වැක්සීන් එක සම්බන්ධ දුර්මත නැති කරන්නයි විරිදුව කළේ | සිළුමිණ

වැක්සීන් එක සම්බන්ධ දුර්මත නැති කරන්නයි විරිදුව කළේ

මේ දිනවල පැතිර යන කොවිඩ් 19 වසංගතය නිසා වැක්සින් විරිදුවක් නිර්මාණය වී තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයයේ කාර්ය මණ්ඩලය විසින්.

මෙම විරිදුව රචනා කර තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම. ඒ නිසාම මේ විරිදුව තව තවත් සමාජගත කිරීමේ අරමුණින් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සමඟ අප කතා කළා.

අපි දැක්කා පහුගිය කාලේ වැක්සින්වලට සම්බන්ධ විවිධ දුර්මත ප්‍රචාරය සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒක ලංකාවට පමණක් ආවේණික දෙයක් නෙවෙයි. අනෙකුත් රටවලත් මේ වැක්සින් විරෝධී කොටසක් ඉන්නවා. නමුත් වැක්සින් එකේ තියෙන වැදගත්කම වෛද්‍ය විශේෂඥවරු විදියට අපි දකිනවා. ඒ නිසා ජනතාවට මේ වැක්සින් එක ගැන දැනුවත් කරන්න අපි නොයෙකුත් දේවල් කරනවා. ඉතින් අපි මේ වැක්සින් එක ලබා දෙන්න පටන් අරන් අවුරුද්දක් වුණා. මේ කාලය ඇතුළත අපේ තියෙන සංවිධානවලින් විවිධ ආකාරයට මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළා. ඒ එක්කම ප්‍රධාන පෙළේ මාධ්‍යය ආයතන තුළින් පවා අපිට ආරාධනා කරලා අපි ඒ සම්බන්ධයෙන් කතා කළා. නමුත් ඒ දැනුවත් කිරීම එක ප්‍රමාණයකට එහා යන්නේ නැහැ කියන එක තමයි මට හිතුණේ. ඒ නිසා මම හිතුවේ හැමදාම එකම විදියට කියනවට වඩා මිනිසුන්ට වෙනස් ආකාරයකින් කියන්න ඕනේ කියන එක. ඒ අනුව තමා මේ විරිදුව නිර්මාණය වෙන්නේ.

අපි මතක් කරමු දායක වුණු අය

ඔව්. මම රචනා කළ මේ විරිදුවට රබන් වාදනයෙන් දායක වුණේ සුරංග ප්‍රේමලාල්. ඒ වගේම විරිදු ගායනයෙන් එකතු වුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනයයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වන නදීකා ප්‍රියදර්ශනී, නයනා දමයන්ති විජේකෝන්, චන්දික පෙරමුණේ, විශාකා දෙවිනුවර, සුරංගි කුසුම් රේණු, ශ්‍යාමලී පෙරේරා, අනුර බණ්ඩාර, රෝජා දර්ශන් මෙන්ඩිස්,ගීතානි උඩුගම් කෝරාළ, වජිරා රණසිංහ, දමයන්ති ඉඩම්පිටිය, චින්තා සූරියාරච්චි, හසිත අත්තනායක සහ මම. ඒ වගේම මෙහි වීඩියෝ එක කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයෙන්.

Comments