලොව අලෝකමත් කරනවා සේ ලතාගේ හඬ සියල්ලන්ගේ අපහසුතාවන්ට චමත්කාර ජනක මෙහෙයක් ඉටු කරයි. උග්නාද් විලායන් ඛාන් පැවසූයේ ඇගේ හඬ එන්නේ දිව්‍ය ලෝකයෙන් බවයි.

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් පවසන්නේ ඇගේ හඬ ප්‍රභේදගත කළ නොහැකි බවයි. එබැවින් එය දිව්‍යමය හඬක් (Divine voice) ලෙස නම් කළ යුතු බවයි.

ශ්‍රේෂ්ඨ කාන්තාවක වූ ඇය තුළ දැඩි බවත් නිහතමානි බවත් ලැඟුම් ගත්තාය. එක්තරා Film fare සම්මාන උලෙළකදි ගීතයක් ගායනා කිරීමට ආරාධනා කළ විට ඇය පැවසුයේ පසුබිම් ගායනයට සම්මානයක් එතෙක් තීරණය නොකළ බැවින් ගීතය නොගයන බවය. එම තීරණය මත 1958 වසර සිට පසුබිම් ගායක ගායිකාවන් සඳහා සම්මානයක් සංවිධායකයන් නියම කළහ. ඇය ලද සම්මාන අප්‍රමාණ ය. වරෙක ඌෂා නැඟණිය පැවසුවේ ඒවා ගණන් කළ නොහැකි බවයි. අඛණ්ඩවම ඇයට සම්මාන ලැබෙන බැවින් ඇය නවකයන්ගේ සම්ප්‍රාප්තිය අපේක්ෂා කිරීමට යාව ජීව සම්මාන පමණක් ගැනීමට තීරණය කළාය.

1958 ෆිල්ම් ෆෙයාර් සම්මානය “ආජාරේ පරදේසි“ ගීතයට හිමි විය. පද්ම භූෂන් සම්මානය, භාරත් රත්න සම්මානය, ජීවන් ගෞරව පුරස්තාව සම්මානය, දාදා සාහෙබ් පල්තේ සම්මානය ද විදෙස් සම්මාන රැසක් ද පූනේ විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමූ ගෞරව ආචාර්ය (සාහිත්‍ය) සම්මානය ද (1990), ජාතික සම්මාන රැසක් ද වේ. ඇගේ සුවිශේෂීත්වයට උපහාරයක් ලෙස මධ්‍ය ප්‍රදේශ් රාජ්‍යය ඇය නමින් (ලතා මංගේෂ්කාර් සම්මානය) සම්මානයක් ප්‍රදානය කරයි.

කාර්ය බහුල ජීවිතයක නියැළුණු ඇය සාහිත්‍ය පොතපත කියවීමට ද ඇළුම් කළාය. ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකෝෆ්, ඛලීල් ජිබ්රාන් ඇය ප්‍රිය කළ ලේඛකයෝ ය. විවාහය පිළිබඳ සිතීමට ඇයට කාල වේලාවක් නොතිබුණු බව ද අති දක්ෂ සංගීතඥයකු වූ ඛේම් චන්ද්‍ර ප්‍රකාශ් සංගීතඥයාට ප්‍රේම කළ බව ද ඔහුගේ විශිෂ්ට නිර්මාණ ඇය විශිෂ්ටත්වයට පත්කළ බව ද කිව හැකි බව ඇය සඳහන් කරයි.

කුඩාකලදීම තම සංගීත ඥානය උසස් මට්ටමට ඔප් නැංවූ පියාණන්ගේ අභාවය සිහි ගන්වමින් ඇය 1989 දී අඩු ආදායම් ලාභී ජනතාවට ප්‍රතිකාර කිරීමේ අරමුණින් පූනාහී දීනානාත් මංගේෂ්කර් අනුස්මරණ රෝහල පිහිටුවිය. එය විශාල ව්‍යාපෘතියකි.

මේ මොහොතේ ඇය අපට දනවනුයේ අතිමත් ශෝකයකි. ඈ ගැයූ ශෝකාලාප ඇතුළත් ගීත වූ බව්ජු බව්රා චිත්‍රපටයේ “බච්පන් කි මුහම්බත් කෝ“, ගංගා ජමුනා චිත්‍රපටයේ “දෝ හංසෝං කා ජෝඩා“, පූනාම් චිත්‍රපටයේ “අබ් තෝ ආජා ඕ බලම්“ වැනි අප නිතර මුමුණන ගී අපගේ ශෝකය තවත් නංවාලයි. ශෝකය, ප්‍රමෝදය, භක්තිය, ආදරය සියලු උද්වේගතර චිත්තවේග ඇය ගයා අවසන් කර ඇත. නමුත් ඒ තුළින් අපට ලද හැකි වින්දනය, චමත්කාරය මෙන්ම ජීවිත පරිඥානය පිළිබඳ අප සැලකිලිමත් විය යුතුය.

ඇය පවසා ඇති අන්දමට ඇයට මෙතරම් රසික භක්ත්‍යාදාරයක් ලැබී ඇත්තේ පූර්ව ජන්මයන්හි කරන ලද කුසල කර්ම අනුව බවයි.

 

Comments