
සුද්දිලාගේ කතාවේ රෝමියල්, සත් සමුදුරේ ගුණදාස, බඹරු ඇවිත් සිරිල් හා සිරි මැදුරේ අප්පෝ යන චරිත තුළ ඔහු කළ රංගන කිසිදා අපට අමතක නොවනු ඇත උපුල් නිශාන්ත
වසර අනූවක් ජීවත් වීම යනු ලේහෙසි පහසු කාර්යයක් නොවේ. එයිනුත් දශක පහකට අධික කාලයක් කලා ක්ෂේත්‍ර තුළ හිණිපෙත්තේම වැජඹෙමින් තම වෘත්තියේ ගෞරවය රැකගත් මේ අපූරු කලාකරුවා පසුගිය දා තම 90 වන ජන්ම දිනය සැමරුවේය. ඔහු නමින් සිරිල් වික්රමගේය.
සිරිල් අයියාට 90ව සැපිරෙන දින ඔහු වෙනුවෙන් පුංචි උපන් දින සාදයක් පවත්වන්නට දිසාලාට අවශ්‍ය වේ. ඇය සිරිල් අයියාගේ දෙටු දියණියයි. චන්දන හා වත්සලා මෙන්ම ලක්ෂිතගේ ඉල්ලීම අනුව මල්ලීකා වික්‍රමගේ වන සිය දයාබර මෑණියන් සමඟ දරුවන් මෙම කාර්යයට මුල පිරීය.
පළමු ආරාධනාව මාලනී ෆොන්සේකාටයි. බඹරු ඇවිත් හි “හෙලන් ” තම ආදරය අයදිමින් තමා පසුපස ආ සිරිල්ගේ සිත සැනසීමට හොඳම අවස්ථාව මෙය බැවින් ඉතා සතුටින් එම ආරාධනාව පිළිගත්තාය. ඒ අතර රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, ඩබ්. ජයසිරි, ස්වර්ණා මල්ලවආරච්චි, දමිත් ෆොන්සේකා හා හේමාල් රණසිංහ ඇතුළු පිරිසකට ද ආරාධනා කරන ලදී.
උපන්දිනය දා ප්‍රථම සුබ පැතුම හිටපු ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන්ගෙනි. අපට ඔහුගේ උපන්දිනය කොතරම් වැදගත් වුවද සිරිල් අයියාට නම් එය තවත් සාමාන්‍ය දිනයකි. උදෑසන 8.00 පමණ නිවසේ විදුලි සීනුව නාද විණි. ගේට්ටුව විවර කරන්නට පැමිණි මල්ලිකා වික්‍රමගේ අතිශය සතුටට පත් වුයේ වසර ගණනාවක් ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි තම පුතු චන්දන පියාගේ ජන්ම දිනය සැමරීමට මෙරටට පැමිණි සිටිනු දැකීමෙනි. සිරිල් අයියා ද තම පුතු වැලඳ ගනිමින් ප්‍රීතිය භුක්ති වින්දේය.
සවස 6.00 පමණ වන විට අප ද සිරිල් අයියාගේ නිවස වෙත ගියෙමු. මුව පුරා සිනාවකින් මා පිළිගත් ඔහු හා ආගිය තොරතුරු කතා කරමින් සිටින විට ප්‍රථමයෙන්ම පැමිණියේ ඩබ්.ජයසිරි ය. සිරිල් අයියාගේ අති ජාත මිත්‍රයකු වන ජයසිරි අයියා සමඟ දොඩමලුවමින් සිටියෙදී මාලනී අක්කා මල් කලඹක් රැගෙන සිරිල් අයියා ඉදිරියට පැමිණියේය. ඇය දුටු මතින්ම අසුනෙන් නැගී සිටි අප කතා නායකයා ඉදිරියට ගොස් ඇය වැලඳ ගත්තේ දැඩි සෙනෙහසකිනි. ඉන්පසු රවී, ප්‍රීතිද, ගීතා ද පැමිණි අතර දමිත් ෆොන්සේකා හා හේමාල් රණසිංහ ද මේ අතර විය. රසකතා වලින් ගහන රාත්‍රියක් වූ එය අතිශයින්ම සුන්දර එකකි.
එමෙන්ම සිරිල් අයියා යනු ඉතා සංවේදී පුද්ගලයකු බව ජයසිරි අයියා පවසයි. කලක් බන්දු මුණසිංහයන්ගේ නිවසේ නතර වී සිටි කාලයක පනිවිඩ කරුවකු පැමිණ සිරිල් අයියාගේ පියා මිය ගිය බව දන්වා ඇති අතර එය ඇසු සැණින් සිරිල් අයියා වේදනාව දරාගත නොහැකිව සිහිනැති වී ඇද වැටී ඇත.
සුද්දිලාගේ කතාවේ රෝමියල් , සත් සමුදුරේ ගුණදාස, බඹරු ඇවිත් සිරිල් හා සිරි මැදුරේ අප්පෝ යන චරිත තුළ ඔහු කළ රංගන කිසිදා අපට අමතක නොවනු ඇත.
විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ගමනට හයියක් වෙමින් දේශපාලනයට පැමිණි සිරිල් අයියා මරා දැමීම පිණිස ජනතා විමුක්ති පෙරමුණ සැරසුණු ආකාරය හා ඔවුන්ගේ නිවෙස වෙත පැමිණ ඔහුට තර්ජනය කර දේශපාලනයෙන් ඉවත් වන බවට සඳහන් බැනර් එකක් මතව හන්දියේ ප්‍රදර්ශනය කරන ලෙස දන්වා එය කළ පසුද ඔහුගේ ජීවිතය බේරාගත්තේ ඉතා අසීරුවෙන් බව ඔහුගේ පුතු චන්දන අප හා පැවසීය. අපගේ වාසනාවට හා ඔහුගේ පෙර පිනකට ජීවිතය බේරා නොගත්තා නම් තවත් එක් කෘතහස්ත කලාකරුවකුගේ ජීවිතය එයින් අවසන් වන්නට තිබුණි.
මධුවිත තොලගාමින් තවමත් යෞවනයකු සේ ජීවත් වෙන සිරිල් අයියා කළ දඩබ්බර වැඩ ද නැතුවාම නොවේ. ජයසිරි අයියා ඒවා මතක් කරමින් සිනාසෙන අයුරු දකින මට ඔහුගේ සමකාලීනයන් වු විජය, පති ඇතුළු කණ්ඩායම අද සිටියා නම් කොතරම් අගනේදැයි කියා සිතිණි.
මෙයද එක්තරා සිනමාපටයක සිදුවු සිදුවීමකි. දර්ශනයට අනුව සටන් ජවනිකාවකි. දුෂ්ටයා පූජිත මෙන්ඩිස්ය. ඒ වන විට ප්‍රතිවීර චරිත රඟපා ඉතා ඉහළ නමක් ලබා සිටි පූජිත සටන් දර්ශනයේදී ප්‍රතිවාදියා හට ඇත්තටම පහර එල්ල කළ යුතු බව පවසා ඇත. ඒ ඇසු අධ්‍යක්ෂකවරයා සිරිල් අයියා වෙත ගොස් “සීන් එකේදී ඇත්තටම පූජිත් ඔයාට පහර දෙන්න ඕනේ කියනවා ඒකට කමක් නැද්දැයි” විමසු විට කිසිදිනක තමාට දුන් චරිතයක අවශ්‍ය දේ කිරීමට නොපැකිළුණු මේ කුඩා මිනිසා “අපෝ කිසි ප්‍රශ්නයක් නැහැ.” එන්න කියන්නැයි කියා ඇත.
දර්ශනය ආරම්භ විය. පූජිත කෑගසාගෙන එකවර සිරිල් අයියා වෙත පනින විටම දෑත බදා පූජිතගේ මුහුණ හරහා සිරිල් අයියා දුන් පහරින් පූජිත බිම ඇද වැටිණි. ඔහුගේ දෑස්වලට හානි සිදුවී තිබු අතර දින පහකට රූපගත කිරීම් නවතා දැමීමට සිදු වුයේ පූජිත රෝහල් ගත කරමිනි. තම රංගන දිවියේදී බන්ධන සිනමා පටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද, පාලම යට හා සෛලම හා බඹරු ඇවිත් වෙනුවෙන් හොඳම සහය නළුවාගේ සම්මානය දිනා ඇති සිරිල් අයියා වෙත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු සිසුවා වීමේ භාග්‍යය ලැබුණු සම්මානයද ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන Life Time Achievement Award තුනකින් බුහුමනට පාත්‍ර වී ඇති මේ විශිෂ්ට රංගධරයා ලැබු ටෙලි සම්මාන ඇතුළු සම්මාන රාශියක් වේ. මීට අමතරව ඔහු සභාපති ලෙස කටයුතු කළ කාලයේදී කළුබෝවිටියාන තේ සමාගම ලොව හොඳම තේ නිපදවීම වෙනුවෙන් ඉන්දියාවේ ආග්රාණ්ඩුකාරයා වෙතින් සම්මානයට පාත්‍ර වී ඇත.
ඔහුගේ සිනමා දිවිය තුළ සිදු වු විශේෂ සිදුවීම් නම් අපමණය. රවි අයියා ද, මාලනී අක්කා ද ඇතුළු අපි සියලුදෙනා පැය පහක පමණ කාලයක් ඔහු සමඟ ඉතා සතුටින් ගත කළෙමු. ජීවත්ව සිටින කාලයේ දී කෙනකු අගය කිරීම කොතරම් අගනේදැයි වැටහුණේ තම සහෝදර රංගන ශිල්පීන් ඔහුගෙන් සමුගෙන යන මොහොතේදී ඒ ළැබැඳි මිනිසාගේ නෙත් අග කඳුළු බිඳුවක් සනිටුහන්ව තිබෙනු දුටු විටය.