
ජීවන තක්සලාවෙන් ම ජීවිතයේ දුක සතුට විඳ, රංගනයෙන් වේදිකාවේ දිග් විජය කළ ජයලාල් රෝහණ; සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන ආදී දැවැන්තයන්ගේ පර පරාවේ වත්මනිකයා ය.
අපි සැවොම ජීවන රඟමඬලේ රඟන නළුවන් වන්නෙමු යැයි කීවේ ශේක්ස්පියර්ය. යථාර්ථයත් මායාවත් අතර දෝලනය වෙන සාමාන්‍ය ජීවිතයේ සමහරු රඟපාති; තවත් සමහරු ඔහේ ජීවත් වෙති; තවත් සමහරු ලද ජිවිතයට අර්ථයක් සම්පාදනය වන අයුරින් දිවිසැරිය නිම කරති.
ජීවත් වුවත් මළවුන් සේ වන මහා මිනිස් ප්‍රවාහයක් ඉදිරිපිට මැරුණත් ජීවත් වනවා සේ දැනෙන මිනිස්සු ඉඳහිට හමුවෙති. ඒ වාසනාව ලද්දන් අතර කලාකරුවන්ට හිමි වන්නේ මුඛ්‍ය ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයේ අතිශය සාමාන්‍ය මිනිසකුව සිට, රඟහලේදී විශ්වවිද්‍යාලයක් වූ රංගධරයෙක් දිවිමඬලෙන් සමු ගෙන වසරක් ගෙවී ගොස් ය. තවමත් ඔහු සමුගත්තා යැයි නොසිතෙන තරමට ඔහු නිමැවූ රංග චරිත අප ඉදිරිපිට මතකාස්වාදයක් ගෙන දෙන්නේ ය. එනිසා සමුගත්ත ද ඔහු අමරණීය මිනිසෙකි; කලාකරුවෙකි. ජයලාල් රෝහණ අපූර්ව කලාකරුවා පසුගිය වසරේ පෙබරවාරි 11 වැනිදා දිවිමඬලෙන් සමුගන්නා විට පනස් හය වැනි වියේ පසුවිය. මේ උදාවූයේ ඔහු නැතිව ගෙවුණු පළමු වසරේ ගුණානුස්මරණයයි.
1964 නොවැම්බර් 1 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී උපන් ජයලාල් රෝහණයන්ගේ දෙමවුපියන් වූයේ වෘත්තියෙන් ගිනි නිවන භටයකු වූ අරුනෝලිස් අප්පුහාමි හා කරුණාවතී වීරසේකර ය. පවුලේ වැඩිමලා වූ රෝහණට සහෝදරයෙක් හා සහෝදරියක් විණි. රෝහණ අකුරු කිරීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වූයේ 1971 වසරේය. 1976 වසරේදී පාසලේ වේදිකාගත වූ දැල් ඇදීම නම් ධීවර ගීත නාට්‍ය ජයලාල් රෝහණගේ ප්‍රථම වේදිකාගමනයයි. එතැනින් ඇරඹි මඟ තව බොහෝ දුර යන්නට ප්‍රවේශය සම්පාදනය වන්නේ සයිමන් නවගත්තේගමයන් හමු වීමෙන් ඉනික්බිතිවය. වේදිකාවට පාතබන නළුවකු රංග පාසලක් හා සමවීමට බලපෑම් වන කරුණු කාරණා සියල්ල ජයලාල් රෝහණ ඉදිරියේ පෙළ ගැසෙන්නේ එපරිද්දෙනි.
2005 වර්ෂයේදී සත්දින ප්‍රකාශනයක් ලෙස සුනිල් මාධව ප්‍රේමතිලක ගැන අපූරු පොතක් පළ වෙයි. ඒ ‘පෙරමුණක් නැති සෙනෙවියකුගේ කගපතක මුවහත‘ නමිනි. මේ කෘතියට ‘සුනිල් මාධව‘ යන මැයෙන් ජයලාල් රෝහණ අපූරු ලිපියක් ලියයි. ඒ ලියැවිල්ලේ ගොඩනැඟීම හරහා ජයලාල් රෝහණයන්ගේ ගොඩනැගීමද සමානුපාතිකව එහි අන්තර්ගතය. ඔහු පවසන පරිද්දෙන් කොළඹ කේන්ද්‍ර කරගෙන උප සංස්කෘතියක් ගොඩනැංවීමෙහිලා කිහිපදෙනෙක් පුරෝගාමී වූහ. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය මේ කල්ලියේ නවාතැන්පළ විය. මේ රස්තියාදුව හා සාකච්ඡා මහා කලාකරුවන් කිහිපපොළක්ම බිහිවීමට පදනම දැමුවේ ය. ඒ අතර ජයලාල් රෝහණ ද වේ.
2001 මැතිවරණයේදී නුගේගොඩ ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘සමාජවාදී කලා සංගමය‘ යටතේ පැවැත්වුණු රැස්වීමට මහා පිරිසක් පැමිණ සිටියහ. මේ රැස්වීම් වේදිකාවට ජයලාල් ට අමතරව පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, සුනිල් මාධව, ඩබ්ලිව්. එස්. විජේසිංහ ප්‍රමුඛ පිරිසක් ගොඩවුණහ. ඔහුගේ මේ ජනතාවාදී දේශපාලන ප්‍රවේශයට ඔහුගේ පියා ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වීමත් බලපාන්නට ඇත. සුඛනම්‍ය ශෝභන ජීවිතයක් කවදත් හිමි නොවූ ජයලාල් රෝහණට; ඒ වැනි ජීවිතයක් සඳහා අවැසි පොපියන චමත්කාරය සොයන ශෝභන මනසක් හිමි නොවන්නට ඉහත කී පන්නරය හා දැකීම බලපාන්නට ඇත.
පියාගේ අභාවයත් සමඟ අතිශය කටුක ජීවන අරගලයකට මුහුණ පෑමට සිදුවූ ජයලාල් රෝහණ 1985 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූව ද විද්‍යා උපාධිධරයකු ලෙස ඔහු ඉන් පිටවන්නේ 1995 වසරේදී ය. රටේ පැවති දේශපාලන තත්ත්වය නිසා වසර 10කටත් අධික කාලයක් පේරාදෙණිය සරසවියේ ගත කළ ජයලාල් රෝහණ පැවති ආර්ථික අපහසුතා නිසාම ඒ කාලය ඇතුළත කොළඹ වර්ණ රසායනාගාරයක වර්ණ ඡායාරූප මුද්‍රණකරුවකු ලෙස ද සේවය කර තිබේ. මේ සියල්ල ජීවන තක්සලාවේ අත්දැකීම් වූවා මිස ඒ කිසිවක් නිසා ඔහු නොතැවුණේ ය; ඒවා ආඩම්බරයක් කොට සැලකීය. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ම සමාජ විද්‍යාව, දර්ශනය, නාට්‍ය හා රංග කලාව පිළිබඳව ඔහු පශ්චාත් උපාධි හිමිකර ගත්තේ ය.
උපාධිධරයකු වූ ජයලාල් රෝහණ සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. ඔහුගේ ගුරු දිවියේ මුල්ම පත්වීම ලැබූයේ තණමල්විල මහ විද්‍යාලයට ය. විද්‍යා ගුරුවරයකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ ජයලාල් රෝහණට කෙටි කලකින් මීගමුව පිටිපන විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබුණි. ඉන් අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකාවේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු වෘත්තිය වසර දහයක කාලයක් නිරත විය. ඔහු විශ්වවිද්‍යාල කිහිපයකම බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් ද සේවය කළේ ය.
රංග අභ්‍යාස පුහුණු වැඩමුළු සඳහා රට වටේ පාසල්වලට ගිය ජයලාල් රෝහණ ගී ගයමින්, නටමින් හා රඟමින් සිය වසඟයට ප්‍රේක්ෂකාගාරය ගන්නා අයුරු මනමෝහනීයය. ආසන්තම අත්දැකීම ඔහු හා මට විඳ ගන්නට ලැබුණේ ගාල්ල රිපන් බාලිකාවේදී ය. එදා ඔහු දරුවන් සමඟ කවි, ගී කියමින් ගුණනැණ දෙකෙන් ම පිරිපුන් දේශනයක් කළේ ය. ඔහු හා එක ම වේදිකාවේ මා ඉගෙන ගත් පාසලේ එදා දේශනයක් කිරීමේ ආඩම්බරය මම ද වින්දෙමි. පුහුණු වැඩමුළුවෙන් පසු දරුවන් ඔහු වටකර ගත්තේ ඉමහත් ආදරයෙනි. නව පැරණි කියා පරම්පරා බේදයකින් තොර ව මේ මෑතකාලයේ ප්‍රේක්ෂකයන් නිම්හිම් නැතිව ආදරය කළ කලාකරුවන් සිටියේ අතළොස්සකි. ඒ අතර ජයලාල් රෝහණ සිටින්නේ ඉදිරියෙන් ම ය. කලාකරුවා යන පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු ඊට සාකල්‍යයෙන් ම සුදුසු වන්නේ අභ්‍යාසය හා න්‍යායික දැනුම් පරාසය යන ද්විත්ව සුදුසුකම ම දරන බැවිනි.
1987 වසරේදී ‘ලෝකා‘ කෙටි නාට්‍ය සඳහා ජයලාල් රෝහණ සම්මාන හතරක් දිනා ගත්තේ ය. ඒ හොඳ ම නළුවා, හොඳ ම අංග රචනය, හොඳ ම වේදිකා පරිපාලනය හා හොඳ ම ආලෝකකරණය වෙනුවෙනි. එතැනින් පටන් ගත් ඔහුගේ කලා දිවියේ සම්මානිත වීම් මේ වන විට අර්ධ ශතකයද ඉක්මවා ගොසිනි. ඒ සියල්ලට වඩා ලක්ෂ කෝටි ප්‍රකාර ජනතා සම්මාන හා ආදරණීය බැඳීම් වලින් ඔහු පොහොසත් ව සිටියේ ය. වේදිකාවෙන් පුංචි තිරයට ගොඩවෙන ජයලාල් රෝහණ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුවේ ‘ඉසුරුයෝගය‘ ටෙලි නාට්‍යයේ ‘මුතුමිණ‘ගේ චරිතයෙනි. මුතුමිණ චරිත නිරූපණය සඳහා ජයලාල් රෝහණට ඒ වසරේ, සුමති ටෙලි සම්මානය, OCIC සම්මානය, සහ රූපවාහිනී රාජ්‍ය සම්මානයද හිමි විය.
මෙතෙක් ලේඛකයන්ට හසු නොවූ ඉසව් ස්පර්ශ කරමින් ඔහු කෘති තුනක් රචනා කර තිබේ. ඒ සබේ විදුලි විලක්කුව, සැබෑ මුහුණ හා වෙස් මුහුණ, හඬ වැඩුම යන කෘති ත්‍රිත්වයයි.
ජීවන තක්සලාවෙන් ම ජීවිතයේ දුක සතුට විඳ, රංගනයෙන් වේදිකාවේ දිග් විජය කළ ජයලාල් රෝහණ; සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන ආදී දැවැන්තයන්ගේ පරම්පරාවේ වත්මනිකයා ය. ජයලත් මනෝරත්නයන්ගේ නික්ම යෑමේ දුක්ඛදායී සංවේගය සිතේ කොනිති ගසද්දී; ජයලාල් රෝහණ ද දිවිමඬලින් බැස යෑමේ සංවේගය මෙතරම් කලින් දරා ගන්නට සිදුවීම ඛේදජනක ය.