
ජීවමාන ජෝතිපාලයන් සැම වෙලේම සෙවූ හිතූ, පැතු දේ ඔහු විසින් ළඟා කර ගත්තේ ය. කොයි කාගෙත් ගෞරවනීය අදරයක් ඔහුට ලැබුණි.
එච්. ආර් ජෝතිපාලයන් ගේ 86 වන ජන්ම දින සැමරුම පෙබරවාරි 12 වැනිදා ට යෙදෙන විට තව නොබෝ දිනකින්, එනම් එළඹෙන 16 වැනි දින ප්‍රවීණ රංගනවේදී විජය කුමාරණතුංගයන් වියෝවී වසර 34 ක් ගත වෙයි. ජෝති විජය මෙරට අමරණීය කලාකරුවන් ය. ඔවුන් දෙදෙනාම මෙලොවින් සමුගෙන දීර්ඝ කාලයක් ගත වූවත්, මෙරට සිනමාලෝලීන්ට නම් ඔවුන් දෙදෙනාවම මතකයෙන් ඈත් වී නැත.
එලෙසින්ම මෙම කලාකරුවන් යුගලය අතර පැවතියේ ද නොබිඳුණු මිතුදමකි. ඔවුන් සිනමාවේ තරකාවන් බවට පත්වූයේත් අත්ම ගණනක් පෙරුම් පුරාගෙන පැමිණි සහෝදරයන් විලසිනි.
එදා විජය කුමාරතුංගයන් සිනමාලෝලීන්ගේ ආකර්ෂණීයම රංගන ශිල්පියා බවට පත් වන විට, ජෝතිපාලයන් ආකර්ෂණීයම ගායන ශිල්පියා බවට පත් වී ය.
විජය කුමාරණතුංගයන් රංගන කෞශල්‍යයෙන් ඉහළටම ගමන් කරන විට, ජොතිපාලයන් ගායන කෞශල්‍යයෙන් ඉහළටම ගමන් කළේ ය.
කෙසේ වෙතත් රංගන හැකියාවෙන් සිනමාලෝලීන් පිනවූ විජය කුමාරතුංගයන්ට ගායන හැකියාව පැවතුණු නමුත්, ඔහු තම ගායන හැකියාව එළියට ගෙන ඒමට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ අන් කිසිවත්වත් නිසා නොව, ඒ වන විට පසුබිම් ගායනයෙන් සිනමාවේ ඉහළ තලයේ වැජඹුණේ තම ළෙන්ගතුම මිතුරා වූ ජෝතිපාල නිසා ය. ඒ අනුව තමන් ද ගායනා කිරීමෙන් තම මිතුරාගේ ගායන දිවියට කිසියම් හෝ අවැඩක් වේ යැයි සිතු ඔහු සිනමාවේදී තම ගායනය ප්‍රකට කළේ නැත.
එපමණක් නොව සිනමාවේ ගීත ජවනිකාවක තම රංගනය තීව්‍ර කිරීමට තරම් හඬක් ජෝතිපාලයන් සතු වන බව ඔහුත් මැනවින් වටහාගෙන තිබුණි.
වරක් ගීතයක් පටිගත කර පැමිණෙන ජෝතිපාලයන්ට විජය කුමාරතුංගයන් මුහුණට මුහුණ හමු වේ.
එම අවස්ථාවේ දී ජෝතිපාලයන් පවසන්නේ “ඔන්න මම වැඩේ කළා ... දැන් විජේට තියෙන්නේ පෙනී ඉන්න විතරයි ... ” ලෙස ය.
විජය කුමාරණතුංග පමණක් නොව, එදා සිනමාවේ බොහෝ රංගන ශිල්පීන් ජොතිපාලයන්ගේ පසුබිම් හඬින් තම රංගනයට ලාලිත්‍යයක් එක් කර ගනු ලැබී ය. එලෙසින්ම තම රංගන පෞරුෂය වැඩි වැඩියෙන් ඉස්මතු කර ගැනීමට ඉවහල් කර ගනු ලැබුවේත් ජෝතිපාලයන් ගේ මාධූර්ය වූ හඬයි.
විජය කුමාරණතුංගයන් අවස්ථා කිහිපයකදීම චිත්‍රපටි නිෂ්පාදනයට ද අතපෙවීය. “වරදට දඬුවම”. ඔහු නිෂ්පාදනය කළ ජනප්‍රිය චිත්‍රපටයකි. එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පූර්වගාමීව චිත්‍රපටයේ ගීත හයක් ජෝතිපාලයන්ට ගායනා කිරීමට ඉඩ සලසා දී තිබුණි. ඒ බව විමසීමකදී ජෝතිපාලයන් පවසා තිබුණේ, “විජයගේ ෆිල්ම් එකක සින්දු කියලා සල්ලි ගන්න පුළුවන්ද?” විජයට කියන්න තව ෆිල්ම් පහක් හයක් කරන්න, මට සත පහක් එපා” යනුවෙනි. මින් පෙනී යන්නේ ඔවුන්ගේ කල්‍යාණ මිතුදම මිලමුදලට මායිම් වී නොතිබී ඇති බවයි.
එදා ජීවමාන ජෝතිපාලයන් සංදර්ශන වේදිකාවල ගීත ගායනා කරන විට නරඹන්නන්ගෙන් නිරතුරුවම නැඟුණේ ඔල්වරසන් ය. ජීවමානව නොසිටින ජෝතිපාලයන්ගේ ගීත වෙනත් ගායකයන් විසින් ගායන කරනු ලැබුවත්, ඒ පරිද්දෙන්ම ඔල්වරසන් නඟන අවස්ථාද එමට ය. ඒ ගායකයාගේ හැකියාවටම නොවේ; ගීතය සමඟ ජෝතිපාලයන්ගේ මතකයත්, ජීවන සුවඳත් නරඹන්නන්ට දැනෙන බැවිනි.
එමෙන්ම අද දවසේ ජෝතිපාලයන්ගේ හඬ නොඇසෙන විද්යුත් නාළිකාවක් නොමැති තරම් ය. ඒ තරමටම ඔහු තම හඬ මේ මහපොළොව පැළ කරන්නට සමත් වී තිබේ.
“සමනලයකුට වෙඩි තැබුවේ ඇයි ? ලෙස එදා කලා ලොවට සමුදුන් විජය කුමරතුංගයන් පිළිබඳව මුද්‍රිත මාධ්‍යයට ලියූ ලිපියක මාතෘකාව කර ගනු ලැබූ දේශපාලනඥයකු වූ ආචාර්ය සරත් අමුණුගම, ජෝතිපාලයන් කලා ලොවට අහිමිවීමේදී ලියූ ලිපියක මාතෘකාව බවට පත් කර ගනු ලැබුවේ “ජෝතිපාල බිඳ වැටුණු සංස්කෘතියක බලකණුව ලෙසයි”.
මීට දශක තුනට එහා සරත් අමුණුගම ගොඩනැඟූ අදහස අද අප හමුවේ පෙනෙන්නට තිබෙනු ඇතැයි සඳහන් කළහොත් ඊට බොහෝ දෙනෙක් එකඟ වනු ඇත.
ජීවමාන ජෝතිපාලයන් සැම වෙලේම සෙවූ හිතූ, පැතු දේ ඔහු විසින් ළඟා කර ගත්තේ ය. කොයි කාගෙත් ගෞරවනීය අදරයක් ඔහුට ලැබුණි.
සතුටයි; දුකයි සමසේ වැලඳගත් ඔහු සිනමාව පමණක් නොව තම ජීවිතය ද පොදු ජන රසිකයා වෙනුවෙන් කැප කර නික්ම ගියේ ය. අමරණීය නාම කිසිදින මිය යන්නේ නැත. ඒවා දිනෙන් දින බැබළෙනවා පමණී. ජෝති නැති අඩුව අද නොව හෙට වඩාත් දැනෙනු ඇති බව කිව යුත්තේ ඒ නිසා ය.