
විවිධ චරිත ගැන අත්හදා බලන්න මම ආසයි
සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණා. ඒක නැහැ කිව්වොත් බොරුවක්
මලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද විප්ලවයට පසු දවසක් ( A Day After Revolution)කෙටි චිත්‍රපටයේ රඟපෑ සසිත සේනානායකට සහ දේවාංගනී දිසානායකට Eurasia International Monthly Film Festival හි හොඳම නළුවා සහ නිළියට හිමි සම්මානය හිමි ව තිබෙනවා. සිළුමිණ රසඳුන මේ කතාබහ හොඳම නළුවා ලෙසින් සම්මාන ලැබූ සසිත සේනානායක සමඟයි.
•සසිත කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ
මම පාසල් ගියේ කෑගල්ල විද්‍යාලයට. සාමාන්‍ය පෙළ කරපු කාලේ ඉඳන්ම නාට්‍යය හා රංග කලාව කියන විෂය මම හැදෑරුවා. උසස් පෙළටත් කලා විෂයයන් කළේ එතැනදීත් නාට්‍යය හා රංග කලාව කියන විෂය ඉගෙන ගත්තා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇවිත් එතැනදී නාට්‍යය හා රංග කලාව කියන විශේෂවේදී උපාධිය හැදෑරුවා. එහෙම තමා මම කලාවට අවතීර්ණ වුණේ. මේ වෙද්දී රංගන ශිල්පියෙක් වගේම හඬකැවීම් ශිල්පියෙක් හැටියටත් කටයුතු කරනවා. රංගනය පැත්තෙන් ටෙලි නාට්‍යය සහ වේදිකාවට තමා මුලික වශයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ.
• විප්ලවයට පසු දවසක් නිර්මාණය ලැබෙන්නේ කොහොමද?
ඇත්තටම මලිඳු ඔය කෙටි චිත්‍රපටය ලියලා ඉවර වෙලා මට කිව්වා මේක ලියද්දීම ඔළුවට ආවේ අයියාව. කොහොමද අයියට පුළුවන්ද කියලා. මම මලිඳු කියන ලේඛකයාව හරි ආසාවෙන් රසවිඳපු කෙනෙක්. ඒ නිසා මම කිව්වා වැඩේ කරමු කියලා. ඊට පස්සේ මට පිටපත එව්වා.
ඒක කියවපු වෙලාවෙත් මට ඒ ගැන ලොකු පැහැදීමක් ආවා. බොහොම සංවේදී කතාවක්. ඒ නිසා වැඩේට කැමති වුණා. මා එක්ක රඟපෑවේ දේවාංගනී නංගි. එයාගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබුණා.
•සම්මාන ඇගයුම් ලැබීම ගැන දැනගත්තම මොකද හිතුණේ
මගේ මුලිකම දේ මම කරන නිර්මාණයට උපරිම කැපවීම. මොකද අපේ වෘත්තියට අපි කැපවෙන්න ඕන. ඉතින් ඒ චිත්‍රපටය කරාට පස්සේ ඒ ගැන හැමෝම වගේ කතා කරන්න පටන් ගත්තා. මලිඳු කියන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන අංශයේ කථිකාචාර්ය කෙනෙක්. ඒ නිසා ඒ කණ්ඩායමේ නංගිලා මල්ලිලා කිව්වා ඒක මරු අයියේ කියලා. සම්මාන ගැන බලාපොරොත්තුවක් තිබුණා. ඒක නැහැ කිව්වොත් බොරුවක්. මගේ මල්ලිගේ උපන්දිනය දවසේ තමා මට සම්මානයක් ලැබිලා කියන පණිවිඩය ආවේ; ඒක මට විශේෂ වුණා. මම මීට කලින් සම්මාන ලබපු කෙනෙක් නෙවෙයි. ඒ අතර මුල්ම සම්මානය ජාත්‍යන්තර සම්මානයක් වීම ගැන මම සතුටු වෙනවා.
•ටෙලි නිර්මාණ ගැන කතා කළොත් දැනට සංගීතේ ටෙලි නාට්‍යයයේ
ඩන්කන්ගේ චරිතය කරනවා. ඊට කලින් ස්නැප්, නීල පබළු, දෙවැනි ඉනිම වගේ නට්‍යයවලට රංගනයෙන් එකතු වුණා. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ දෙවැනි ඉනිම සහ සංගීතේ දෙවන සහය අධ්‍යක්ෂවරයෙක් විදියට. ඊට පස්සේ රංගනයට යොමු වුණේ. තව මේ දිනවල සුරංජන් අනුරාධගේ ටෙලි නාට්‍යයක් රූපගත වෙමින් පවතිනවා.
•සසිත ට නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න හිතිලා නැද්ද?
මම පොඩි කාලේ ඉඳන්ම ආස වුණේ නළුවා කියන කෙනාට. විවිධ චරිත ගැන අත්හදා බලන්න මම ආසයි. ඒ නිසා නිර්මාණයක් අධ්‍යක්ෂණය කරනවට වඩා චරිත නිරූපණය මම ආසාවෙන් කරන දෙයක්. අනික අධ්‍යක්ෂවරයෙක් වෙන්න ලොකු පරිචයක් තියෙන්න ඕනේ. ඒ නිසා නළුවෙක් හැටියට ඉස්සරහට යන්න තමා බලාපොරොත්තුව.
•කොහොමද පවුලෙන් ලැබෙන සහයෝගය
මගේ ගම කෑගල්ල. අම්මා. තාත්තා සහ මල්ලි මට ඉන්නේ. ලොකු සහයෝගයක් ඒ හැමෝගෙන්ම ලැබෙනවා. මගේ හොඳම ප්‍රේක්ෂකයන් මගේ ගෙදර අය. මගේ පෙම්වතියගෙන් පවා මගේ මේ කලා ගමනට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සියල්ලන්ම තමා මට මගේ ගමනට ශක්තියක් වෙලා ඉන්නේ.
•අනාගත බලාපොරොත්තු
මේ වෙද්දී වේදිකාව සහ ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න අවස්ථා ලැබිලා තියෙනවා.
ඒ වගේම සිනමාව පැත්තට යොමු වෙන්න ආසයි. දේවින්ද කෝන්ගහගේ මහතාගේ නාට්ටාමිආමි චිත්‍රපටයේ පොඩි චරිතයකට කතා කළා. තව සිනමාව පැත්තෙන් හොඳ දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා.