
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය මට ලැබුණේ මගේ පියාගෙනුයි. අපේ පවුලේ ලොකු අය්යා ජල ජීව විද්‍යාඥයෙක් වුණා. මට බාල නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපි හතර දෙනාටම බාල මල්ලී විදුලි ඉංජිනේරුවරයෙක් වුණා
මගේ බිරිය සුනේත්‍රා කාරියවසම් රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරනවා. අපේ වැඩිමහල් පුතා ඉසුරු විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනයක මූල්‍ය උපදේශක හැටියට කටයුතු කරනවා; දෙවැනි පුතා යසස් කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා විශේෂවේදී අවසාන වසර උපාධිය හදාරනවා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ උපකුලපතිවරයා බවට 2021 වර්ෂයේදී පත් වූ මහාචාර්ය පී. එම්. සී. තිලකරත්න හෙවත් පත්තිනිකුට්ටි මුදියන්සෙලාගේ චන්ද්‍රලාල් තිලකරත්න පුත්තලම දිස්ත්‍රික්කයේ, වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ, කිරිමැටියාන ලුණුවිල ග්‍රාමයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැන්නා ලෙස උපත ලබා, කිරිමැටියාන රජයේ විදුහලේ ගුරු නිවාසයේ හැදී වැඩුණු අයෙකි.
ඊජිං (Aegean) විශ්වවිද්‍යාලයට අයත් ග්‍රීසියේ කිඔස් (chios) දූපතේ පිහිටි ව්‍යාපාර පරිපාලනය පිළිබඳ අධ්‍යයන පීඨයේ මහාචාර්ය ඇන්ඩෲ මෙරිකාස් යටතේ ව්‍යාපාර මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ව පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් 2001 වර්ෂයේදී රන් පදක්කමක් ද සහිත ව ආචාර්ය උපාධිය ලබාගත් ඔහු කැලණිය විශ්වවිද්‍යාලයයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයට පැමිණෙන්නේ ශිෂ්‍යත්වයක් මත ආචාර්ය උපාධියක් රන් පදක්කමක් ද සහිත ව ලබා එම පීඨයට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා බවට විශ්වවිද්‍යාල ඉතිහාසයට එක් වෙමිනි. එම පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානි බවට පත්වන ඔහු සිය ආචාර්ය උපාධි සමයේදී යුරෝපා කොමිසමේ රටවල් ගණනාවක සංචාරය කිරීමෙන් ලද විවිධාකාර වූ අත්දැකීම් සම්භාරයන් ප්‍රායෝගික ව යොදා ගනිමින් මෙරට විශ්වවිද්‍යාල දියුණු කිරීමෙහිලා මහඟු මෙහෙවරක් ඉටු කරන්නට වූයේ ය.
"කිරිමැටියාන රජයේ විදුහලේ එවක විදුහල්පති වූයේ මගේ මව ශීලා තිලකරත්න යි. ඇය මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. අද වෙන්නප්පුව කිරිමැටියාන බෞද්ධ බාලිකා විද්‍යාලය ලෙස හඳුන්වන එම පාසලේ දෙවැනියට විදුහල්පති හැටියට පත්වුණේ ඇය යි. ඇය ඒ පාසල ගොඩාක් දියුණු කළා. ඇය අංක ගණිතයට ඉතාමත් ම දක්ෂයි. ගුරුවරියක් විදියටත් ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දුන්නා. විදුහල්පති සේවයට අමතර ව ඇය ඉතාමත් ම කීර්තිමත් තැනැත්තියක් බවට පත්වුණා. ඇය සමාජ සේවා කටයුතු බොහෝමයක් කළා. ඒ වගේ ම හොඳ කථිකත්වයක් ඇයට තිබුණා. ඇය එම පාසලේ සෑම දරුවකුට ම මවක් වුණා. අපි හැදී වැඩුණු ඒ පාසලේ නිල නිවස පිහිටා තිබුණේ කන්දක් උඩ යි. ඒ කන්ද පාමුල තිබුණු මේ පාසලේ ළමයි කෑගහන සද්දෙ තමයි මට උපන්දා පටන් ඇහුණේ. ඒ පාසල අවට පරිසරය හරිම සුන්දර යි. පාසල ළඟ ම ලොකු වෙල්යායක් තිබුණා. මුළු ප්‍රදේශයේ ම අයට නාන්න පුළුවන් ලොකු ළිඳකුත් තිබුණා. වෙල්යාය අද්දරින් කොළඹ කුලියාපිටිය පාර තිබුණා. අපේ අම්මා තුළ තිබූ අසීමිත කාරුණික බව නිසා පාසලේ සිටි අපේ සම වයසේ ළමයි නිල නිවාසෙට හැමවිට ම එන්න පුරුදු වෙලා හිටියා. සමහර ළමයි ඔවුන්ගේ දුප්පත්කම නිසා ඇඳිවතත් නැතුව නිල නිවාසෙට දුවගෙන ආවා. අපේ අම්මා ඒ ළමයින් ව වෙලේ තිබුණු ළිඳ ළඟට අරගෙන ගිහිල්ලා හොඳට නාවලා, ඇඳුම් අන්දවලා, පාන් පෝරණුවකින් බනිස් ගෙන්නවගෙන ඒ හැමෝට ම හොඳට කන්න දීලා හැන්දෑ වෙනතුරු ඉගැන්නුවා. ඒ ළමයි අපේ යාළුවො වුණා.
අම්මා එයාගේ මාසික වැටුපෙන් මේ දුප්පත් ළමයින්ට කන්න, අඳින්න දුන්නා. එයාලා ව සතුටින් තැබුවා. අපිත් ඒ ළමයි එක්ක එකට හැදුණා. ඕනෑ ම කටයුත්තකදී කණ්ඩායමක් එක්ක එකට, සුහද ව වැඩ කරන්නේ කොහොමද කියලා මං අම්මාගෙන් ඉගෙන ගත්තා. අදටත් මගේ බොහෝ කටයුතු සාර්ථක වන්නේ අන් අය සමග හොඳින් කටයුතු කිරීමේ හැකියාව මා තුළ තිබෙන නිස යි. මගේ පියා පී. එම්. තිලකරත්න භාෂා කෙටුම්පත් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යන රාජ්‍ය ආයතනවල රජයේ දිවුරුම් දුන් භාෂා පරිවර්තක ලෙස කටයුතු කළා. මීගමුව මහාධිකරණයේ සේවය කරමින් සිටියදී පියා විශ්‍රාම ගියා. දැන් ඔහුට වයස අවුරුදු අනූ දෙකක් වෙනවා. ඔහු තවමත් භාෂා පරිවර්තන කටයුතුවල සක්‍රීය ව නියැළී සිටිනවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය මට ලැබුණේ මගේ පියාගෙනුයි. අපේ පවුලේ ලොකු අයියා ජල ජීව විද්‍යාඥයෙක් වුණා. මට බාල නංගිලා දෙන්නෙක් ඉන්නවා. අපි හතර දෙනාටම බාල මල්ලී විදුලි ඉංජිනේරුවරයෙක් වුණා."
පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් ආනන්ද විද්‍යාලයට පැමිණිය ද දෙමව්පියන්ගේ රැකියාවල ස්ථාන මාරුවීම් නිසා වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් ජාතික පාසල වෙත ඔහු ඇතුළත් කෙරිණි. එතැන් සිට උසස් පෙළ දක්වා එහි රැඳුණි.
"පාසලේ අනෙකුත් දරුවන් උදෑසන ආගමික කටයුතු සඳහා පාසලේ පල්ලිය වෙත යද්දී විල්සන් රත්නායක පිට්ටනියෙ මැයි ගස යට මා ඇතුළු බෞද්ධ ළමයි හතරදෙනාට පන්සිල් ලබා දුන්නා. කතෝලික පාසල තුළ බෞද්ධ ආගමික සිරිත් විරිත් ගති ලක්ෂණ අනෙක් අයට පෙනෙන්නට දැනෙන්නට මම සිදු කළා. විදුහල්පතිවරයාට වැඳීමේ සිරිතක් කතෝලික ළමයි අතර තිබුණේ නැහැ. නමුත් මම විදුහල්පතිවරයා හමුවන සෑමවිටදී ම එතුමාට වඳින්න පුරුදු වෙලා හිටියා. අන් අයට එය අමුතු අත්දැකීමක් බවට පත් වුණා. මම කළ සමහර හොඳ වැඩ බොහෝ අය පසුව අනුකරණය කරන්න පටන් ගත්තා. ඒ කාලේ පාසලේ පාපන්දු කණ්ඩායම සමස්ත ලංකා ජයග්‍රහණ කීපයක් ම පාසලට අත්කර දී තිබුණා. මේ නිසා මමත් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූවා.
කකුල් මාට්ටු දාගන්නේ නැතුව අරමුණක් කරා හඹා යන්නේ කොහොමද කියන දේ පාපන්දු ක්‍රීඩාවෙන් මම ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ ඉහළින් ම සමත් වුණා. මට ඒ කාලේ විශේෂ කියලා අරමුණක් තිබුණේ නෑ. මට ගණිතය ඉතා ම හොඳින් පුළුවන්කම තිබුණත් මම උසස් පෙළට වාණිජ විෂයයන් තෝරා ගත්තා. උසස් පෙළ පන්තියේ වාර විභාගවලදී හැමදාමත් මම පන්තියේ පළමුවෙනියා වුණා. ඒ වගේ ම දිනපතා පාසලට පැමිණීම, සෑම විෂයකට ම වැඩි ම ලකුණු ලබාගැනීම ආදියටත්් මම සහතික ලබා ගත්තා. පාසලේ විවිධ කටයුතුවලට මුදල් අවශ්‍ය වන අවස්ථාවලදී මම ඒ සඳහා විශේෂ ප්‍රායෝගික දායකත්වයන් ලබා දුන්නා. එක් අවස්ථාවක මට මතකයි පාසලේ ආපනශාලාව සතියකට වහලා ගෙවල්වලින් කෑම හදාගෙන ඇවිත් ළමයින්ට අලෙවි කරලා ඒවායින් සල්ලි හොයලා පාසලේ උත්සව කටයුතුත්තක් පවත්වන්න මූල්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්න මම මූලික වුණා. තවත් අවස්ථාවක පාසලේ මූල්‍ය අවශ්‍යතාවකදී ගුරු උපදෙස් පරිදි බයිසිකලයක් ලොරියක පටවගෙන ලොතරැයියක් අලෙවි කරමින් ලොතරැයිය ගැන නිවේදනය කරමින් රට පුරා ගියා. ජීවිතයේ අමතක නොවන, වර්තමානයට ශක්තිය ගෙනා බොහෝ දේ පාසල් ජීවිතයේ තියෙනවා."
ලෝක බැංකු ආධාර යටතේ 2003 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය සහ අදාළත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන සියයක ප්‍රදානයක් තරගකාරී ව දිනා ගැනීම සඳහා නායකත්වය සැපයූ මහාචාර්ය තිලකරත්නයන් ඒ අනුව විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන් රැකියා අභිමුඛ පාඨමාලාවලට යොමු කිරීම පිළිබඳ කටයුතු දියුණු කළේ ය.
"රටේ පිළිගත් ඉහළ පෙළේ ව්‍යාපාර ආයතනවල විධායක නිලධාරීන්ට අපේ උපාධි අපේක්ෂකයන් මුණගස්සවලා, ව්‍යාපාර ආයතනවල අවශ්‍යතා නිසි පරිදි සපුරා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යොදා ගැනීම සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කළා. ඒ වගේ ම එවැනි ආයතනවලට අවශ්‍ය වන වෘත්තීය නිපුණතාව තමා ලබා ගත් උපාධියට ගළපා ගනිමින් රැකියා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට එමගින් ශිෂ්‍ය ප්‍රජාවට අවකාශ සලසා දුන්නා. එය දෙපාර්ශ්වයට ම සඵලදායී අවස්ථාවක් බවට පත් වුණා. ඒ වගේ ම ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය, අන්‍යොන්‍ය සබඳතා පුළුල් කර ගැනීම සහ සමාජ සහජීවනය පවත්වා ගැනීම, නායකත්ව ගුණාංග ප්‍රගුණ කිරීම, ආයතනගත ප්‍රායෝගික කුසලතා ප්‍රවර්ධනය කිරීමට අවස්ථාව උදා කරදීම ඇතුළු ව තවත් පැති ගණනාවකින් උපාධි අපේක්ෂකයන්ගේ අනාගත ස්ථාවරත්වය ගොඩනැඟීමට අවශ්‍ය පරිදි විශ්වවිද්‍යාල කටයුතු වැඩිදියුණු කරන්න මට හැකි වුණා."
මහාචාර්ය තිලකරත්නයන් 2007 වර්ෂයේදී විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ පර්යේෂණ සහ අධ්‍යයන කටයුතු පිළිබඳ පළමු අධ්‍යක්ෂවරයා බවට පත්වන්නේ තමා උගත් සහ පර්යේෂණ සිදු කළ විෂය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික ව නියැළෙන්නට අවස්ථාව ද උදා කර කරමිනි. එහිදී ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තැරැව්කරුවන් උදෙසා සුදුසුකම් රාමුවක් ඉදිරිපත් කළ මහාචාර්යවරයා සිංගප්පූරුව හා ඔස්ට්‍රේලියාව සම්බන්ධ කර ගනිමින් විවිධ වැඩමුළු ද සංවිධානය කළේ ය. ඊට සමගාමී ව උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක් වන "නැවිතා ඔස්ට්‍රේලියා" ආයතනයට අනුබද්ධ ව්‍යාපාර තාක්ෂණය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ බවට පත් වන්නේ ය. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල කටයුතු වෙනත් රටක පවත්වාගෙන යන ආකාරය පිළිබඳ මැනවින් ප්‍රගුණ කිරීමට එහිදී ඔහුට අවකාශ සැලසිණි. 21 වන ශත වර්ෂයේදී උසස් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා වන ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ 2011 වසරේදී යාපනය විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ පීඨයේ ප්‍රධාන උපදේශක බවට පත්වන මහාචාර්ය තිලකරත්න එහි විෂය නිර්දේශ සංශෝධන හා ඵලදායී කිරීමෙහිලා මූලිකත්වය ලබා දුන්නේ ය. පසුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විෂය නිර්දේශය නවීකරණය කිරීමේ තාක්ෂණික උපදේශක බවට ද ඔහු පත්වන්නේ ය. ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසත් විගණන කමිටුවේ සභාපතිවරයා ලෙසත් ඔහු කටයුතු කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ කාර්ය මණ්ඩල සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා බවට පත් වන ඔහු එහිදී විශ්වවිද්‍යාලයයේ නවක කථිකාචාර්යවරුන්ගේ මූලික පාඨමාලාව තවදුරටත් උසස් හා පුළුල් කළේ ය. දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වාදෙමින් එහි කටයුතු මනාව සම්බන්ධීකරණය උදෙසා තොරතුරු පත්ධතියක් සැකසීමෙහිලා පුරෝගාමී වූයේ ය.
මේ වනවිට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සුබසාධන කටයුතු හා පාඨමාලා හඳුන්වාදීමත්, බහුදින පාඨමාලා ගුණාත්මක ව පවත්වා ගෙන යාමත්, පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීමත්, විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් දියුණු කිරීමත් කෙරෙහි ඔහුගේ වැඩි අවධානය යොමු ව තිබේ.
"දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපනය ක්‍රියාත්මක වන එක ම විශ්වවිද්‍යාලය හැටියට වගකීම් රැසක් මා වෙත පැවරී තිබෙනවා. ඒ සමඟ ම සමස්ත ක්‍රියාකාරකම් ආවරණය වන පරිදි කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා වන කළමනාකරණ තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුතුවල මේ දිනවල නිරත ව සිටිනවා. නව දෙපාර්තමේන්තු බිහිකිරීම, නව පාඨමාලා ඇති කිරීම, පර්යේෂණ කටයුතු පුහුණු කිරීම යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් කිවයුතු වන්නේ විවෘත විශ්වවිද්‍යාලයයේ සෑම අංශයකින් ම මට ඉතා හොඳ සහායක් ලබා දෙනවා. හැම කෙනෙක් ම මා එක්ක සුහදශීලි ව කටයුතු කරනවා. ඒ ආකාරයට හැම කෙනෙක් එක්ක ම ගැටුමකින් තොර ව කටයුතු කිරීමට මට හැකි වී තිබෙන්නේ පුංචි කාලේ සිට මගේ අම්මා අපට නිරායාසික ව ලබා දුන් පුහුණුව නිසා කියා මම හිතනවා."
නිදහස් මනසින් කටයුතු කරන්නට බිරිය සහ දරුවන්ගෙන් ලැබෙන සහාය ගැන ද ඔහු සිහි කළේ ය.
"මගේ බිරිඳ සුනේත්‍රා කාරියවසම් රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරනවා. අපේ වැඩිමහල් පුතා "ඉසුරු" ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගණකාධිකරණය පිළිබඳ වෘත්තිය සුදුසුකම් සම්පූර්ණ කර මේ වනවිට විදේශීය පෞද්ගලික මූල්‍ය ආයතනයක මූල්‍ය උපදේශක හැටියට කටයුතු කරනවා. එයා ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. දෙවැනි පුතා යසස් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. එයා කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා විශේෂවේදී අවසාන වසර උපාධිය හදාරනවා. ඇත්තට ම ඉතින් අපි දෙන්නාට ඒ දෙන්නා යස ඉසුරු තමයි."