මැණිකෙලාට බදුලු යන්න අප්පුහාමි තැනූ ආරුක්කු නවයේ පාලම | සිළුමිණ

මැණිකෙලාට බදුලු යන්න අප්පුහාමි තැනූ ආරුක්කු නවයේ පාලම

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් උඩරට දුම්රිය මාර්ගයේ හමු වන මෙම දුම්රිය පාලම ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථානය අතර ගොටුවෙල ගමේ පිහිටා ඇති “දෙමෝදර දුම්රිය පාලම” නැතිනම් “දෙමෝදර ආරුක්කු නමයේ පාලම” ය.

 

උඩරට මැණිකෙලාට කෝච්චියෙන් බදුලු යාමට පාරක් හැදුණේ ඉංග්‍රීසී පාලන සමයේදී ය. කඳුකරයේ තේ වැවූ ඉංග්‍රීසීන්ට තම නිෂ්පාදන කොළඹට ගෙන ඒමට ලාබදායී ප්‍රවාහන සේවයක් අවශ්‍ය වූ නිසා නිල්ල පිරුණු තේවතු, වන ගොමු වලින් සැරසුණු ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය බදුල්ල දක්වා ඉදි විය.

 

මේ නිසා උඩරට මැණිකෙලා, පොඩි මැණිකෙලා මැණිකෙලා, කුමාරිලා, දේවිලා පමණක් නොව නොයෙක් දේශයන්ගෙන් මෙරටට එන කුමාරයන් කුමාරියන් රැගෙන තවමත් කඳුකරය මැදින් බදුල්ල කරා දුවන්නීය. අතිශය සුන්දර මේ දුම්රිය මඟ බදුල්ල දෙසට ඉදිකරමින් ගිය ඉංග්‍රීසීන්ට ඇල්ල පසුකළ පසු හමුවූ මහා හෙල තරණය කරගත නොහැකිව සිටියදී මෙහි වාසය අප්පුහාමි නම් ප්‍රධානියකු ඉදිරිපත් වී ඉංග්‍රීසින්ද පුදුමයට පත්කරමින් මහා පාලමක් හෙල හරහා සෑදුවේය. ඔහු සෑදූ පාලම මතින් දුම්රිය ගමන් කරවීමට ඉංග්‍රීසි මැවිසුරුවන් බියවද්දී, දුම්රිය පාලමෙන් එතෙර වනතුරු ඔහු පාලම යට නිදා ගත්තේය. එසේ එදා ඉදිවූ ඒ අපූරු දුම්රිය පාලම දෙස් විදෙස් සංචාරකයන් අමන්දානන්දයට පත් කරවමින් අදටත් උඩරට මැණිකෙලා, පොඩි මැණිකෙලා බදුල්ල දෙසට එතෙර කොට දෙයි.

ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනා ගනිමින් උඩරට දුම්රිය මාර්ගයේ හමු වන මෙම දුම්රිය පාලම ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථානය අතර ගොටුවෙල ගමේ පිහිටා ඇති “දෙමෝදර දුම්රිය පාලම” නැතිනම් “දෙමෝදර ආරුක්කු නමයේ පාලම” ය. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකම්‌ කොට්ඨාසයේ පිහිටි මෙම පාලමට මෙතරම් සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් හිමිවී ඇත්තේ එහි පවතින විස්මිත නිර්මාණ ශිල්ප ක්‍රමය නිසාය. එය පිහිටා ඇති පරිසරයේ සුන්දරත්වය ද මෙහි වටිනාකම තවත් ඉහළ නංවයි. මේ පාලම, එය හා බැඳී පවතින බිං ගෙය, පාලමේ කවාකාර හැඩය, පාලම පිහිටා ඇති ගැඹුරු හෙල, අවට ඇති තේ වගාව මෙහි පැමිණෙන සංචාරකයන්ගේ සිතට රසඳුනකි.

ආරුක්කු නවයක් සහිත මේ පාලම ගැඹුරුම ස්ථානයේ සිට උස අඩි 100 අඟල් 6ක් වන කවාකාර පාලමකි. මෙම පාලමේ සුන්දරත්වයට හේතු වී ඇත්තේද මෙම කවාකාර හැඩයයි. අංශක 9 ක වක්‍රතාව සහ ආනතිය 1:44 වන ලෙසින් තැනූ මෙම පාලම එකිනෙක අතර පරතරය අඩි 30 වන කණු 10 කින් යුක්තය. මේ කණු අතර අරය අඩි 15ක් වූ වක්‍ර සහිත වන පරිදි තැනූ ආරුක්කු 9ක් වන ලෙස පාලම ඉදිකොට තිබේ. මෙම පාලම ඉදිවන්නේ ගැඹුරු හෙලක වූ මඩ ගොහොරුවකය. අප්පුහාමි විසින් මෙය කළුගලින් බැඳි බව ජනප්‍රවාදයේ පැවතියත් මෙය කොන්ක්‍රීට් කුට්ටි යොදා කළ අපූර්ව දුම්රිය පාලමකි.

අච්චු යොදා සකස් කළ කොන්ක්‍රීට් කුට්ටි භාවිතයෙන් මෙම පාලම ඉදිකර ඇති නිසා මෙම පාලම ගල් පාලමක් ලෙස බැලූ බැල්මට දිස්වේ. මෙම කවාකාර පාලම මතින් දුම්රිය මාර්ගයද වංගුවක් සහිතව ඉදිකර ඇති අතර බිංගෙයින් මතුවන දුම්රිය වංගුවක් ගෙන පාලම මතින් ගමන් කරන අයුරු නැරඹීමට බොහෝ සංචාරකයන් ප්‍රිය කරයි. පාලමේ දෙපස පැති බැමි ද අච්චු මඟින් සකස් කළ කොන්ක්‍රීට් මඟින් නිමවා ඇති අතර එය තරමක පළලකින් යුත්තය. මේ නිසා පාලමේ පාමුල සිට මෙන්ම පාලම මත සිට ඡායාරූප ගැනීමට ද බොහෝ සංචාරකයක් උනන්දුවක් දක්වති. මේ නිසා මංගල ඡායාරූප සඳහා අලංකාර පසුතලයක් ලෙස ද බොහෝදෙනා මේ දුම්රිය පාලම භාවිත කරයි.

උඩරට දුම්රිය මාර්ගයේ 169 ¾ සැතපුම් කණුව සමීපයේ පිහිටි 1919 වර්ෂයේදී වැඩ නිමා වූ මේ දුම්රිය පාලම අප්පුහාමි විසින් නිර්මාණය කළ බව දැක්වූවද ලංකා දුම්රිය සේවයේ දුම්රිය වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික මැවිසුරුවකු වන හැරල්ඩ් කත්බර්ට් මාවුඩ් විසින් “Constriction of A Concrete Railway Viaduct in Ceylon” යන තේමාව යටතේ ඉංජිනේරු සැලසුම්ද සමඟින් ලංකා ඉංජිනේරු සංගමයට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ ඔහු විසින් මෙම දුම්රිය පාලම සැලසුම් කළ බවයි. ඒ අනුව අප්පුහාමි මෙහි නිර්මාපකයා නොව මෙහි ඉදිකිරීම් කටයුතු බාරගත් දේශීය ප්‍රධානියකු විය හැකිය.

ඇතැම් විටක කත්බර්ට් මාවුඩ් පාලම සැලසුම් කරද්දී අප්පුහාමිගේ අදහස් ලබා ගන්නට ද ඇත. කෙසේ හෝ මේ ගනුදෙනුවේ සැබෑව දන්නේ කත්බර්ට් හා අප්පුහාමි පමණි. නමුත් ඔවුන්ගේ ක්‍රියා නිසා අද වනවිට මෙරට ජනයාට පමණක් නොව සමස්ත ලෝකයාටම රස විඳිය හැකි අපූර්ව නිර්මාණයක් ඉතිරිව තිබේ. එය අනාගත පරපුරට ද උරුම වන අන්දමට ඉතිරි කරමින් දොමෝදර ආරුක්කු නවයේ පාලම රස විඳීම මෙය සොයා එන සැමගේ වගකීමක් වී තිබේ.

 

 

Comments