
• හැම කාන්තාවකටම ආවේණික ලස්සනක්තියෙනවා
• තැනට සුදුසු විදියට අඳින්න පලඳින්න පුරුදු වෙන්න
• ගුණධර්ම වර්ධනය කරගැනීම කාන්තාවකට ආභරණයක්
කාන්තාවක් වූ කලී සෑම දෙයකින්ම පරිපූර්ණ වීම වැදගත්. රූපයෙන් , දැනුමෙන්, ගුණයෙන් සන්නද්ධ විය යුතුය. නමුත් වර්තමාන කාල සීමාව තුළ කාල කළමනාකරණය සහ සමාජ පිරිහීම් නිසා කාන්තාවගෙන් මේ එක දෙයක් හෝ ගිලිහී ගොස් ඇත. නමුත් සමාජය තුළ කාන්තාවක් ලෙස බැබළීමට නම් අපි මේ සියල්ලගෙන්ම පරිපූර්ණ විය යුතුය.
සිළුමිණ රසඳුන රූ රහස් ඔස්සෙ අප ඔබට නිතරම ලබා දීමට උත්සහ කරන්නේ පෞරුෂවත් කාන්තාවක් වන ආකාරය පිළිබඳවයි. අද ඒ පිළිබඳ ඔබව දැනුම්වත් කරන්නෙ ප්‍රවීණ රූපලාවණ්‍යය ශිල්පිනි අශෝකා තිලකරත්නයි.
කාන්තාවක් ලෙස අප ආකර්ෂණයක් ලබාගත යුත්තේ රූපලාවණ්‍යය පැත්තෙන් පමණක්ම නොවෙයි. සෑම කාන්තාවකට ම මේ සියල්ල හෝ කිහිපයක් පිහිටා තිබෙනවා. ඒ වගේම අඩුපාඩුත් යම්තාක් දුරට තිබිය හැකියි. උදාහරණයක් ලෙස ඔබට කොණ්ඩය සුළු ප්‍රමාණයක් තිබෙන්නට පුළුවන්. ඔබ තරමක් සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත වැඩි වෙන්න වගේම උස ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එවැනි කුමක් හෝ දෙයක් තිබෙන්නට පුළුවන්. මම මෙම ලිපිය කියවන ඔබට කියන්නෙ නැහැ කාන්තාවක් විදියට ඔබ නිරූපණ ශිල්පියකුගේ ශරීරය වගේ ලස්සන ශරීරයක් තිබිය යුතුයි යනුවෙන්. අපි කතාබහ කරනු ලබන්නෙ සාමාන්‍ය ජිවිතයක් ගතකරන කාන්තාවක් ගැනයි. සෑම කාන්තාවක් ම සතුව යම්කිසි ආකර්ෂණයක් තියෙනවා. එය පමණක් මදි. හැමෝටම පංච කල්‍යාණියක් වීමට නොහැකි වුවත් අපට ලැබී තිබෙන දේවල්වලින් අපට ආකර්ෂණයක් ලබාගත හැකිය. එහිදී අප විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ අප අඳින පලඳින ආකාරය පිළිබඳවයි; කොණ්ඩය සකස් කර ගන්නා ආකාරය පිළිබඳවයි. කොණ්ඩය, මුහුණ, දෑත් දෙපාවල නියපෙළ ආදියේ පිරිසිදුකම මේ සියලු දේම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මම මෙයින් අදහස් කළේ රූපලාවණ්‍යාගාරයක් වෙතට ගොස් ඔබේ හිසකෙස් නියපෙළ ආදිය සකසා ගැනීම ගැන නොවෙයි. අපට තිබෙන පහසුකම් සහ මුදල් අප කළමනාකරණය කරගත යුතුයි. අප අඳින ඇඳුමෙන්, අප කොණ්ඩය පීරන ආකාරයෙන් අපගේ පිළිවෙළ කුමක්ද යනුවෙන් කෙනෙකුට නිගමනය කළ හැකියි. ඒවා ඉතාමත්ම සරල දේවල්. ඊළඟට කාන්තාවකගෙ හැසිරීම බොහොම වැදගත්. තැනට සුදුසු විදියට අඳින්න පුළුවන් නම්, කොණ්ඩය පීරන්න පුළුවන් නම් ඒ දෙයම ඇති කාන්තාවක් විදියට ආකර්ෂණයක් ලබා ගන්න.
ඊළඟට කාන්තාවක් රූපලාවණ්‍යය වශයෙන් පමණක් නොවෙයි ගතිගුණ අතිනුත් පරිපූර්ණ විය යුතුයි. පවුල් පසුබිමෙන් සහ හැදියාව මතින් ඕනෑම කෙනෙකු ගතිගුණ අතින් පරිපූර්ණ වෙනු ලබනවා. තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමේදී විශේෂයෙන්ම හොඳ යහළුවකු සිටිනවා නම් ඇය සමඟ සාකච්ඡා කර තමන්ගේ අඩුපාඩු සකසා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. මක්නිසාද යත් අපගේ අඩුපාඩු අපට පෙනෙනවා අඩුයි.
අපේ රැකියාව කුමක් වුවත් අපට රැකියාවට අදාළව අපගේ ගතිගුණ යහපත් කරගත හැකියි. උදාහරණයක් විදියට ගුරුවරියක් විදියට වර්ධනය කරගත යුතු යහපත් ගුණධර්ම බොහොමයක් තිබෙනවා. කරුණාව, ආදරය, අධික ලෙස ශබ්ද නොනැඟීම , කලබලකාරී නොවී හැසිරීම වැනි දේවල් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. මොකද ඒ දේවල් තමන්ගෙ යටතේ ඉන්න දරුවන්ට බොහොමයක් වැදගත් නිසාවෙනි. ගුරුවරයාගෙ ඇඳුම, හැසිරීම, කතාබහ දරුවන්ගෙ සිතට කා වදිනවා. ඒ නිසා අපි අපගේ හැසිරීම ඊළඟ පරම්පරාවට අපි නොදැනුවත්වම දායාද කරනවා. ආයතනයක ගත්තත් අපට ඉහළින් හෝ පහළින් සිටින අයට අපගේ හැසිරීම බොහොමයක් බලපාන නිසා අනිවාර්යයෙන්ම ඔබ ඔබගේ හැසිරීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. පවුලක් වශයෙන් ගත්කල මවගේ හැසීරීම ද දරුවන්ගේ ගතිගුණවලට රුකුලක් වෙනු ලබනවා. ඒ නිසා ඔබ කාන්තාවක් වශයෙන් මවකගේ භූමිකාව නිරූපණය කරනවා නම් ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
ඊළඟට අංගසම්පූර්ණ කාන්තාවක් වීමට දැනුම බලපානවා කියලා අපි කතා කළත් බොහො දෙනෙකු විශ්වාස කරනවා දැනුම යනුවෙන් හඳුන්වන්නෙ පොතේ පතේ දැනුම කියලා. නමුත් ඒ දැනුමට වඩා බොහොමයක් වටින්නෙ අප දියුණු කරගන්නා නැණ නුවණයි. පොතේ දැනුම ඔබ රැකියාවකට යනවිට අධ්‍යාපන සුදුසුකම් ලෙස ඉවහල් වෙනවා. සමාජයේ ජීවත් වනවිට ලැබෙන ඇත්දැකීමෙන් ලැබෙන දැනුමත් ජීවත් වීමේදී වැදගත්. පොතේ දැනුමයි, සමාජයෙ ජීවත් වනවිට ලැබෙන දැනුමයි කොටස් දෙකක්. ඒ දෙකම සමබරව තිබෙනවා නම් අපි සාර්ථකයි.
ඊළඟ වැදගත්ම කාරණය නම් ඔබ රූපලාවණ්‍යාගාරයකට යනව නම් හොඳින් එය පිළිබඳ සොයා බලා යන්න. හේතුව එම රූපලාවණ්‍යාගාරයෙන් සිදුවන සේවාව හරියටම ඔබට ඉටුවනවාද බලන්න. රූපලාවණ්යාගාරයන් ඔබට සේවයක් ලබාදෙන කෙනා ඔබට ආදර්ශයක් වනවාද යන්න මුලින්ම සොයා බලන්න. ඔබ රූපලාවණ්‍යාගාරයකට යනව නම් තමන්ගෙ දැනීමත් භාවිත කරලා ඔවුනුත් ඒ පිළිබඳ දැනුම්වත්ද යන්න හොයලා බලලා යන්න. එයට අමතරව මංගල උත්සවයකට වැනි දෙයකට රූපලාවණ්‍යාගාරයක් භාවිත කිරීමේ වැරැද්දක් නැහැ. සුදුසු තැනක් සහ සුදුසු කෙනෙක් තෝරා ගැනීම බොහොම වැදගත්.
එසේම කෙනෙක් හිතන්න පුළුවන් මට ලස්සන රූපයක් නැහැ කියලා. තව කෙනෙක් හිතන්න පුළුවන් මම ඉගෙන ගෙන නැහැ; මට දැනුමක් නැහැ කියලා. ඇත්තටම අපේ මොකක්ම හරි විශේෂත්වයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ලස්සන කියලා අපි හඳුන්වන්නෙ සුදු, කෙට්ටු, කොණ්ඩෙ දිග එහෙම ලස්සනක් නෙමෙයි. අපි හැමෝටම ආවේණික ලස්සනක් තිබෙනවා. අපි හැමෝටම ප්‍රඥාවක් තිබෙනවා. වැදගත්ම දෙය නම් අපි කාන්තාවක් ලෙස සමාජයේ ජිවත්වන විට ආචාරධර්ම වැඩි දියුණු කර ගැනීමයි. උදෑසන කෙනෙකු දුටු විට සුබ පැතීම, කෙනෙකු දෙයක් දුන්විට ස්තූති කිරීම, කෙනෙකු පිළිබඳ ගෞරවයෙන් කතා කිරීම සහ ඔහුට හෝ ඇයට අවශ්‍යය ගෞරවය ලබා දීම, ගරු කිරීම, කරුණාවන්තව කතා කිරීම වැනි ආචාරධර්ම අප විසින් ප්‍රගුණ කළ පසු අපට රූපයෙන් අලංකාරයක් නැතත් අපේ ගතිගුණ නිසාම අප බැබළීමට පටන් ගන්නා බව නොඅනුමානයි.